උණුසුම් පුවත්දේශපාලනසතියේ සටහන

ජගත් ගේ සතියේ සටහන – 8

ගෝඨා පොතෙන් කියන කතාව

'ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය' මැයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 7 වැනි දා නිකුත් කළ ග්‍රන්ථය සම්බන්ධයෙන් දේශපාලන හා රටේ ජනතාව අතර දැඩි කතාබහක් ඇති වී තිබෙන අතර එම පොත ගැන විවේචන ද එල්ල වෙමින් පවතිනවා.

2022 ජූලි 9 වනදා අරගලකරුවන් ජනාධිපති මන්දිරය වටලද්දි ඊට මුහුණ නොදී ජනාධිපති මන්දිරයේ පිටුපස දොරටුවකින් යාබද ව පිහිටි නාවික හමුදා කඳවුරට පළාගොස් කොළඹ වරායේ සිට නාවික යාත්‍රාවකින් ත්‍රීක=ණාමලයට ගිය ගෝඨාභය රාජපක්ෂ මහතා එහි සිට යළි හෙලිකොප්ටරයකින් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ මාලදිවයින බලා ගිය අන්දම මේ පොතේ විස්තර කොට තිබෙනවා. එහි මෙසේ ද සඳහන්.

2022 ජූලි 9 වැනි දා උදෑසන ආරක්ෂක ලේකම්, යුද,  නාවික, ගුවන් හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා සහ රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයා ජනාධිපති මන්දිරයේ ස්ථාපිත කර තිබූ මෙහෙයුම් මැදිරියට පැමිණ සිටියහ. ආණ්ඩුවේ සැලසුම වූයේ සියලු ප්‍රවේශ මාර්ග අවහිර කිරීම තුළින් විරෝධතා කරුවන් කොළඹට පැමිණීම වැළැක්වීම යි. නමුත් එවැනි මාර්ග බාධක කොතැනකවත් ස්ථාපිත කර නොතිබූ අතර උද්ඝෝෂකයන් කිසිදු අවහිරයකින් තොරව ජනාධිපති මන්දිරය වෙත පැමිණියේ ය.

පෙරවරැ 10. 30 ට පමණ මා වහාම ජනාධිපති මන්දිරයෙන් පිටවිය යුතු බව ආරක්ෂක ලේකම් හා හමුදා ප්‍රධානීන් මට කියා සිටියේ ය. ඒ වන විට උද්ඝෝෂකයින් ජනාධිපති මන්දිරය වටලා පැයකවත් ගත වී තිබුණේ නැත. ඊට පෙර දින මගේ ආරක්ෂක නිලධාරීන් ගේ උපදෙස් පරිදි අපි හදිසි අවස්ථාවක දී ප්‍රයෝජනයට ගැනීම සඳහා ඇඳුම් සහ වෙනත් දේ සහිත ව ගමන් මලු දෙකක් සූදානම් කොට තිබුණි.

මාර්ග බාධක කිසිම තැනක යොදා තිබුණේ නෑ                               

අප එම ගමන් මලු රැගෙන පහළට පැමිණ අපගේ වාහනවලට නගින විට උද්ඝෝෂකයින් ඉදිරි ගේට්ටුව කඩාගෙන ජනාධිපති මන්දිර පරිශ්‍රයට ඇතුළු විය. මේ සියල්ල සිදුවන අතරතුර බැසිල් ද ජනාධිපති මන්දිරයේ සිටිය අතර ඔහු ද අපගේ වාහනයට නැගගත් පසු අපි ජනාධිපති මන්දිරයේ පසුපස ගේට්ටුවකින් අසල පිහිටි නාවික හමුදා කඳවුරට තුළට ඇතුළු වූයෙමු. පව සුරක්ෂිතව එම ස්ථානයෙන් ඉවතට ගෙන යාමට අවශ්‍ය වැඩපිළිවෙළ නාවික හමුදාපතිවරයා සැලසුම් කොට තිබිණි.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් ගේ හදිසි රැස්වීමක් ද කැඳවා තිබුණි. පක්ෂ නායකයින් ගන්නා ඕනෑම තීරණයකට ගරු කරන බව මම අග්‍රාමාත්‍යවරයාට දැනුම් දුන්නෙමි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ මෙම කෘතිය කියැවීමේ දී පැහැදිලි වන්නේ ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පතිවරයා ගේ ද, රාජ්‍ය බුද්ධි අංශයේ කිසිදු සහයක් ඔහුට ලැබී නැති බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ග්‍රන්ථයෙන් පෙන්වා ඇති පරිදි උද්ඝෝෂකයන් 2022 ජූලි 9 වනදා පෙරවරුවේ ජනාධිපති මන්දිරය වටලන විට ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පති ද එහි සිට තිබෙනවා.

එහෙත් උද්ඝෝෂකයින් ගේ පැමිණීම වැළැක්වීමට ඔවුන් හමුදාවලට හෝ පොලිසියට හෝ කිසිදු නියෝගයක් ලබා දී නැහැ. ජනාධිපති මන්දිරයට පැමිණෙන ප්‍රවේශ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂකයින් පැමිණීම වැළැක්වීම සඳහා මාර්ග බාධක යෙදීමට ආරක්ෂ අංශ කලින් තීරණය කර තිබූ නමුත් එසේ මාර්ග බාධක කොතනකවත් ස්ථාපිත කර නොතිබූ බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ පොතේ දැක්වෙනවා.

මෙයින් පැහැදිලි වන්නේ තම හිතවතුන්, ආරක්ෂක ලේකම්වරයා, යුද හමුදාපති, පොලිස්පති සේ පත්කොට තිබියදීත් ඔවුන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ආරක්ෂා කිරීමට කිසිදු පියවරක් ගෙන නැති බවයි.

මිරිහානේ නිවස උද්ඝෝෂකයින් වටකරද්දි ආරක්ෂක ලොක්කන් හිටියෙ තරු පහේ හෝටලේක.

2022 මාර්තු 31 වැනිදා උද්ඝෝෂකයන් මිරිහානේ පිහිටි ජනාධිපතිවරයා ගේ පෞද්ගලික නිවස වටකළ අවස්ථාවේ ජනාධිපතිවරයා ඒ බව යුද හමුදාපති හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ෂවේන්ද්‍ර සිල්වාට හා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නට දැනුම් දී ඇතත් ඒ අවස්ථාවේ තරු පහේ හෝටලයක මංගංල උත්සවයකට සහභාගි වෙමින් සිටි ඔවුන් ඒ ගැන කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා තම පොතෙහි දක්වා තිබෙනවා.

එමෙන් ම 2022 ජූලි 8 – 9 දිනවල කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අසලට විරෝධතා කරුවන්ට ඇතුළුවීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය කළ ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළ බව ද මෙහි සඳහන් වෙනවා.

ජූලි 8 වනදා රාත්‍රියේ බස්නාහිර පළාතේ ඇතැම් ප්‍රදේශවලට රජය පොලිස් ඇඳිරි නීතිය පැණවූ විට ශ්‍රී ලංකා නීතිඥ සංගගගමය මහජන උද්ඝෝෂණවලට පොලිස් ඇඳිරි නීතිය පැණවීම හෙළා දුටුවේ මෙම ක්‍රියාමාර්ගය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හා විසම්මුතිය මැඬලීමේ අරමුණෙන් කරන ලද්දක් බව පවසමින් යැයි ද ගෝඨාභය රාජපක්ෂ මහතා සිය කෘතියෙහි දක්වා තිබෙනවා.

තමා නෙරපීම සඳහා කුමන්ත්‍රණයක් දියත් වූ බවත් දේශපාලන හා විදේශීය බලවේග එය මෙහෙය වූ බවත් ගෝ්‍යාභය රාජපක්ෂ මහතා දක්වා ඇතත් එම විදේශීය බලවේග ගැන විස්තර දක්වා නැහැ. ඔහුගේ 'ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය" කෘතිය පිටු 192 කින් යුක්ත වන අතර සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් ද එය නිකුත් කොට තිබීම විශේෂත්වයක්.                                                               නොලියුවා නම් වඩා හොඳයි - විමල් වීරවංශ                             

දෙදවසකින් පළමු මුද්‍රණය අහවරයි - දෙවන මුද්‍රණය සූදානම් - විජිත යාපා

මේ පොත එළි දැක්වීම සඳහා කිසිදු උත්සවයක් පැවැත්වුණේ නෑ. විජිත යාපා ප්‍රකාශන සමාගම මඟින් පළකොට ඇති මෙම පොතේ සියලු පිටපත් දෙදිනකින් අවසන් වූ බව විජිත යාපා පවසා තිබුණා. එහි දෙවන මුද්‍රණය මේ සතියේ නිකුත් කරන බව ද ඔහු සඳහන් කළා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ පොත සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ''මේ පොත නොලියා සිටියා නම් හොඳ බව" යි.

පොත කියවන විට කිසිම කුමන්ත්‍රණයක තොරතුරු හෙළි වෙන්නෙ නෑ - පාඨලී චම්පික

මාතෘකාවෙන් කුමන්ත්‍රණයක් ගැන සඳහන් කර ඇතත් මේ පොත කියවන විට කිසිදු කුමන්ත්‍රණයක තොරතුරු හෙළි නොවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසුවා.කුමන්ත්‍රණයක් සිදුවුණා නම් එයට හේතුව එතුමා ගේ ආණ්ඩුවේ ම ක්‍රියාදාමවල ප්‍රතිඵලයක් බවත්, තමා මුළු පොත ම කියැවූ නමුත් කුමන්ත්‍රණයක් ගැන එහි ප්‍රකාශ වී නැති බවත් රණවක මහතා කියා සිටියා.මේ පොත කියැවූ දේශපාලන විචාරකයින් ප්‍රශ්න කරන්නේ රටේ ආරක්ෂක ඇමති හා සේනාධි නායකයා ද වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට ඔහු යටතේ තිබූ ත්‍රිවිධ හමුදා හා පොලිසිය පාලනය කරගත නොහැකි වූයේ මන්ද යන්න යි.

විශේෂයෙන් ම යුද හමුදාවට අණදීමේ ප්‍රමාදයක් සිදුවී ඇති බවත් එසේ වුවද යුද හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂා කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම කෘතියෙන් උත්සාහ දරා තිබීම ප්‍රශ්නයක් බවත් ඔවුන් පවසනවා.

- ජගත් -