උණුසුම් පුවත්දේශපාලනසතියේ සටහන

ජගත් ගේ සතියේ සටහන – 5

බක් මහේ ජාතික ආණ්ඩුවක් ??

අප්‍රේල් මාසය වන විට ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවේ නායකයින් කටයුතු කරගෙන යන බවත් ඒ සඳහා විපක්ෂයෙන් මන්ත්‍රීවරුන්  පිරිසක් ද එක්කර ගැනීමට සාකච්ඡා කරගෙන යන බවත් ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසනවා.

රවි කරුනානායකගේ ගෙදර දිගු සාකච්ඡාවක් කෙරිලා

මේ සඳහා නව දේශපාලන පක්ෂ, සංධානයක් ද බිහි කෙරෙන අතර ඒ පිළිබඳ රහසිගත සාකච්ඡාවක් ඉකුත්  සතියේ බත්තරමුල්ලේ පාර්ලිමේන්තුවට නුදුරේ පිහිටි හිටපු ඇමතිවරයකු වන රවි කරුණානායක මහතා ගේ නිවසේ දී පැවති බව ද වාර්තා වෙනවා.

රාත්‍රී භෝජන සංග්‍රහයක් ද සහිතව පැවති මෙම සාකච්ඡාවට මන්ත්‍රීවරුන් 14 කු සහභාගි වී ඇති

අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සිව් දෙනකු ද ඔවුන් අතර සිටිය බව යි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහකා ද මෙහි පැමිණ පැය භාගයක පමණ කාලයක් රැඳී  සිටිමින් පැමිණ සිටි මන්ත්‍රීවරුන් සමඟ කතාබහේ නිරතවෙලා සිටිය බවයි කියන්නේ.

 

නව දේශපාලන සංධානයක් පිහිටුවීම, ඒ මඟින් ජාතික ආණ්ඩුවක් පිහිටුවා කැබිනට් සංශෝධනයක් සිදුකොට තවත් පිරිසකට ඇමති තනතුරු ලබාදීම ගැන මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව ද වාර්තා වෙනවා.

වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කැබිනට් මණ්ඩලය තිහකට සීමා වී තිබෙන නමුත් ජාතික ආණ්ඩුවකට එම සීමාව බලනොපාන බැවින් වැඩි දෙනකුට ඇමති, රාජ්‍ය ඇමති, හා නියෝජ්‍ය ඇමති තනතුරු ලබාදීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

⋆       ⋆      ⋆    ⋆      ⋆     ⋆    ⋆

සමගි ජන බලවේගයේ නායකයින් වන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, පාඨලී චම්පික රණවක, දොස්තර රාජිත සේනාරත්න යන මන්ත්‍රීවරුන්ට පක්ෂ නායකත්වයෙන් එල්ල වී ඇති කැපිලි හේතුවෙන් ඔවුන් ළඟදී ම දේශපාලන තීන්දුවක් ගැනීමට යන බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

 

පක්ෂයේ සභාපති වන තමාගෙන් නොවිමසා හිටපු හමුදාපතීන් වන දයා රත්නායක හා දයා සඳගිරි ආදීන් පක්ෂයට බඳවා ගැනීම ගැන සරත් ෆොන්සේකා පසුගියදා ප්‍රසිද්ධියේ ම නායකත්වය විවේචනය කළා.

පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා විය යුතු කරුණු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් සරත් ෆොන්සේකා මහතා පක්ෂ විනය උල්ලංඝනය කොට ඇති බැවින් ඔහු පක්ෂ සභාපති ධූරයෙන් හා පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හරින ලෙස සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් මන්ත්‍රීවරුන් සජිත්ගෙන් ඉල්ලා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මේ සතියේ පැවැත්වෙන සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රසැවීමේ දී තීරණයක් ගනු ඇතැ යි දැනගන්නට තිබෙනවා.

 

එස්. එෆ් උසාවි ගිහින්

තහනමක් අරන්.

මේ අතර පසුගිය සඳුදා (19) සරත් ෆොන්සේකා මහතා කොළඹ දිසා අධිකරණය වෙත පෙත්සමක් ගොනු කරමින් තමා පක්ෂ සභාපති ධූරයෙන් හා පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම අත්හිටුවන ලෙසට නියෝගයක් ලබා දෙන්නැ යි ඉල්ලා සිටියා.

එම පෙත්සම සලකා බැලූ කොළඹ දිසා විනිසුරුවරයා ඒ මහතා පක්ෂයේ තනතුරු වලින් ඉවත් කිරීම දින 14 කට තහනම්කරමින් අතුරු නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

සමගි ජන බලවේගයේ කටයුතු වලින් ඉවත් වී ස්වාධීනව කටයුතු කරන නමුත් එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සිටින පාඨලී චම්පික රණවක මහතා ට පක්ෂ නායකත්වයේ කඩුව එල්ල වී නැතත්, පසුගිය 8 වැනි දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ නව සැසි වාරය විවෘත කිරීමට පැමිණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරද්දී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සභාවෙන් නැගිට යද්දී පාඨලී චම්පික රණවක මහතා රැඳී සිටිමින් එම කතාව අසා සිටියා.

සරත් ෆොන්සේකා සහ රාජිත සේනාරත්න යන මන්ත්‍රීවරුන් ද පක්ෂයේ තීරණය පිළිනොගෙන සභාවේ රැඳී සිට ජනාධිපතිවරයා ගේ කතාව අසා සිටියා.

පසුදින ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයේ දී කතා කිරීමට චම්පික රණවක මහතා ඉල්ලා තිබූ කාලය විපක්ෂයේ කථික ලැයිස්තුවෙන් ඔහුගේ නම කපා දමා තිබුණා.

මේ ගැන විමසූ විට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රණවක මහතාට පවසා ඇත්තේ පක්ෂ නායකයා ගේ දැනුම්දීම අනුව ඔහුගේ නම කථික ලැයිස්තුවෙන් ඉවත් කළ බවත් එයට හේතුව ඔහු පක්ෂ තීරණයට පටහැනිව ගොස් ජනාධිපතිවරයා ගේ කතාව අසා සිටීම බවයි.

චම්පික රණවක මහතා ද මේ ගැන මාධ්‍ය සාකච්ඡාවල දී පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැඩි ලෙස විවේචනය කොට තිබුණා.

මේ හැර ඉදිරි ජනාධිපතිවරණයේ දී තමා ද ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට සූදානම් බව ද පාඨලී චම්පික රණවක මහතා කර තිබූ ප්‍රකාශයකින් ද සජිත් ප්‍රේමදාස මහතා ගේ කැපැලිවලට තවත් ප්‍රධාන හේතුවක් බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.

චම්පික වෙනුවට නාලක ගොඩහේවා මුදල් කාරක

මේ අතර නව පාර්ලිමේන්තු සැසිවාරයේ දී කාරක සභාවලට සාමාජිකයින් නම් කිරීමේ දී පසුගිය වාරයේ මුදල් කාරක සභාවේ සාමාජිකයකු ව සිටි චම්පික රණවක මහතා මෙවර එයින් ඉවත් කොට ඒ වෙනුවට මෑත දී පක්ෂයට එක්වූ නාලක ගොඩහේවා මහතා සජිත් ප්‍රේමදාස මහතා විසින් නම්කොට තිබෙනවා.

මීට පෙර   ක්‍රම සහ විධි සභාපති ලෙස   කටයුතු කළ පාඨලී චම්පික රණවක මහතා මෙවර ඉන් ඉවත් කිරීමට ද සජිත් ප්‍රේමදාස මහතා පියවර අරගෙන.

ක්‍රම සහ විධි කාරක සභාවේ පාඨලී චම්පික රණවක මහතා කටයුතු කරද්දී සුරාබදු, දේශීය ආදායම් බදු හා ගෙවීම් පැහැර හැර සිටි ව්‍යාපාරිකයින්ගෙන් එම බදු අයකර ගැනීම සඳහා විධිමත් වැඩ පිළිවෙලක් යෝජනා කොට තිබූ අතර ඒ අනුව රජයට අහිමිව තිබූ රුපියල් කෝටි දහස් ගණනක මුදලක් අයකර ගැනීමට එම දෙපාර්තමේන්තුවලට හැකි වී තිබුණා.

දොස්තර රාජිත සේනාරත්න මහතා ද ආණ්ඩුවේ නායකයන් සමඟ සමීපව ඇසුරු කිරීම හා පක්ෂයේ මාධ්‍ය සාකච්ඡා ආදියට සහභාගි නොවීම ගැන ඔහු පිළිබඳව ද සජිත් ප්‍රේමදාස මහතා නොසතුටින් පසුවන බවයි වාර්තා වෙන්නේ.

           සජබෙ දෙදරයි ද ?

සජිත් ප්‍රේමදාස මහතා පාර්ලි‌මේන්තුවේ නිතර නිතර කතා කරමින් පක්ෂයට ලැබී තිබෙන කාලයෙන් වැඩි කොටසක් ලබා ගැනීම නිසා තමන්ට කතා කිරීමට වේලාව නොලැබීම ගැන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් රැසක් දැඩි අප්‍රසාදයෙන් පසුවෙන බවත්, සෑම රැස්වීමක ම පක්ෂ නායකයා පමණක් කැපී පෙනීම නිසා ඔවුන් දැඩි කලකිරීමකින් පුසවන බවත් එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

මේ තත්ත්වය යටතේ ළඟදීම සමගි ජන බලවේගයේ දෙදරීමක් හට ගනු ඇතැ යි ද ඉන් වැඩි දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්වනු ඇතැ යි ද දේශපාලන විචාරකයින් අනාවැකි පළකරනවා

- ජගත් -