ජගත්ගේ සතියේ සටහන - 97

ජීවිත දහසකට ආසන්න ගණනාවක් බිලි ගනිමින් රුපියල් කෝටි දහස් ගණනක දේපොළ විනාශ කරමින් පසුගිය 28 වනදා හටගත් 'දිට්වා' සුළි කුණාටුව මේ රට මුහුණ පෑ සුනාමියට වඩා දස දහස් ගුණයකින් හානි ගෙන දී තිබෙනවා.
විසි ලක්ෂයක පමණ පිරිසක් පීඩාවට පත් කළ නිවාස 55, 000 කට හානි සිදු කළ මේ මහා විපතට මුහුණ දීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ දිනවල දිවා රෑ නොබලා රාජ්‍ය නිලධාරීන්, විදේශ තානාපතිවරුන් හමුවෙමින් හා විදෙස් නායකයින් සමඟ දුරකතන සාකච්ඡා පවත්වමින් පියවර රාියක් ක්‍රියාත්මක කළා.
එසේ වුවද සුළි කුණාටුව ආරම්භ වී මහා විනාශය සිදුවූ මුල් අවස්ථාවේ සිට විපක්ෂය ඇතුළු බොහෝ දෙනා, මෙම සුළි සුළඟට මුහුණ දීමට ආණ්ඩුව කල්තබා සූදානම් නොවූ බවට, චෝදනා නඟනවා.
මේ විපතින් ගොඩ ඒමට රුපියල් බිලියන සිය ගණනක් පමණ අවශ්‍ය බැවින් ආණ්ඩුව ලබන වසර මුලදී අලුත් අයවැය ලේඛනයක් ඉදිරිපත් කළ යුතු යැ යි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මතා ප්‍රකාශ කළේ පසුගිය 5 වැනිදා පාර්ලිමේන්තුවේ දී 2026 අයවැය සම්මත වීමට දින කිහිපයකට කලින්.
කෙසේ වුවද පසුගිය සිකුරාදා අයවැය තුන්වන වර කියවීමේ අවස්ථාවේ පිළිතුරු කතාව කළ ජනාධිපතිවරයා පළ කළ අදහස් හා විසඳුම්වලින්, අයවැය විවේචනය කළ බොහෝ දෙනාට සැර පිළිතුරක් ලැබුණ බවයි පෙනෙන්නේ.
රට ගොඩගැනීම සඳහා වසර 3 ක ඉලක්කයක් සහිත විශේෂ සැලසුමක්
ව්‍යසනයට ලක්වී ඇති රට ගොඩගැනීම සඳහා වසර 3 ක ඉලක්කයක් සහිත විශේෂ සැලසුමක් සකස් කරන බවත් ඒ වෙනුවෙන් විශේෂ විධිවිධාන ඇතුළත් පනතක් කෙටුම්පත් කොට සම්මත කර ගැනීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පැවසුවා.
මෙම සැලසුම කෙටුම්පත් කිරීම ගැන නීතිඥයින් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් සඳහන් කළ අනුර කුමාර දිසානායක මහතා, සැලසුමට සහාය දීම සඳහා ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය පාර්ලිමේන්තුවේ වසර කිහිපයක්,ක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නා.
මෙම කාලය තුළ පාර්ලිමේන්තුව ජාතික සභාවක් ලෙස එකට කටයුතු කළ හැකි බවත්, තමා ඒ ගැන විපක්ෂයේ අවධානය යොමු කරන බවත් කී, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ මුල්‍ය බලයට පිටින් ආණ්ඩුව කිසිවක් සිදු නොකරන බව ද ප්‍රකාශ කළා.
මෙම ව්‍යසනයට මුහුණ දීමට ආපදා කළමනාකරණ පනත දුර්වල බව පෙනීයාම නිසා ඒ ගැන සිදුකළ සාකච්ඡා වලින් පසු හදිසි නීතිය ප්‍රකාශයට පත් කළ බවත්, ආපදාවට සමබන්ධ කටයුතුවලට හැර වෙනත් කිසිදු කටයුත්තකට හදිසි නීතිය යොදා නොගන්නා බවටත් ප්‍රතිඥා දුන් ජනාධිපතිවරයා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කිසිදු ආකරයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර නැති බවද අවධාරණය කළා.
පාර්ලිමේන්තුවේ දී පිටතදීත්, විවිධ කණ්ඩායම් පැවසූ ආකාරයට අයවැය වෙනස් නොකරන බවත්, විධිමත් ආර්ථික සැලසුමකට අනුව සකස් කළ අයවැය එසේ හදිසියේ වෙනස් කළ නොහැකි බවත්, පැවසූ ජනාධිපතිවරයා මේ සැලසුම විධිමත්ව ක්‍රියාත්මක කිරීමට බාධා නොකරන ලෙස ද ඉල්ලා සිටියා.
පාර්ලිමේන්තුව මේ කාලය තුළ ආණ්ඩු පක්ෂය හා විපක්ෂය එක්වී ජාතික සභාවක් ලෙස එකට කටයුතු කිරීමේ අවශ්‍යතාවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කිරීමෙන් පසු විපක්ෂය පැත්තෙන් ද එවැනි යෝජනා ඉදිරිපත් වෙමින් පවතින බව ද වාර්තා වෙනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය බදාදා කොළඹ 07 මල්පාරේ පිහිටි සිය කාර්යාලයට දේශපාලන පක්ෂ නායකයින් කැඳවා තිබුණා. හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන, අනුර ප්‍රියදර්ශන යාපා, උදය ගම්මන්පිල, ටිරාන් අලස්, සරත් වීරසේකර, ජී. එල්. පීරිස්, නිමල් සිරිපාල ද සිල්වා, රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක, වඩිවේල් සුරේෂ්, තලතා අතුකෝරළ, සාගල රත්නායක, අසංක නවරත්න, රවි කරුණානායක, වේලු කුමාර, ප්‍රේමනාත් සී. දොළවත්ත, සෙන්දිල් තොණ්ඩමන්, වජිර අබේවර්ධන, එම්. ඒ. එල්. එම්. හිස්බුල්ලා, හරීන් ෆ්‍රනාන්දු ඇතුළු පිරිසක් මෙම හමුවට සහභාගි වුණා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හෝ සමගි ජන බලවේගයේ කිසිවකුත්, පොදුජන පෙරමුණේ හා සර්වජන බලයේ නායක දිලිත් ජයවීර මෙයට පැමිණ සිටියේ නැහැ.
මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කළේ නැවත රට ගොඩනැඟීමේ ක්‍රියාවලියේ දී ඊට මඟ පෙන්වීමට සියලු ආගමික නායකයින්, දේශපාලන නායකයින් සහ විවිධ අංශවල ප්රමුඛ පුද්ගලයින් ගේ විශේෂ රැස්වීමක් කැඳවිය යුතු බවයි.
වසරක කාලයකට ජාතික කවුන්සිලයක්
එයට අමතරව රනිල් වික්‍රමසිංහ මහතා ''රජයට අත්දැකීම් අඩු නිසා පාර්ලිමේන්තුව විසින් ආපදා කළමනාකරණය සහ ප්‍රතිසංස්කරණ පිළිබඳ අධීක්ෂණ කමිටුවක් පත්කිරීම සුදුසු බවට තවත් යෝජනාවක් ද ඉදිරිපත් කළා.
''ඒ අධීක්ෂණ කමිටුවේ සභාපති ධූරය පළපුරුදු මන්ත්‍රීවරයකු විසින් දැරිය යුතු යි. විපක්ෂයේ කබීර් හෂීම් වැනි මන්ත්‍රීවරයකු එයට සුදුසුයි" වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.
මේ අතර සමගි ජන බලවේගයට පක්ෂපාති 'මව්රට' පුවත්පත ''ලංකා ඉතිහාසයේ සිදුවූ දැවැන්තම ජාතික ව්‍යසනය හමුවේ කඩිනමින් රට ගොඩනැඟීමට නම් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් එකතු වී නිශ්චිත කාල සීමාවකට ජාතික කවුන්සිලයක් පිහිටුවිය යුතු බවට විශේෂ යෝජනාවක් ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇතැ යි වාර්තා කොට තිබෙනවා.
සර්ව ආගමික නායකයින්, විද්වතුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, සිවිල් සංවිධාන සාමාජිකයින්, ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරන ප්‍රබල කණ්ඩායමක් ආණ්ඩුව වෙත මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටින බව ද 'මව්රට' වාර්තාවේ දැක්වෙනවා.
මෙම කණ්ඩායම පසුගිය සතියේ අවස්ථා ගණනාවක දී රැස්වී සාකච්ඡා කිහිපයක් ම පවත්වා තිබෙනවා.
රට පත්ව ඇති දැවැන්ත ව්‍යසනය හමුවේ කඩිනමින් රට යථා තත්වයට පත් කිරීමට නම් පක්ෂ, පාට, ජාතිභේද, ආගම් භේද වලින් තොරව සියලු දෙනා එකාවන්ව නිශ්චිත කාලයකට හෝ පාර්ලිමේන්තුව ඇතුළේ නටයුතු කළ යුතු අතර අවම වශයෙන් මෙම ජාතික කවුන්සිලය වසරක කාලයක්වත් අඛණ්ඩව පවත්වා ගෙන යායුතු බව ද මෙහිදී සාකච්ඡා වූ බවයි වාර්තා වෙන්නේ.
මෙම යෝජනාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේ දී පළ කළ යෝජනාවට සමාන වන අතර එය ආණ්ඩු පක්ෂය හා විපක්ෂය, එක්වී ක්‍රියාත්මක කරන්නේ නම් මේ අවස්ථාවේ රට ඉදිරියට ගෙන යෑමට එය ඉතාම වැදගත් බවත් දේශපාලන විශ්ලේෂකයින් පවසනවා.
⋆⋆⋆ ⋆⋆⋆ ⋆⋆⋆
නඩු දැමීම හිටපු ජනාධිපතිගේ ලණුවක්?
මේ අතර දිට්වා සුළි කුණාටුව සහ මිලි මීටර් 500 කට වැඩි වර්ෂාව පතිත වන බවට තොරතුරු ලැබී තිබිය දී ආණ්ඩුව කිසිදු පියවරක් නොගැනීම නිසා ජනතාවට සිදුවූ හානිය පිළිබඳව නඩු පැවරීමට සමගි ජන බලවේගයට සම්බන්ධ නීතිඥයින් පිරිසක් කටයුතු කරගෙන යන බව ද වාර්තා වෙනවා.
පසුගිය සිකුරාදා (5) කොළඹ නිපොන් හෝටලයේ දී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබෙනවා.
මේ පිළිබඳව වැඩිදුරටත් කටයුතු කිරීමට 'නිදහස් නීතිඥයෝ' (FREE LOWYERS) නම් සංවිධානයක් ද පිහිටුවා ගෙන ඇති අතර එහි කැඳවුම්කරු වන්නේ නීතිඥ ගුණරත්න වන්නිනායක යි. ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ද මෙයට එක්වී සිටින අතර ඔවුන් විසින් විධායක සභාවක් ද පත්කර ගත් බවයි වාර්තා වෙන්නේ.
ආණ්ඩුවට විරුද්ධව නඩු පැවරීමේ තීරණය දෙසැම්බර් 8 වැනිදා ප්‍රකාශයට පත් කරන බව ගුණරත්න වන්නිනායක මහතා පැවසුවා.
මේ සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසුවේ, ව්‍යසනයට මුහුණ දීම සඳහා ආණ්ඩුව අවශ්‍ය පියව ගෙන නැති බව පවසන පිරිස් වලට ඒ සම්බන්ධයෙන් නඩු පැවරීමේ හැකියාව පවතින බවයි. මෙවැනි වාද විවාද වලට වඩා වැදගත් වන්නේ ජනතාවගේ ජීවිත ගොඩනැඟීමට සම්පූර්ණ කාලය වැය කිරීම බවත් ඒ සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
මෙම නඩු පැවරීමේ කතාව හිටපු ජනාධිපතිවරයා පසුගිය බදාදා පැවැත්වූ සාකච්ඡාවේ දී දුන් ලණුවක් බව දේශපාලන විශ්ලේෂකයින් පවසනවා.
- ජගත් -
