උණුසුම් පුවත්දේශපාලන

ජනතාවට ලුණු ටිකවත් හරියට දෙන්න මේ ආණ්ඩුවට අද බෑ

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අප රටේ වර්තමානයේ ක්‍රියාත්මක දේශපාලන සංස්කෘතිය කතාවට, ලස්සන වචනවලට, ප්‍රකාශනවලට, නිවේදනවලට සීමා වි ඇති බවත් සමගි ජන බලවේගයේ ගමන වන්නේ ජනතා ප්‍රශ්නවලට උත්තර සහ විසඳුම් ලබා දීම බවත් ජනතාව මුහුණ දෙන ගැටලු තමාගේම පෞද්ගලික ගැටලු ලෙස සිතා බල එම ගැටලු නිසා දුකට වේදනාවට කණගාටුවට පත් ජනතාවට උත්තර හා විසඳුම් හරහා සෙතක් සැලසීම අරමුණ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද රටේ සමහර පුද්ලයන් ප්‍රමුඛස්ථානය ලබා දෙන්නේ කතාවට, සෝබන දේශපාලනයට, සමාජ මාධ්‍ය හරහා කෘතීම බුද්ධිය මඟින් නිර්මාණය කරන වීඩියෝවලට බවත් ඇත්ත කතාව වන්නේ මේ ඇස්බැන්දුම් දේශපාලනය තුළ ජනතා ගැටලුවලට උත්තර විසඳුම් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී සමහර ආසනවල විපක්ෂයේ බලය වැඩි බවත් ඒ ආසනවල විපක්ෂයට බලයට පැමිණියහොත් මාස 3ක් 4ක් පමණක් සිටිය හැකි බවට ජනාධිපතිවරයා තර්ජනය කරන බවත් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශයක් බවත් තර්ජනයට ගර්ජනයට මර්දනයට මුල්තැන දෙන ප්‍රකාශයක් බවත් මෙවැනි තර්ජනය කරන්නේ රටේ ජනතාවට ලුණු ටිකවත් දෙන්න බැරි රජයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක 'ගමින් ගමට නගරයෙන් නගරයට, උදාගමින් උදාගමට' වැඩසටහන යටතේ බටහිර කුට්ටියාවත්ත '797 නිවාස සංකීර්ණයේ' ජනතාවගේ ගැටලු සොයා බැලීම සඳහා පැවැති ජන හමුවකදීය.

ජනතාව මුහුණ දෙන ගැටලුවලට රජයේ අවධානය යොමු නොවන බවත් බඩු මිල අහස උසට නැගීම නිසා ජනතාව අමාරුවෙන් ජිවත් වෙන බවත් හරියාකාර ජීවනෝපාය නොමැති වීමත් ආදායම් මාර්ග නොමැති වීමත් නිසා ජනතාව දුකින් කාලය ගත කරන බවත් අද රටේ ඇත්තේ අදක්ෂ වැඩබැරි ආණ්ඩුවක් බවත් මේ වැඩ බැරි ආණ්ඩුව තර්ජනයෙන් මර්ධනයෙන් රට පාලනය කරන්න උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුවට විපක්ෂයට තර්ජනය කරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ

බඩු මිල අඩු කළ නොහැකි ජනතාව ජිවත් කළ නොහැකි ජනතාවට හොඳ ආදායම් මාර්ග නිර්මාණය කළ නොහැකි රජය විපක්ෂයට තර්ජනය කරමින් සිටින බවත් ජනතාව අපේක්ෂා කල පාලනය මෙය නොවන බවත් ජනතාවගේ පැතුම ප්‍රජාතන්ත්‍රවාදය රජකරවීම බවත් කතිර ගසා ඡන්දය ලබා දී විපක්ෂයට බහුතරයක් දුන්නේ මෙරට ජනතාව බවත් ජනතාව තමන්ගේ මතය පළ කරන විට එයට තර්ජනය කිරීමේ සදාචාරාත්මක අයිතියක් රජයට නොමැති බවත් කවුරු තර්ජන ඉදිරිපත් කළත් විපක්ෂයේ සියලු දෙනා අත්වැල් බැඳ ගෙන ගමේ ආණ්ඩුව පිහිටුවන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

අපි ජනතා ගැටලු සොයා පැමිණෙන්නේ මැතිවරණයක් නැති කාලෙදීයි

ගමින් ගමට නගරයෙන් නගරයට දොරින් දොරට ජනතාවගේ ගැටලුවලට ප්‍රශ්නවලට උත්තර සැපයීමේ අරමුණින් විසඳුම් ලබා දීමේ අදහසින් රටේ ජනතාවගේ ප්‍රශ්න සොයා බලන බවත් පළාත් පාලන මැතිවරණයෙන් පසුවත් තමා ජනතාව අසළට ගොස් ගැටලු විමසා බලන්නේ මැතිවරණයක් පෙනෙන්නටවත් නොමැති කාලයක බවත් ජනතාව මුහුණ දෙන ගැටලු ගැන අවබෝධයක් ලබා ගෙන එම ගැටලුවලට යම්තාක් ප්‍රමාණයක උත්තර සහ විසඳුම් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය