කාගෙවත් වලිග වෙන්නෙ නෑ - නාමල් වජිරට කියයි
හෙට, එනම් ජූලි 29 වැනි සඳුදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටත් දේශපාලන වශයෙන් තීරණාත්මක දවසක් වනු ඇතැ යි දේශපාලන විචරකයින් පවසනවා..ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරනවා ද නැත්නම් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරනවා ද යන්න පිළිබඳ හෙට (29) තීරණයක් ගැනීමට තිබෙන නිසයි.
මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදී ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට තීරණය කළ වුවහොත් පොදුජන පෙරමුණ දෙකඩ වීම ස්ථිර බවයි දේශපාලන විචාරකයින් පවසන්නෙ.
පොදු පෙරමුණේ මැති ඇමතිවරුන් 50 කට අධික පිරිසක් දැනටමත් රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ප්රචාරක හා සංවිධාන කටයුතු වල යෙදී සිටිනවා. ප්‍රසන්න රණතුංග, කාංචනා විජේසේකර, වෛද්‍ය රමේෂ් පතිරණ, දිලුම් අමුණුගම, ෂෙහාන් සේමසිංහ, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, කණක හේරත්, ලොහාන් රත්වත්තේ ඇතුළු පිරිස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කළ යුතු බව රැස්වීම්වල දී ප්රසිද්ධියෝම ප්‍රකාශ කරනවා.
මේ අතර පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, මහ ලේකම් සාගර කාරියවසම්, ජාතික මෙහෙයුම්කරු රෝහිත අබේගුණවර්ධන, ඉන්දික අනුරුද්ධ, තිස්ස කුට්ටිආරච්චි, ජොන්ස්ටන් ෆ්‍රනාන්දු, ඩී. වීරසිංහ, ප්‍රසන්න රණවීර ආදීන් පවසන්නේ පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවයි.පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ මහත්වරුන් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ අවස්ථා කීපයකදි ම ජනාධිපතිවරණයේ දී පොදුජන පෙරමුණේ සහාය තමන්ට ලබා ගැනීම සඳහා සාකච්ඡා කොට තිබූ නමුත් එම සාකච්ඡා තීරණයකින් තොරව අවසන් වී තිබෙනවා.
රාජපක්ෂවරුන් එක්ක නං බෑ - නිමල් ලංසා, අනුර යාපා .- නිමල් සිරිපාල ලා රනිල්ට කියති
නිමල් ලංසා හා අනුර ප්‍රියදර්ශන යාපා මහත්වරුන් ගේ නායකත්වයෙන් යුත් නව සන්ධානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටිමින් රැස්වීම් සංවිධානය කරන අතර ඔවුන් පවසා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා ගේ රැස්වීම්වල වේදිකාවට රාජපක්ෂවරුන් ගෙන්වා ගතයුතු නැති බවයි. නව සන්ධානය සමඟ එක්වී සිටින නිමල් සිරිපාල ද සිල්වා මහතා ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද රාජපක්ෂවරුන් ගෙන් තොරව රනිල් ගේ ඡන්ද ව්‍යාපාරය පවත්වා ගෙන යා යුතු බව පවසනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා පොදුජන පෙරමුණ අතර මේ ප්රශ්නය මත හටගෙන ඇති විරසකය නාමල් රාජපක්ෂ කණ්ඩායමේ රනිල් විරෝධී ව්‍යාපාරයට රුකුලක් වි ඇති බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.
මේ අතර ආණ්ඩුව නියෝජනය කරන පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් තිහකට අධික පිරිසක් පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ගොස් තිබෙනවා.
ජනාධිපතිවරණයේ දී පොදුජන පෙරමුණ කරන්නට යන්නේ කුමක්දැ යි ඔවුන් මෙහිදී විමසූ විට මහින්ද රාපපක්ෂ මහතා පවස ඇත්තේ ඒ ගැන තවම තීරණයක් ගෙන නොමැති බවයි.
''අපි රනිල් වික්‍රමසිංහ මහත්තයට සහයෝගය දෙනවා. ඒ නිසා පක්ෂයෙන් වෙන කෙනෙක් දාන්න එපා. අපි ඔක්කොම එක ම තීරණයකට එමු" යැ යි ඔවුන් හිටපු ජනාධිපතිවරයාට පවසා තිබෙනවා.
පක්ෂය කැඩෙන එක වළක්ක ගන්න සර්''
සර් මේ වෙලාවේ රට ම ඉන්නෙ රනිල්ට ආපහු චාන්ස් එකක් දෙන්න ඕනැ කියන තැන. අපි රටේ මහජන මතය ගැන බලන්න ඕනෑ" යැ යි පැවසූ එම පිරිස පක්ෂය විසින් ඉදිරිපත් කිරීමට යන අපේක්ෂකය කිසිදු දේශපාලන අත්දැකීමක් නැති බවත් එවැනි කෙනකු කොහොත්ම ගැලපෙන්නේ නැති බවත් අවධාරණය කොට ඇති බවයි එම සාකච්ඡාවට සහභාගි වූ මන්ත්‍රීවරයකු අප හා පැවසුවේ.
මේ නිසා පක්ෂය කැඩෙන්න යන එක වළක්වා ගන්නට කටයුතු කරන්නැයි ද ඔවුන් රාජපක්ෂ මහතා ගෙන් ඉල්ලා තිබෙනවා. ''අපි මේක සාකච්ඡා කරල විසඳ ගනිමු" යැ යි මහින්ද රාජපක්ෂ මහතා ඔවුන්ට පැවසූ බව ද වාර්තා වෙනවා.
මේ අතර තවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගන්නට තිබෙන අන්දමට එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා කලින් යොදාගත් පරිදි ව්‍යාපාරිකයකු ගේ නිවසේ දී පසුගිය සතියේ දිනෙක නාමල් රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා.
මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කරන ලෙස වජිර අබේවර්ධන මහතා මෙහිදී ඉල්ලා ඇති බවත් ඒ වෙනුවෙන් ආණ්ඩුවේ අගමැති ධූරය හෝ ප්‍රබල කැබිනට් ඇමති තනතුරක් දිය හැකි බවත් පවසා ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කරනවා.
''මට පෞද්ගලික වාසි ඕනැ නෑ. අගමැතිකම් දෙනවා නං ඒක කතා කරන්න ඕනෑ පක්ෂව එක්ක මිසක්වා මා එක්ක නොවෙයි" යනුවෙන් පවසා ඇති නාමල් රාජපක්ෂ මහතා "ජනාධිපතිවරයාට උදව් කරන්න නම් ඊට පෙර පොදුජන පෙරමුණ තිබෙන තැන කුමක්දැ යි මුලින් කිව යුතු බවත් විශාලම පක්ෂය වන පොදුජන පෙරමුණට කාගෙවත් වලිගයක් වීමට අවශ්‍ය නැති බවත් අවධාරණය කළ බවත් වාර්තා වෙනවා.
මේ අතර පසුගිය සතියේ තවත් විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර අරලියගහ මන්දිරයේ දී පැවැත්වී තිබෙනවා.
මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කරන ලෙස වජිර අබේවර්ධන මහතා මෙහිදී ඉල්ලා ඇති බවත්, ඒ වෙනුවෙන් ආණ්ඩුවේ අගමැති ධූරය හෝ ප්‍රබල කැබිනට් ඇමති තනතුරක් දියහැකි බවත් පවසා ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කළා. ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති නමුත් එකඟතාවයකින් තොරව එම සාකච්ඡාව අවසන් වූ බවයි දැනගන්නට තිබෙන්නේ.
මේ අතර පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ අතර ගොඩනැඟීමට යන සන්ධානය පිළිබඳව සකාච්ඡා කිරීමට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ ඇමති සුසිල් ප්‍රේම් ජයන්ත යන මහත්වරු ඊයේ (27) පෙරවරුවේ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති නිල නිවසට ගොස් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා.
මෙහිදී ඔවුන් ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පොදුජන පෙරමුණේ සහාය ලබා ගැනීම පිළිබඳ ව සාකච්ඡා කළ අතර ඒ සඳහා මැදිහත් වන ලෙස ඔවුන් මහින්ද රාජපක්ෂ මහතා ගෙන් දැඩිව ඉල්ලා සිටි බව විජේරාම මාවතේ ආරංචි මාර්ග පවසනවා.
මේ පිළිබඳව පක්ෂයේ දේශපාලන මණ්ඩලය සමඟ සාකච්ඡා කොට සඳුදා තීරණය ප්‍රකාශ කරන බව හිටපු ජනාධිපතිවරයා ඔවුන්ට පැවසූ බවත් දැන ගන්නට තිබෙනවා.
එමෙන් ම පෙරේදා (26) සවස ද ජනාධිපත් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් පැවැත් වී ඇති අතර ජනාධිපති අපේක්ෂකත්වය ගොඩනැඟීමට යන සන්ධානය ගැන සාකච්ඡා වූ බවත් එහි තවත් සාකච්ඡා වටයක්අද (28) පැවැත්වෙන බවත් ආරංචි මාර්ග පවසනවා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ ජනාධිපති අපේක්ෂකයා හෙට (29) පැවැත්වෙන පොදුජන එහි දේශපාලන මණ්ඩල රැස්වීමෙන් පසු පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. එම පක්ෂයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසන්නේ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා විය යුතු බවයි.
ධම්මික ෙපරේරා මහතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට තීරණය කර ඇති බව පොදුජන පෙරමුණේ නායිකාවක වන ඇමතිනි පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය පසුගිය සතියේ රත්නපුරයේ පැවති ආසන සංවිධායකයින්ගේ රැස්වීමක දී ප්‍රකාශ කර තිබුණා.
ටොන් පචයන් ගේ කෙබර පුස්සක් කළ මැතිවරණ කොමිසම
ජනාධිපතිවරණය නොපැවැත්වීමට ආණ්ඩුව කටයුතු කරගෙන යන බවට විපක්ෂය හා සමහර සිවිල් සංවිධානගෙන ගිය ප්‍රචාර මුසාවක් බවට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පෙරේදා සැප්තැම්බර් 21 වැනි දා ජනාධිපතිවරණය පවත්වෙන බව නිවේදනය කළා.

තමන් ජනාධිපතිවරණයට තරග කරන බව ප්‍රසිද්ධ නොකර සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් එදින ම පෙරවරුව වන විට මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය වෙත පැමිණි ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා ඇප මුදල් තැන්පත් කිරීම බොහෝ දෙනා ගේ කතාබහට ලක්වුණා. ඒ වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඇප මුදල් තැන්පත් කිරීම නිසයි.
මේ පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යල ආරංචි මාර්ග ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් අනුව වැඩ බලන පොලිස්පති වරයකු පත්කිරිමට සිදුවී ඇති බැවින් එය මඟ හැර සිටීම සඳහා ජනාධිපතිවරයා ඇප මුදල් තැන්පත් කළ බවයි.
ජනාධිපතිවරයා පෙරේදා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ට ලිපියක් යවමින් තමන් ජනාධිපතිවරණයට තරග කරන හෙයින් මේ කාලය තුළ කිසිදු පත්වීමක් සිදු කිරිමට තමනට නොහැකි බව සඳහන් කර තිබෙනවා.