උණුසුම් පුවත්දේශපාලන

ජගත් ගේ – සතියේ සටහන

මේ වසරේ සැප්තැම්බර් මාසයේ දී පැවැත්වෙන ජනාධිපතිවරණයට මුහුණදීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ සන්ධානගත වීම දැන් වේගවත් වී තිබෙනවා.

මෙම සන්ධානගතවීම නිසා ඇතැම් පක්ෂ තුළ අර්බුද හටගෙන ඇති බවක් වාර්තා වෙනවා.

නිදහස ජනතා සභාවේ ජී. එල්. පීරිස්, ඩිලාන් පෙරේරා, නාලක ගොඩහේවා, චන්න ජයසුමන, වසන්ත යාපා බණ්ඩාර, හා කේ. පී. එස්. කුමාරසිරි යන මන්ත්‍රීවරුන් හය දෙනා පසුගියදා සජිත් ප්‍රේමදාස මහතා සමඟ ගිවිසුමක් අත්සන් කොට සමගි ජන බලවේගයට එක්වීමෙන් පසු සමගි ජන බලවේගය තුළ විශාල අර්බුදයක් හටගෙන තිබෙනවා.

මෙම අර්බූදයට හේතුව නිදහස ජනතා සභාවේ නාලක ගොඩහේවා, ඩිලාන් පෙරේරා, සහ චන්න ජයසුමන යන තිදෙනාට එරෙහිව සමගි ජන බලවේගයේ හවුල්කාරී පක්ෂවලින් හා මන්ත්‍රීවරුන් නැගී සිටීමයි. ගෝඨාභය ජනාධිපතිවරයා ළඟින් ම සිටිමින් ඔහුට ලණු දුන් නාලක ගොඩහේවා දැන් සජිත්ට කිට්ටු වී ඔහුට ද ලණු දීමට දිගටම පටන් ගෙන ඇතැ යි සමගි ජන බලවේගයේ සමහර මන්ත්‍රීවරුන් පවසනවා. චන්න ජයසුමන පක්ෂයට ගැනීම ගැන දැඩි විරෝධයක් පළ කොට ඇත්තේ සමගි ජන බලවේගයේ හවුල්කාර පක්ෂ වන ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් සහ සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ නායක රිෂාඩ් බදිඋද්දීන් යන මහත්වරුන් ය.

පසුගිය මැතිවරණ කාලයේ වඳ සැත්කම්, වඳ කොත්තු ආදී ප්‍රකාශ සිදු කරමින් ඔහු මුස්ලිම් විරෝධයක් ඇති කළ බවට එම පක්ෂ නායකයින් චෝදනා කරනවා. චන්න ජයසුමන පක්ෂයට ගතහොත් තමන් සමගි ජන බලවේගයෙන් ඉවත් වන බව රිෂාඩ් බද්උද්දීන් හා රාවුෆ් හකීම් යන මහත්වරුන් සජිත් ප්‍රේමදාස මහතාට මූණට ම පවසා තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

එමෙන් ම චන්න ජයසුමන මහතා සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් නායකත්වය තමන්ට ලබා දෙන ලෙස සජිත් ප්‍රේමදාස මහතා ගෙන් ඉල්ලා තිබෙනවා. දැනට ඔහුට සජිත් විසින් කලාවැව ආසන සංවිධායක තනතුර ලබා දී ඇති බවත් වාර්තා වෙනවා. චන්න ජයසුමන අනුරාධපුර දිස්ත්‍රික් නායකයා ලෙස පත් කිරීමට විරුද්ධව චන්ද්‍රාණි බණ්ඩාර හා රෝහණ බණ්ඩාර යන පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සජිත් ප්‍රේමදාස මහතාට දැඩි විරෝධයක් එල්ල කොට ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.

ඩිලාන් පෙරේරා මහතා පසුගිය ආණ්ඩුවේ විදේශ රැකියා ඇමති ලෙස කටයුතු කරද්දී එම අමාත්‍යාංශයේ සිුවී ඇතැ යි කියන දූෂණ හේතුවෙන් සජබෙ මන්ත්‍රීන් පිරිසක් ඔහු පක්ෂයට ගැනීම පිළිබඳ ව විරෝධය පළ කරනවා.

සමගි ජන බලවේගය තුළින් ම එල්ල වී ඇති විරෝධය හේතුවෙන් ඩිලාන් හා චන්න අතරමං වී සිටින අතර ඔවුන් දැන් වෙනත් පක්ෂයකට හෝ සන්ධානයකට එකතුවීම ගැන සාකච්ඡා කරමින් සිටින බව ද දැන ගන්නට තිබෙනවා.

චන්න ජයසුමන මහතා පසුගිය සතියේ හිටපු ඇමති හා නව සන්ධානයේ නායක රොෂාන් රණසිංහ මහතා මුණ ගැසීමට ගිය බව ද ආරංචි මාර්ග පවසනවා.

මේ අතර පසුගිය සති කිහිපයේ නිහඬව හුන් ඩලස් අලහප්පෙරුම මහතා මේ සතියේ සිට නිදහස ජනතා සභාවේ කටයුතු යළි ආරම්භ කරනු ඇතැයි එම පක්ෂයේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.

නිදහස ජනතා සභාවේ නාවල දෙවැනි පටුමඟේ පිහිටි පක්ෂ කාර්යාලයේ තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර, පටිගත කිරීමේ උපකරණ කැමරා ආදී සන්නිවේදන උපකරණ පසුගිය 18 වැනි දා ජී. එල්. පීරිස් මහතා විසින් රැගෙන ගොස් ඇති අතර දැන් එහි ඇත්තේ මේස, පුටු පමණි. එම කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල බද්දට ගෙන තිබෙන්නේ ඩලස් අලහප්පෙරුම මහතා ගේ නමින් බැවින් එම කාර්යාලය වසා දැමීමට පීරිස් කණ්ඩායමට හැකි වී නැහැ.

දැන් ඩලස් අලහප්පෙරුම මහතා ආරම්භ කොට තිබෙන්නේ තමා සමඟ ඉතිරිව සිටින මන්ත්‍රීවරුන් ද සමඟ පක්ෂයේ කටයුතු දිගට ම කරගෙන යෑමයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද තවත් පක්ෂ කිහිපයක් එකතු කර‌ ගෙන නව සන්ධානයක් පිහිටුවීමට කටයුතු කරගෙන යනවා. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින් පසුගිය දිනවල තවත් දේශපාලන පක්ෂ  නායකයින් ගණනාවක් සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර  එහිදී ඵලදායී එකඟතාවයකට පැමිණීමට හැකි වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

නව සන්ධානයේ නායිකාව ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත්කර ගැනීමට එම පක්ෂවල එම සාකච්ඡාවලට සහභාගි වූ සෑම පක්ෂයක් ම කැමැත්ත පළ කොට ඇති බව ද දැනගන්නට තිබෙනවා.

නව සන්ධානය  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන කොට පිහිටුවීමටත්, එහි 50% බහුතර බලය එම පක්ෂයටත් 50% සෙසු සාමාජික පක්ෂවලටත් ලබා දීමටත් තීරණය වී ඇති බව ද වාර්තා වෙනවා. එසේම සන්ධානයේ සියලුම තීරණ ගැනීම සාමාජික පක්ෂවල නායකයින්ගෙන් යුත් නායකත්ව මණ්ඩලයක් විසින් සිදු කරනු ඇති.

අලුතින් ඇරඹීමට යන නව සන්ධානය කලින් පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානය නමින් පවත්වා ගෙන යාම ගැන ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. එහෙත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධුරය පිළිබඳව මහින්ද අමරවීර හා තිලංග සුමතිපාල යන මහත්වරුන් අතර පවතින ගැටුම තවමත් විසඳී නැති බැවින් 1994 ආණ්ඩුව පිහිටුවීමට මුල් වූ වාමාංශික එක්සත් පෙරමුණ යළි සක්‍රීය කොට එහි ලාංචනය වන 'පුටුව' ලකුණින් මැතිවරණවලට ඉදිරිපත් වීම වඩාත් යෝග්‍ය බව මෙම සාකච්ඡාවේ දී තීරණය වී තිබෙනවා

වාමාංශික එක්සත් පෙරමුණේ වර්තමාන ලේකම් වන්නේ ලසන්ත අලගියවන්න මහතා යි. මේ නිසා නව සන්ධානය වාමාංශික එක්සත් පෙරමුණ වශයෙන් කටයුතු ඇරඹීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි දැනගන්නට ඇත්තේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානත්වයෙන් හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නායකත්වයෙන් ආරම්භ කිරීමට යන නව සන්ධානයට නිමල් ලංසා මහතාගේ නායකත්වයෙන් යුත් සන්ධානය ද එක්වීමට යන බව ද දැනගන්නට තියෙන්නේ. එමෙන් ම ජනතා විමුක්ති පෙරමුණේ පැරණි මතවාදය සමඟ සිටින කණ්ඩායම් ගණනාවක් ද එයට එක්වීමට කැමැත්ත පළකර ඇතැ යි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. ලංසා මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ගෙන ඇති නව සන්ධානයේ මංගල රැලිය සෙනසුරාදා (27) ජාඇළ නගරයේ දී අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.

 

 

 

 

 

නායකයෙක්, පක්ෂ ලකුණක්, හා පක්ෂයක නමක් නොමැතිව පිහිටුවා ගෙන ඇති මෙම සන්ධානයට විශාල ජනකායක් සහභාගි වූයේ හොරකමට, දූෂණයට විරුද්ධව බවත්, ඉදිරියේ දී ආසන 160 ක නව සන්ධානයේ රැස්වීම පැවැත්වීමට යන බවත්, නිමල් ලංසා මහතා මෙහිදී ප්‍රකාශ කළා. අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම් ජයන්ත, ප්‍රියංකර ජයරත්න, හා වෙළඳ ඇමති නලීන් ෆ්‍රනාන්දු යන මහත්වරුන් මෙහිදී අදහස් දක්වා තිබුණා.

මේ අතර ජනාධිපතිවරණ  අපේක්ෂකයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මත දෙකක් තිබීම නිසා එම පක්ෂයේ අර්බුදයක් හටගෙන ඇතැ යි ආරංචි මාර්ග පවසනවා.

එයට හේතු වී තිබෙන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දිය යුතු බව ආණ්ඩුවේ ඇමති තනතුරු දරණ වැඩි දෙනෙක් ප්‍රකාශ කිරීම යි. තවත් පිරිසකගේ මතය වී තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වමේ පක්ෂ ද හවුල් කරගෙන වෙනම සන්ධානයක් පිහිටුවා ගෙන ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බව යි.

මේ තත්ත්වය යටතේ ඉකුත් සතියේ සුසිල් ප්‍රේම්ජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, නලීන් ෆ්‍රනාන්දු, නිමල් ලංසා, ජගත් පුෂ්පකුමාර ඇතුළු පිරිසක් හිටපු ජනාධිපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡාවක් පවත්වා ඇතැ යි දැනගන්නට තිබෙනවා. එම සාකච්ඡාව නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරු ද සහභාගි වී ඇති අතර මේ සාකච්ඡාවේ දී ස්ථිර තීරණයක් ගෙන නැති බවයි දැනගන්නට තිබෙන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින ආණ්ඩුවේ ඇමති තනතුරු දරණ පිරිසේ හා නිමල් ලංසා කණ්ඩායමේ අරමුණ වී තිබෙන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට යි.

 

 

 

 

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන ස්ථාවරයක සිටින බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එයට එකඟවනු ඇතැ යි ශ්‍රීලනිප යේ සිටින රනිල් හිතවාදී කණ්ඩායම පවසනවා.

⋆⋆⋆            ⋆⋆⋆             ⋆⋆⋆

මේ අතර දැනට සැසිවාරය අවසන් කොට තිබෙන පාර්ලිමේන්තුවේ නව සැසිවාරය පෙබරවාරි 7 වැනි දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවෘත කිරීමට නියමිත යි.

එයට පෙර කැබිනට් මණ්ඩලයේ සංශෝධන කිහිපයක් සිදු කොට දැනට ඇමතිධූර ලැබී නොමැති පොහොට්ටුවේ පිරිසකට ඇමති හා රාජ්‍ය ඇමති තනතුරු ලබා දීමට යන බව ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසනවා. මේ අතර මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා අද (29) පෙරවරුවේ මහවැලි සංවර්ධන හා වැවිලි රාජ්‍ය ඇමති වරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම දුන්නා.

(මෙහි ඇති දේශපාලන කාටුනය අන්ර්ජාලයෙනි. ලොල්ගේ නිර්මාණයකි)