උණුසුම් පුවත්දේශපාලනසතියේ සටහන

ජගත් ගේ සතියෝ සටහන – 9

නවක මන්ත්රීවරුන් පාර්ලිමේන්තුව විසුරුවන්න අත්සනට අකමැතියි - මන්ත්රී විශ්රාම වැටුපට කෙළ වෙන නිසා

බැසිල් ආ පසු සිදුවන වා ය කී ‌විශාල දේශපාලන පෙරළිය???

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පසුගිය 5 වැනි දා ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීම පොදු ජන පෙරමුණු පාක්ෂිකයන් තුළ මහත් උද්යෝගයක් ඇති කිරීමට සමත් වුණා. බැසිල් පැමිණි පසු දේශපාල‌නයේ විශාල පෙරළියක් සිදුවනු ඇතැ යි සමහරු අනාවැකි ද පවසා තිබුණා. ශ්‍රී ලංකාවට පැමිණි පසු බැසිල් රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ගොස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡාවක් පැවැත්වූ වාර්තා වුණත් එහිදී සාකච්ඡා වූ කරුණු ප්‍රසිද්ධියට පත්වුණේ නැහැ. එහෙත් රටේ ආර්ථිකය ගැන සාකච්ඡා වූ බවත් කඩා වැටී ඇති ආර්ථිකය නංවාලීමට තමා ගත් පියවර ජනාධිපතිවරයා බැසිල්ට විස්තර කළ බවත් නෙළුම් මාවතේ ආරංචි මාර්ගවලින් දැන ගන්නට තියෙනවා.

මේ අතර පොදුජන පෙරමුණේ ආසන සංවිධායකයින් හා හිටපු පළාත් පාලන ප්‍රධානීන් හා නියෝජිතයින් නෙළුම් මාවත කාර්යාලයේ දී හමුවී ඇති බැසිල් රාජපක්ෂ මහතා ඔවුන් සමඟ පවසා තිබුණේ මේ වසරේ ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවයි.

''ජනාධිපතිවරණය ප්‍රථමයෙන් පැවැත් වූ විට එක වැඩි ඡන්දයකින් හෝ ජය ගන්නා අපේක්ෂකයා ජනාධිපති වෙනවා

ඉන්පසු ඔහුගේ ජනාධිපති ධූරය යටතේ මහ මැතිවරණයක් පැවැත්වූ විට එම ජනාධිපතිවරයා ගේ පක්ෂයට අනිවාර්යයෙන් ම ආසන විශාල සංඛ්‍යාවක් ලැබෙනවා. එවිට සමතුලිත ආණ්ඩුවක් බිහි වෙන්නේ නැහැ. 2020 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ පැවැත්වූමහ මැතිවරණයෙන් පොදු ජන පෙරමුණට විශාල වැඩි ආසන සංඛ්‍යාවක් ලැබුණෙ ඒ නිසයි. ඒ ක්‍රමය සාධාරණ නැහැ" යි බැසිල් රාජපක්ෂ මහතා ඔවුන්ට පවසා තිබෙනවා.

පාර්ලිමේන්තු මැතිවරණය කලින් පැවැත්වුවහොත් කිසිම කිසිදු පක්ෂයකට තනිවම ආණ්ඩුවක් පිහිටුවීමට තරම් ආසන සංඛ්‍යාවක් ලැබෙන්නේ නැතා බවත් එවිට සුළු පක්ෂ හවුල් කරගෙන ජාතික ආණ්ඩුවක් පිහිටු වීමට ජනාධිපතිවරයාට පුළුවන් බවත් ඔහු තව දුරටත් පැවසූ බව ද වාර්තා වෙනවා.

පොදුජන පෙරමුණේ තරුණ නායකයකු වන නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ ප්‍රථමයෙන් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු බවයි. මහ මැතිවරණය ගැන කතා කිරීම සඳහා නාමල් රාජපක්ෂ මහතා පසුගිය සතියෝ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී හා ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා හමුවීමට කොළඹ හතේ මල්පාරේ පිහිටි ඔහුගේ නිවසට ගොස් තිබෙනවා.

''මේ වෙලාවේ ජනාධිපතිවරණයක් තිබ්බොත් අපි එකතුවෙලා තරග කළත් පරදිනවා. ඒත් මහ මැතිවරණයක් තිබ්බොත් අපට එයින් දිනන්න පුළුවන් ආසන අඩුවුණොත් ජනාධිපතිවරයාට පුළුවන් සමගි ජන බලවේගයෙන් හරි සුළු පක්ෂවලින් හරි කට්ටිය අරගෙන ජාතික ආණ්ඩුවක් හදන්න" යැ යි ඔහුට පැවසූ නාමල් රාජපක්ෂ මහතා මේ ගැන ජනාධිපති තුමාට කරුණු කියන ලෙස ද සාගල රත්නායක මහතාගෙන් ඉල්ලා තිබෙනවා.

''ඔයා ජනාධිපතිතුමා එක්ක සම්බන්ධතා පවත්වනවා නේ. එනිසා මේක ජනාධිපති තුමාට කියන්න" යි සාගල රත්නායක මහතා ඔහුට පැවසූ බව ද වාර්තා වෙනවා.

පාර්ලිමේන්තුව විසුරුවන්න අස්සන් 113 ක් මට දෙන්න රනිල් කියයි

මේ අතර බැසිල් රාජපක්ෂ මහතා ගේ අනුදැනුම මත පොදු පෙරමුණේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා තිබෙනවා. ඒ සඳහා පාර්ලිමේන්තුව විසිරුවා හැරිය යුතු බැවින් පාර්ලිමේන්තුව විසුරුවනවාට කැමැත්ත පළ කරන මන්ත්‍රීවරුන් 113 කු ගේ අත්සන් සහිත ලිපියක් තමාට ලබා දෙන ලෙසත්, ජනාධිපතිවරයා එම පිරිසට පවසා ඇති බවයි දැන ගන්නට තිබෙන්නේ.

මේ අනුව පොදු පෙරමුණු මන්ත්‍රීවරුන් පිරිස පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ඉල්ලා සිටින ලිපියකට මන්ත්‍රීවරුන් ගේ අත්සන් ලබා ගැනීමට කටයුතු කර ඇති නමුත් බොහෝ දෙනකු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධත්වය දක්වා තිබෙනවා. සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් පිරිසක් සමඟ ද මේ ගැන සාකච්ඡා කොට ඇති නමුත් ඔවුන් ද ඊට කැමැත්තක් පළ කර නැහැ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබෙන්නේ 2025 මැයි මාසයේ දී ය. එහෙත් පසුගිය මහ මැතිවරණයෙන් ප්‍රථමයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්ට නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හොත් මන්ත්‍රී විශ්‍රාම වැටුප ලැබෙන්නේ නැහැ. මේ නිසා නවක මන්ත්‍රීවරුන් මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනවාට විරුද්ධ වන බවයි පාර්ලිමෙන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

පොදුජන පෙරමුණ කොටස් තුනක්වෙලා 

පොදු පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව මේ වන විට එහි මන්ත්‍රීවරුන් කොටස් තුනකට බෙදී සිටිනවා. එක් කණ්ඩායමක්  පොදුජන  පෙරමුණේ සිටිමින් ජනාධිපතිවරයාට සහාය දක්වනවා. තවත් පිරිසක් ස්වාධීනව සිටින අතර සුළු පිරිසක් පොදුජන පෙරමුණේ රැඳී  සිටිමින් කටයුතු කරනවා.

මේ තත්ත්වය යටතේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ සමහරුන් ජනාධිපති අපේක්ෂකයා ගැන විවිධ අදහස් පළ කිරීමට පටන් ගෙන තිබෙනවා.

මේ නිසා ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳව කිසිවක් ප්‍රකාශ නොකරන ලෙස පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂා මහතා පසුගිය සතියේ මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබුණා.

දූෂණය පැය 24 න් මර්දනය කරනවා

දැන් පොදුජන පෙරමුණේ නායකයින් පවසන්නේ තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන්නේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව බව යි.

෴                  ෴                  ෴                   ෴

මාතෘ භූමිය මුහුණ පා ඇති අඳුරු දේශපාලන දුර්භික්ෂයට විසඳුම් සෙවීම සඳහා පිහිටුවා ගෙන ඇති මෙම දේශපාලන සන්ධාානයට දේශපාලන පක්ෂ 18 ක් හා වෘත්තීය සමිති සහ සවිල් සංවිධාන 30 ක් එක්ව සිටින බව ද දයාසිරි ජයසේකර මහතා පවසනවා.

මේ අතර හිටපු ක්‍රීඩා ඇමතිවරයකු වූ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා විසින් ද නව සංධානයක් පිහිටුවා ගෙන ඇති අතර තමා බලයට පත්වුණොත් රටේ දූෂණ පැය 24 න් මර්දනය කරන බවයි ඔහු පවසන්නෙ. රොෂාන් රණසිංහ මහතා තමා ජනාධිපතිවරණයට තරග කරන බව ද පසුගිය සතියේ ප්‍රකාශ කළා.

ඩලස් පිල තවම නිහඬයි වගේ

මේ අතර ඩලස් අලහප්පෙරුම මහතා ගේ නායකත්වයෙන් යුත් 'නිදහස ජනතා සභාව' කිසිදු පක්ෂයක් සමඟ සන්ධානගත වීමට මෙතෙක් තීරණයක් කොට නැහැ.  එහි නායකයකුව සිටි මහාචාර්ය ජී. එල්. පීරිස් හා නාලක ගොඩහේවා යන මහත්වරුන් සමගි ජන බලවේගයට එක්වී සිටිනවා. ඩලස් අලහප්පෙරුම මහතා ගේ නිදහස ජනතා සභාව එකතු කර ගැනීමට විමල් වීරවංශ උත්තර ලංකා සභාගය මෙන් ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පිහිටුවා ගැනීමට යන නව සන්ධානය ද කටයුතු කරගෙන යන නමුත් ඩලස් පිල කුමන මඟක් ගනීදැ යි තවම ප්‍රකාශ කොට නැහැ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය දැක්වීම සඳහා නිමල් ලංසා මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ගෙන ඇති නව සන්ධානය ඔවුන්ගේ ප්‍රචාරක කටයුතු හා සංවිධාන කටයුතු වේගවත් කොට තිබෙනවා.

නව සංධානය වෘත්තීය සමිති 58 ක් හා අනුබද්ධ සංවිධාන රැසක් පිහිටුවා ඇති අතර ඒවාට බැඳී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කැඩී ආ පිරිස් බව යි වාර්තා වෙන්නේ.

මීට පෙර ජා ඇළ දී හා හටිඩ් පිටියේ දී සාර්ථක ජනහමු දෙකක් පැවැත් වූ එකම සංධානය ඔවුන්ගේ මීළඟ රැළිය හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටියේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

එහෙත් ඊට පෙර නාමල් රාජපක්ෂ මහතා මාර්තු 31 වැනි දා හම්බන්තොට දී පොදුජන පෙරමුණේ රැළියක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැ යි පොදුජන පෙරමුණේ ආරංචි සඳහන් කරනවා.

- ජගත් -