උණුසුම් පුවත්දේශපාලනසතියේ සටහන

ජගත් ගේ සතියේ සටහන – 31

නාමල් ජනපති අපේක්ෂකයා වුණේ ? ආන්දෝලනයක්

මෙවර ජනාධිපතිවරණයට පක්ෂයෙන් අපේක්ෂකයකුඉදිරිපත් කිරීමටත්, එම අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කිරීමටත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගෙන ඇති තීරණය පසුගිය සතියේ දේශපාලන ක්ෂේත්‍රයේ ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත් වී තිබුණා.

ඒ වසර දෙකක කාලයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සහයෝගයෙන් කටයුතු කළ පොදුජන පෙරමුණ හදිසියේ මෙවැනි තීරණයක් ගැනීම නිසයි.

පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් හා පාක්ෂිකයින්ගේ අදහස වී තිබුණේ ජනාධිපතිවරණයේ දී තම පක්ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වනු ඇති බවයි. පසුගිය කාලයේ පොදුජන පෙරමුණ අවස්ථා ගණනාවකදී ම ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බවට පවසා තිබුණා. එයට ප්‍රධාන හේතුවක් වුණේ පසුගිය අරගල සමයේ දී රාජපක්ෂවරුන්ට එරෙහිව රටපුරා පැවති විරෝධය යි.

මේ නිසා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ඇමති තනතුරක්වත් ගැනීමට රාජපක්ෂ පවුලේ කීසිවකු ඉදිරිපත් වුණේ නැහැ. එසේ වුවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතරත් පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතරත් වරින් වර සාකච්ඡා පැවැත්වුණා.

මේ සාකච්ඡා පැවැත්වෙද්දී පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් 10 කුට කැබිනට් ඇමති තනතුරු ලබාදෙන ලෙසට බැසිල් රාජපක්ෂ මහතා කිහිප වරක් ම වාචිකව හා ලිඛිතව ඉල්ලා තිබුණ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය ඉටු කළේ නැහැ.  ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා පැවැත්වෙන අවස්ථාවේ මෙය ඉටු කළ නොහැකි බවත් පසුව ඒ ගැන සළකා බලන බවත්, රනිල් වික්‍රමසිංහ මහතා බැසිල් රාජපක්ෂ මහතාට දැන්වූ බව  එකල වාර්තා වුණා.

තවත් වතාවක දී බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙසයි. මෙම ඉල්ලීම ද කිහිප වතාවක් ම ඉදිරිපත් කොට තිබුණ ද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 113 ගේ අත්සන් සහිත ඉල්ලීමක් කරන්නේ නම් ඒ ගැන සළකා බලන බව ජනාධිපතිවරයා ඔහුට පිළිතුරු වශයෙන් පැවසූ බවයි දැනගන්නට තිබෙන්නේ.

මේ අතර පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවරණයට පොදුජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව දේශපාලන රැස්වීම්වල දී පවසා තිබුණා.  ඉදිරි ජනාධිපතිවරණයට නාමල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරනවා දැ යි මාධ්‍යවේදීන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසූ විට ඔහු පවසා තිබුණේ ''නාමල්ට ඒකට තව කල් තියෙනවා" යනුවෙනි.

(ලෝක බලවතුනටවත් යට නොවූ මහින්ද පවුලේ බලපෑමට අසරණවෙලා ?)  ඒ දිනවල නාමල් රාජපක්ෂ මහතාගේ අදහස වී තිබුණේ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඉදිරිපත් කිරීමට යි. බැසිල් රාජපක්ෂ මහතා ද එයට කැමැත්ත පළ කර තිබූ අතර පසුගිය කාලයේ පැවති පොදුජන පෙරමුණේ මහා ම=සම්මේලනය, පසුගිය මැයි දින සැමරුම ආදී උත්සව ගණනාවක දී බරපැන දරා තිබුණේ ද ධම්මික පෙරේරා මහතා යි. පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රීවරයකු හා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට් ඇමති වරයකු ලෙස ද කටයුතු කළ ධම්මික පෙරේරා මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ද සමීප ඇසුරක් පැවැත්වුවා.පොදුජන පෙරමුණට අවශ්‍ය මහජන නියෝජිත කෝටාවට රනිල් එකඟ වී නෑ

මේ අතර පසුගිය ජූලි මාසයේ  ජනාධිපති වික්‍රමසිංහ මහතා ගේ පැජට් පාරේ පිහිටි නිවසේ දී බැසිල් රාජපක්ෂ මහතා සහ වික්‍රමසිංහ මහතා අතර පැවති හමුවක දී ඉදිරි මැතිවරණවල දී පොදුජන පෙරමුණට හිමිවන තැන පිළිබඳ බැසිල් රාජපක්ෂ මහතා විමසා තිබෙනවා. එම මැතිවරණවල දී පොදුජන පෙරමුණට ප්‍රධාන තැනක් හිමිවිය යුතු අතර පළාත් පාලන මන්ත්‍රී තනතුරුවලින් 80% ක් ද පළාක් සභා මන්ත්‍රී තනතුරුවලින් 70% ක් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරවලින් 60% ක් ද පොදුජන පෙරමුණට හිමිවිය යුතු බව බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇතත්, රනිල් වික්‍රමසිංහ මහතා එයට එකඟ වී නැති බවයි වාර්තා වුණේ.    ඊළඟ ආණ්ඩුවේ අගමැතිකම නාමල්ට දෙන්නැ යි බැසිල් ඉල්ලලාවැඩිම මන්ත්‍රී ගණනක් තේරී පත්වන පක්ෂයට යි අගමැති ධූරය - රනිල් ගෙ පිළිතුර

එසේම ජනාධිපතිවරණයෙන් පසු ආණ්ඩුවේ අගමැති ධූරය නාමල් රාජපක්ෂ මහතාට ලබාදෙන ලෙස ද බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා තිබුණා. අගමැති ධූරය ලබා දෙන්නේ ඉදිරි මැතිවරණයෙන් වැඩිම මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් ලබා ගන්නා පක්ෂයට බව රනිල් වික්‍රමසිංහ පිළිතුරු වශයෙන් පවසා තිබෙනවා.

මේ අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ආණ්ඩුවේ කැබිනට් ඇමති තනතුරු රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති තනතුරු දරණ පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් සමඟ වෙන වෙන ම පෞද්ගලිකව සාකච්ඡා පවත්වමින් ඉදිරි ජනාධිපතිවරණයට තමා ස්වාධීන පොදු අපේක්ෂකයකු හැටියට ඉදිරිපත් වීමට යන බැවින් ඒ සඳහා සහාය දෙන ලෙස ඉල්ලා තිබුණා. පොදුජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කිරීම ගැන ඒ වන විට තීරණයක් ගෙන නොතිබුණ බැවින් ද පොදුජන පෙරමුණෙන් සුදුසු අපේක්ෂකයකු නොමැති බැවින් ද ඔවුන් ජනාධිපතිවරයාට සහාය දීමට එකඟතාවය පළ කොට තිබෙනවා. පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ අදහස වී තිබුණේ ද රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට යි. නාමල් ගෙ ගෝල බාලයින්ට තදවෙලා ‍ ජනාධිපතිවරයා පොදුජන පෙරමුණ සමඟ නිල වශයෙන් සාකච්ඡා නොකොට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සමඟ පෞද්ගලික මට්ටමින් සාකච්ඡා කිරීම ගැන බැසිල් රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ මහතා ඇතුළු ඔහු සමඟ සිටින කණ්ඩායම බලවත් සේ කෝපයට පත්වී තිබෙනවා.

පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ඔවුන් තීරණය කොට ඇත්තේ ඒ අනුව බවයි දැනගන්නට තිබෙන්නේ.

පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට යන බව ආරංචි වීමෙන් පසු ජනාධිපති වික්‍රමසිංහ මහතා බැසිල් රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡා වට හතරක් (04) පවත්වා තිබුණා.

(හීන දැක දැක හුන් ධම්මික ගේ බොඳ වූ සිහින පොකුර)එයින් එක සාකච්ඡාවකට නාමල් රාජපක්ෂ මහතා ද කතා කොට ඇති නමුත් තමන් කලින් යොදාගත් වැඩක් ඇති බව පවසා ඔහු එයට පැමිණ නැති බව ආරංචි මාර්ග පැවසුවා.

මේ අතර බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට සූදානම් වන්නැ යි ධම්මික පෙරේරා මහතාට දැනුම් දී තිබෙනවා.

ජනාධිපතිවරණයේ දී පොදුජන පෙරමුන තමන්ට මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට හතළිස් නමයක් (49%) ලබා දීමට කටයුතු කරන්නේ නම් ඉතිරි සියයට දෙක (02%) ලබා ගැනීමට තමන්ට හැකි බව ධම්මික පෙරේරා මහතා ඔවුන්ට දැනුම්දුන් බව ද වාර්තා වෙනවා.

මේ පසුබිම යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ජූලි 29 වැනි දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ විජේරාම මාවතේ පීහිටි නිල නිවසේ දී රැස් වී පොදුජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණය කළා.

එම තීරණයට විරුද්ධව පොදුජන පෙරමුණේ ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, අලි ෂබ්‍රි, ෂෙහාන් සේමසිංහ, ප්‍රමිත බන්ඩාර තෙන්නකෝන්, කණක හේරත්, කෝකිලා ගුණවර්ධන, ගීතා කුමාරසිංහ, ඇතුළු මැති ඇමතිවරුන්, ඇමතිවරියන් ගණනින් 92 කු තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව කියා සිටියා.

ඉන්පසු ඔවුන් පොදුජන පෙරමුණෙ දිස්ත්‍රික් හා ආසන බල මණ්ඩල රැස් කොට රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේ දී සහය පළ කිරීමේ යෝජනා ද සම්මත කර ගෙන තිබුණා.

මේ තත්ත්වය අනුව තරග කිරීමෙන් පලක් නැති බව වටහා ගත් ධම්මික පෙරේරා මහතා තමන් ඉදිරිපත් නොවන බව බැසිල් රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ට දැනුම් දී තිබුණ ද ඔවුන් ඔහුට පවසා තිබුණේ පක්ෂයෙන් අපේක්ෂකයකු තෝරා ගන්න තෙක් ඔහුගේ ඉවත්වීම ප්‍රසිද්ධ නොකරන ලෙසයි.

බෙරලුගොඩ සිංහයා ගේ පුතා දිනේෂ්, බැසිල්ලට හදිසියේ ම මතක්වෙලා

මේ වන විටත් අගෝස්තු 07 වැනි දා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ප්‍රකාශයට පත්කරන බව එහි මහ ලේකම් සාගර කාරියවසම් මහතා මාධ්‍යවලට පවසා තිබුණා.

ඉන්පසු බැසිල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වන්නැ යි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ගෙන් ඉල්ලා ඇති නමුත් ගුණවර්ධන මහතා එය ප්‍රතික්ෂේප කොට තිබෙනවා.

අන්තිමේ දී පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා පත් කිරීමට තීරණය කොට ඇති අතර නාමල් ද එයට කැමැත්ත පළ කළ බවයි වාර්තා වෙන්නේ.

අගේස්තු 06 වනදා නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණු කාර්යාලයෙන් ධම්මික පෙරේරා මහතා අපේක්ෂක ධූරයෙන් ඉල්ලා අස්වූ බවට ලිපියක් සකස් කොට ඔහු වෙත යවා ඇති අතර ධම්මික පෙරේරා මහතා එය අත්සන් කොට එවා තිබුණා. එදින රාත්‍රියේ මාධ්‍ය වෙත එම ලිපිය නිකුත් කිරීමට ද නාමල් රාජපක්ෂ මහතා ගේ කණ්ඩායම පියවර ගෙන තිබුණා.

පවුලේ වැඩිමලා ගේ කීම පයිසෙකට ගණන් නොගත් රාජපක්ෂ ‌දරුවන් හා සොවුරන් රාජපක්ෂවරුන් මේ අවස්ථාවේ මැතිවරණවලට ඉදිරිපත් නොවිය යුතු ය යන මතයේ සිටින රාජපක්ෂ පවුලේ වැඩිමලා වන චමල් රාජපක්ෂ මහතා නාමල් ඉදිරිපත්වීම ගැන විරෝධය දක්වා තිබූ අතර මහින්ද රාජපක්ෂ මහතාට පවුලේ බලපෑම මත සිය විරෝධය ඉවත් කර ගැනීමට සිදුවූ බවයි වාර්තා වෙන්නේ.
චමල් ද ශෂී ද නෙළුම් මාවත පැත්ත පළාතකට ආවේ නෑ
(රාජපක්ෂලා කිසිකෙනෙක් ඡන්දෙකට යන්න සුදුසු වෙලාව නෙවෙයි මේ - චමල්නාමල් ජනාධිපති අපේක්ෂකයා සේ නම් කිරීම සඳහා අගෝස්තු 07 වැනිදා නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති උත්සවයට ද චමල් රාජපක්ෂ හා ඔහුගේ පුත්රා රාජ්‍ය ඇමති  ශෂීන්ද්‍ර රාජපක්ෂ මහත්වරුන් ද පැමිණ සිටියේ නැහැ.තමා ජනාධිපති අපේක්ෂකයා සේ ඉදිරිපත් වූයේ පොදුජන පෙරමුණේ ගම්බද හා ප්‍රාදේශීය ඡන්ද පදනම ආරක්ෂා කිරීම සඳහා යැ යි නාමල් රාජපක්ෂ මහතා පවසනවා.පොදුජන පෙරමුණේ තීරණවලට පටහැනිව ගිය මැති ඇමතිවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ ගැන නිදහසට කරුණු විමසා යනව බවත් එහි මහ ලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළ නමුත් දැන් තීරණය කොට තිබෙන්නේ ජනාධිපතිවරණය අවසන් වන තුරු ඔවුන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග නොගැනීමට බවයි වාර්තා වෙන්නේ.                 

 මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේ දී සහාය පළ කරන පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන්ට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී පක්ෂයෙන් නාම යෝජනා නොලැබෙන හෙයින් ඒ සඳහා නව සන්ධානයක් පිහිටුවා මැතිවරණ කොමිසමේ ලියාපදිංචි කිරීමට ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් කටයුතු කර ගෙන යනවා.

(අලුතෙන් බිහිවෙන සන්ධානයේ නායකයා දිනේෂ්!!)නිමල් සිරිපාල ද සිල්වා මහතා ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිමල් ලංසා හා අනුර ප්‍රියදර්ශන යාපා මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් යුත් නව සන්ධානය හා දිනේෂ් ගුණවර්ධන මහතා ගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණ එක් කොට මෙම නව සන්ධානය පිහිටුවීමට යන බවත් එම සන්ධානයේ නායකයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා පත් කිරීමට යෝජනා වී ඇති බවත් දැන ගන්නට තිබෙනවා.

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

(කාලය ප්‍රශ්න විසඳන හැටි -  බන්දුලාල් යළි මැතිසබේ පුටුවට)

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් තීන්දුවක් අනුව මනූෂ නානායක්කාර හා හරීන් ෆ්‍රනාන්දු මහත්වරුන් ගේ මන්ත්‍රී ධූර පසුගිය සතියේ අහෝසි වුණා. එයින් මනූෂ නානායක්කාර මහතාගෙන් ඇති වූ පුරප්පාඩුවට ගාලු දිස්ත්‍රික් සජබ ලැයිස්තුවේ ඊළඟට සිටින බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පත්වීමට නියමිත යි.

තුන් කොන් පුටු තරගය නිසා දෙකෙන් පිරවෙන්නෙ එකක් විතරයි

සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රී හරීන් ෆ්‍රනාන්දු මහතා වෙනුවට මන්ත්‍රීවරයකු නම් කිරීමට සමගි ජන බලවේගයට ප්‍රශ්නයක් වී තිබෙනවා. ඒ එම මන්ත්‍රී පුරප්පාඩුව සඳහා තමන් පත් කරන ලෙස හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හා සුජීව සේමසිංහ සහ අජිත් පී. පෙරේරා යන මහත්වරුන් ද ඉල්ලා සිටීම යි.

මේ අතර හිරුණිකා මන්ත්‍රී ධූරයට පත් කළහොත් සමගි ජන බලවේගයට ලබා දෙන ප්‍රචාරයන් නතර කරන බවට එක්තරා රූපවාහිනී නාලිකාවක ප්‍රධානියකු සමගි ජන බලවේගයේ නායකත්වයට දන්වා ඇති බව ද දැන ගන්නට තිබෙනවා.

මේ නිසා එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට කෙනකු පත් කිරීම ජනාධිපතිවරණය අවසන් වන තුරු කල් දැමීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ ප්‍රකාශකයකු සඳහන් කළා.

-  ජගත්  -