සතියේ සටහන

ජගත් ගේ – සතියේ සටහන

ජනපති හටනට පොහොට්ටුව කර අරී ද - තාම තීරණයක් නෑ - මහින්ද කියයි

ජගත් ගේ සතියේ සටහන

සජිත් අනුර සූදානමින්

ලබන සැප්තැම්බරයේ දී පැවැත්වෙන බවට ප්‍රකාශ වී ඇති ජනාධිපතිවරණය සඳහා සමගි ජන බලවේගය සජිත් ප්‍රේමදාස මහතාත්, ජාතික ජන බලවේගය අනුර කුමාර දිසානායක මහතාත් ඔවුන් ගේ ජනාධිපති අපේක්ෂකයන් ලෙස දැනටමත් ප්‍රකාශ කොට තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා කවුරුන් ද?

එහෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවමත් ඔවුන් ගේ ජනාධිපති අපේක්ෂකයා නම් කොට නැහැ. එම පක්ෂයේ අපේක්ෂකයා පිළිබඳව දෙගිඩියාවෙන් පසුවන බව පොදුජන පෙරමුණේ  නායකයින් කරන ප්‍රකාශවලින් පෙනී යනවා.

පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා, ජනාධිපති අපේක්ෂකයින් වශයෙන් ඉදිරිපත් වීමට බලාපොරෝත්තු වන අයගේ නම් හතරක් තම පක්ෂයට ලැබී ඇති අතර ව්‍යාපාරික ධම්මික පෙරේරා ගේ නම ද ඒ අතර තිබෙන බව ද පවසා තිබුණා.

පසුගිය කාලයේ පැතිර ගිය රාවයකින් කියැවුණේ ධම්මික පෙරේරා පොදුජන අපේක්ෂකයා බවයි. ඉකුත් දෙසැම්බර් 5 වැනි දා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගයේ පැවති පොදුජන පෙරමුණේ විශේෂ සම්මේලනයේ දී මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ආදී ප්‍රධාන නායකයින් සමඟ ඉදිරිපෙළ අසුනක් ධම්මික පෙරේරාට ලැබී තිබුණා. මෙනිසා පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් දැඩිව විශ්වාස කළේ ධම්මික පෙරේරා පක්ෂයේ අපේක්ෂකයා ඔහු බවට යි.

මේ අතරේ ධම්මික පෙරේරා ප්‍රවෘත්ති දැන්වීම හා ඔහුගේ ඩී. පී. එඩියුකේෂන් අධ්‍යාපන වැඩ සටහන මඟින් සිය ප්‍රචාරක කටයුතු සිදුකර ගෙන ගියා.

 ධම්මික පෙරේරා ගේ ලකලෑස්තියට?

එහෙත් පසුගියදා තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාඩ් හෝටලයේ පැවති පොදුජන පෙරමුණේ සම්මන්ත්‍රණයකට පැමිණි එහි නායක හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෙන් මාධ්‍යවේදීන් පොදු පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැ යි විමසූ විට ''අපේ පක්ෂයෙන් අපේක්ෂකයෙක් දාන්නත් පුළුවන්, නොදාන්නත් පුළුවන්" යි පිළිතුරු දුන්නා.

එසේ වුව ද ආණ්ඩු පක්ෂයේ ප්‍රදාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණු නියෝජිතයින් ගේ රැස්වීමක දී පසුගිය සතියේ පැවසුවේ මීළඟ ජනාධිපතිවරණයේ දී රටේ ආර්තිකය ගොඩගත් ජනාධිපතිතුමාට අපි අවස්ථාවක් ලබා දිය යුතු බවයි. මෙය තමාගේ පුද්ගලික අදහස බව ද ඔහු කියා හිටියා.

පසුග්ය 14 වැනි දා මාතර පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමකට ගිය ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ගෙන් ධම්මික පෙරේරාට පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය දෙනවා දැ යි මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.

 බැසිල් සර්ගෙන මං ඇහුවා - ප්‍රසන්න

''මම ඕක ගැන බැසිල් සර් ගෙන් ඇහුවා. එයා  අපි තවම එහෙම තීරණයක් අරගෙන නැහැ කියලා. ඔයා මේක බය නැතුව  ඕනැ කෙනකුට කියන්න කියලත් බැසිල් සර් මට කිව්වා" යැයි රණතුංග මහතා පිළිතුරු දුන්නා.

තව දුරටත් ඔහු පැවසුවේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගැන පොදු පෙරමුණ ධම්මික පෙර්රා සමඟ එතඟතාවයකට ඇවිත් නැති  බවත් ඒ පිළිබඳව සාකච්ඡාවක් පැවැත් වුණේ දැ යි තමන් නොදන්නා බවත් ය. මෙ

මේ අතර ප්‍රසන්න රණතුංග මහතා මෙන් ම ආණ්ඩුවේ සෙසු ඇමතිවරුන් වන කංචන විජේසේකර, ෂෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, දිලුම් අමුණුගම, සුසිල් ප්‍රෙම්ජයන්ත, විජේදාස රාජපක්ෂ යන මහත්වරුන් පවසන්නේ ද ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා යළි ජනාධිපති කළ යුතු බවයි. රට ගොඩගැනීම සඳහා වඩාත් ම සුදුස්සා රනිල් බව ඔවුන් කිහිප අවස්ථාවකදී ම ප්‍රකාශ කොට තිබුණා.

එසේ වුව ද තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව රනිල් වික්‍රමසිංහ මහතා ස්ථිරව ම පවසා නෑ. තමා ජනාධිපතිවරණයට තරග කරනවා ද අප්‍රේල් මාසයේ දී ප්‍රකාශ කරන බව ඔහු සිය සමීපතමයින්ට පවසා තිබෙනවා.

 රනිල් ඒවිද නේවිද සමීක්ෂණ වාර්තාව මොකක් කියාවිද

විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට රටේ දේශපාලන තත්ත්වය හා ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ මහජන මතය විමසීම සඳහා සමීක්ෂණයක් පැවැත්වීමට රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන සමීක්ෂණ ආයතන දෙකකට භාර දී තිබෙන අතර ඒවායේ වාර්තා මාර්තු මස අගදී ඔහුට ලැබීමට නියමිත යි. මෙම සමීක්ෂණ වාර්තාවල ප්‍රතිඵල අනුව ඔහු ජනාධිපතිවරණයට තරග කරනවා ද නැද්ද තීරණය වනු ඇති බවයි රනිල්ට සමීඵ ආරංචි මාර්ග පවසන්නේ.

මේ අතර පොදුජන පෙරමුණේ තරුණ නායකයකු වන නාමල් රාජපක්ෂ මහතා සිය නිවසට පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායම් වශයෙන් කැඳවා සාකච්ඡා කිරීම ආරම්භ කොට තිබෙනවා.

පසුගිය සතියේ ඔහුගේ නිවසේ පැවති සාකච්ඡාවක දී නාමල් රාජපක්ෂ මහතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැ යි අප්‍රේල් මාසයේ දී ප්‍රකාඹ කරන බව මන්ත්‍රීවරුන්ට පවසා තිබුණා.

මේ තත්ත්වය යටතේ ධම්මික පෙරේරා මහතා සිය ප්‍රචාරක කටයුතු තාවකාලිකව අත්හිටුවා  ඇතැයි ඔහුට සමීප ආරංචි මාර්ග පවසනවා.

දැනට ඇමරිකාවට ගොස් සිටින පොදුජන පෙරමු‌ණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පෙබරවාරි මාසයේ ආපසු පැමිණීමට නියමිත අතර ඔහු පැමිණි පසු ධම්මික පෙරේරා මහතා බැසිල් හමු වී තීරණයක් ගන්නා බව ද දැනගන්නට තිබෙනවා.

මේ අතර නාමල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණ ජනතාව අතරට ගෙනයෑම සඳහා 'දසබල සේනා' නමින් ප්‍රචාරක ව්‍යාපෘතියක් ආරම්භ කොට ඇති අතර එහි පළමු පියවර සඳුදා (22) මොරටුවෙන් ආරම්භ කිරීමට නියමිතව තිබුණා.

 

නාමල් ගේ දසබල සේනාව

මේ යටතේ දිවයිනේ එක් ග්‍රාම නිලධාරී කොට්ඨාසයකට දහ දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කෙරන අතර පොදුජන පෙරමුණට විරුද්ධව විපක්ෂය විසින් නගා ඇති චෝදනාවලට පිළිතුරු දී ජනතාව දැනුවත් කිරීම මෙහි අරමුණයි. එසේ ම පක්ෂයට අලුතින් සාමාජිකයින් බඳවා ගැනීම ද ඔවුන්ට පැවරෙනවා. දිවයිනේ ග්‍රාම නිලධාරි කොට්ඨාස 14000 ක මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට යන බව නාමල් රාජපක්ෂ මහතා සිය නිවසේ පැවති මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේ දී පවසා තිබුණා.

මේ අතර පොදුජන පෙරමුණෙන් ඉවත් වී ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් පිහිටුවා ගෙන තිබෙන 'නිදහස ජනතා සභාව' මේ වන විට කොටස් කීපයකට කැඩී සීසී කඩව ගොස් ඇතැ යි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා.

"හැරවුමට ඇරඹුමක්" යන තේමාව යටතේ පටන් ගත් නිදහස ජනතා සභාවට ආරම්භයේ දී මන්ත්‍රීවරුන් 13 කු සිටි අතර ජී. එල්. පීරිස්, ඩිලාන් පෙරේරා, නාලක ගොඩහේවා, චන්න ජයසුමන, වසන්ත යාපා බණ්ඩාර, කේ. පී. එස්. කුමාරසිරි යන මන්ත්‍රීවරුන් හය දෙනා සමගි ජන බලවේගය සමඟ ගිවිසුමක් අත්සන් කොට එයට එකතුවී නිසා එහි ඉතිරි මන්ත්‍රී පිරිස  නන්නත්තාර වී සිටින බව ද වාර්තා වෙනවා.

නිදහස ජනතා සභාවේ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයකුව සිටි ලලිත් එල්ලාවල මන්ත්‍රීවරයා හිටපු ඇමති රොෂාන් රණසිංහ මහතා විසින් පිහිටුවා ගෙන ඇති දූෂණ විරෝධී නව සන්ධානයට එකතු වී පසුගිය සතියේ පොළොන්නරුවේ පැවති එහි සමාරම්භක උත්සවයට ද සහභාගි වී හිටියා.

ඩලස්ලගෙ කාර්යාලෙත් වහල දමලා ලු

නිදහස ජනතා සභාවේ ඉතිරි මන්ත්‍රීන් ගෙන් කිහිප දෙනකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්, තවත් පිරිසක් උත්තර ලංකා සභාගය විසින් පිහිටුවීමට යන සන්ධානයටත්, තවත් කිහිප දෙනකු යළි පොදුජන පෙරමුණටත් එකතු වීමට යන බව ද දැනගන්නට තිබෙනවා.

ඩලස් අලහප්පෙරුම මහතා සමඟ දැනට නිදහස ජනතා සභාවේ රැඳී සිටින්නේ මහාචාර්ය චරිත හේරත් සහ ගුණපාල රත්නසේකර යන මන්ත්‍රීවරුන් දෙදෙනා පමණක් වන අතර රත්නසේකර මහතාට ජාතික ජන බලවේගට එක්වන ලෙසට ඇරයුමක් ලැබී ඇති බව ද පැවැසෙනවා. ඔහු දැන් ඒ ගැන සලකා බලමින් සිටින බවයි ඔහුගේ හිතවතුන් පවසන්නේ.

මේ අතර නාවල දෙවැනි පටුමගේ පිහිටි නිදහස ජනතා සභාවේ ප්‍රධාන කාර්යාලයේ බඩුබාහිරාදිය ඉවත් කරගෙන එය පසුගිය 18 වැනි දා සිට වසා දමා ඇති බව ද දැනගන්නට තිබෙනවා.

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල මහත්වරුන් ගේ නායකත්වයෙන් යුත් උත්තර ලංකා සභාගය එහි සෙස සාමාජික පක්ෂ වන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුන ද රොෂාන් රණසිංහ මහතා විසින් මෑතක දී පිහිටුවා ගත් නව සන්ධානය එක්කර ගෙන පැරණි එක්සත් ජනතා නිදහස් සංධානය සක්‍රිය කොට එයට එකතුවීම ගැන මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බව එහි නායකයෙක් ප්‍රකාශ කළා. එක්සත් ජනතා නිදහස් සංධානයේ වැඩි බලයක් තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යි

එබැවින් එම පක්ෂය සමඟ ද සාකච්ඡා කොට එකඟතාවයකට ඒමට නොහැකි වුණොත් වාමාංශික එක්සත් පෙරමුණ යළි නඟා සිටුවා 'පුටුව' ලකුණින් මැතිවරණයට තරග කිරීම ගැන ද සාකච්්ඡා කොට ඇති බවත් දැනගන්නට තිබෙනවා.

කෙසේ වුව ද දැනට බෙදී වෙන්වී වෙන වෙන ම කටයුතු කරන පක්ෂ අප්‍රේල් මාසය වන විට සංධානගත වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.