කාලීනදේශපාලන

ජනපතිගේ යාපනයේ කතාව තුළ සැඟවුණු අරමුණු සහ ක්‍රියාන්විතය

නව වසරේ පළමු සතිය තුළම ජනාධිපතිවරයා විසින් යාපනයේදී තම ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කරමින් තමාගේ ප්‍රමුඛතාවයන් මොනවාද යන්න පිළිබඳව රටට ඉඟියක් ලබාදී ඇත. එහිදී ඔහු සඳහන් කරන්නේ උතුරු සහ නැගෙනහිර පළාත් 13 වැනි සංශෝධනය මගින් ලබා දී ඇති බලතලඋපරිමයෙන් යොදා ගනිමින් තම පළාත් සංවර්ධනය කළ යුතු බව සහ ඊට මධ්‍යම රජය බාධා නොකරන බවය. එම බලතල ක්‍රියාත්මක කිරීම සඳහා තමාගෙන් හෙවත් මධ්‍යම රජයෙන් අවසර ගැනීමට අවශ්‍ය නැති බවද ඔහු සඳහන් කළේය. ඔහු විසින් එම අදහස් ප්‍රකාශ කරන්නේ අදාළ පළාත්වල ජනතාව මුහුණ දෙන ගැටලු සහ එම පළාත්වල සංවර්ධන අවශ්‍යතාවයන් පිළිබඳව තමා උනන්දු වන බව පෙන්වා ජනප්‍රියතාවය දිනා ගැනීමට බව පිළිගත හැක. එහෙත් එම කතාව තුළ ගැබ්වන යටි අරමුණු සහ ඩයස්පෝරාව ප්‍රමුඛ බෙදුම්වාදීන්ට ලබා දෙන පණිවිඩය වටහා ගැනීම ජාතික බලවේග පැත්තෙන් ඉතා වැදගත් වනු ඇත.

පසුගිය වසරේදී මහානායක හිමිවරුන්ගේ විරෝධය එල්ලවීමට පෙර තමා 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කරන බවට ජනාධිපතිවරයා විසින් කීප වතාවක්ම දැඩි ප්‍රකාශ නිකුත් කරනු ලැබී ය. ඊට පෙර ඔහු සඳහන් කළේ තමා 2003 දී අවසන් කළ තැන සිට නැවත පටන් ගන්නා බවය. එසේ වුවත් මහානායක හිමිවරුන්ගේ විරෝධයට පසුව ඔහු තම උපාය මාර්ගය වෙනස් කර බෙදුම්වාදීන්ට පහරදීම සඳහා බෝලය ඔසවාදීමේ ප්‍රවේශයක් අනුගමනය කරන බව යාපනයේ ක්‍රියාන්විතය තුළින් පැහැදිලි වේ. මහනායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයාට පනවන ලද මානසික බාධක ජය ගැනීම සඳහා ඔහුට සහයවනු පිණිස ඩයස්පෝරාව විසින් හිමාලය ප්‍රකාශය ඉදිරිපත් කළ බව දැන් ඉතා පැහැදිළි කරුණකි. ඒ අනුව ජනාධිපතිගේ යාපනය ප්‍රකාශය යනු හිමාලයා ප්‍රකාශයේ දිගුවක් ලෙස සැළකිය හැක. ජනාධිපතිවරයා විසින් බෝලය ඔසවාදෙනු ලබන්නේ කුමන ආකාරයේ ප්‍රහාරයකට ද යන්න වටහා ගැනීම සඳහා 2003 දී ඔහු විසින් ආරම්භ කළ ගමන කුමක්දැයි නැවත මතක් කර ගැනීම ඉතා වැදගත් වේ. ඔහු විසින් දැන් නැවත ආරම්භ කරන බවට පාරම්බාන 2003 න්‍යාය පත්‍රයේ ප්‍රධාන අංග දෙකක් දැකගත හැක. ඒ අතරින් පළමුවැන්න යළි පුබුදුම ශ්‍රී ලංකා නම් වූ නව යටත් විජිත න්‍යාය පත්‍රය වන අතර ඔහු දැන් එහි අඩංගු සියලු අංග මූල්‍ය අරමුදලේ ලේබලය යටතේ කඩිනම් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරමින් ඇත. නව විදුලි පනත, ජල කළමනාකරණ පනත ආදී කරළියට එන්නේ ඊට අනුවය. එදා ඔහුගේ දෙවන න්‍යායපත්‍රය වූයේ බෙදුම්වාදී න්‍යාය පත්‍රය වන අතර ඒ යටතේ සටන් විරාම ගිවිසුම යොදා ගනිමින් බෙදුම්වාදීන්ට තාවකාලික ආණ්ඩුවක් ලබාදීම සඳහා ජාත්‍යන්තර ගිවිසුමක් අත්සන් කිරීමට ඔහු විසින් දැඩි උත්සාහයක් ගනු ලැබීය. නමුත් එදා ජාතික බලවේගවල විරෝධය නිසා ඔහුට නෝවේර්ජියානුවන් විසින් ඇටවූ එම බෙදුම්වාදී මර උගුලට රට තල්ලු කිරීමට නොහැකි විය.

එහෙත් නොවේජියානුවන්ගේ එම උගුලට තම රට ගොදුරු කළ සුඩානයේ අල් බෂීර් නම් වූ ජනාධිපතිවරයා ගැන අද අසන්නට ලැබෙන්නේ නැතත් දෙකඩ වූ එම රට අද අමු සොහොනක් බව ප්‍රකට කරුණකි. ඔහු සඳහන් කරන ආකාරයට එදා 2003 දී ජනවරමක් සහිතව කරන්නට නොහැකි වූ දේ අද ජනවරමක් නොමැතිව කිරීමට ඔහුට හැකියාව ලැබී ඇත. ඔහු කිසිදු බියක් හෝ සැකයක් නොමැතිව තමා 2003 දී අවසන් කළ තැනින් නැවත පටන් ගන්නා බව සඳහන් කරන්නේ ඒ නිසා නොවේද? රනිල් වික්‍රමසිංහ මහතාට යම් පිරිස් විසින් එළාරගේ අවතාරය යැයි නමක් පට බැඳීම

සාධාරධෑකරණය වන්නේ ඔහු විසින් බෙදුම්වාදී න්‍යාය පත්‍රය මරාගෙන මැරෙන වේශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා ජීවිත කාලයක් පුරා වෙහෙසෙන නිසා බව ඉතා පැහැදිලි ය.

කෙසේ වෙතත් එදා යුද්ධයේ කේවල් කිරීමේ බලය තුළ තාවකාලික ආණ්ඩු යෝජනා ඉදිරිපත් කිරීමට බෙදුම්වාදීන්ට ශක්තියක් තිබුණි. අද ඔවුන් ඒ සඳහා යොදා ගන්නේ ජාත්‍යන්තර මානව හිමිකම් කෙවිට බව ඉතා පැහැදිලිය. නමුත් පවතින ආර්ථික අර්බුදය තුළ ඩයස්පෝරා ඩොලර් නම් වූ කැරට් අලය ද ඒ සඳහා යොදා ගන්නා බව පෙනේ. එම කෙවිටට බිය වීම නිසා සහ කැරට් අලයට කෑදර වීම නිසා දැන ්ඊනියා හිමාලයා ප්‍රකාශය යොදා ගනිමින් සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවීම මගින් 2003 දී සිදු කළ ආකාරයට රට නැවත වටයකින් බෙදුම්වාදී මරඋගුලට තල්ලු කිරීමට ජනාධිපතිවරයා උත්සාහ කරන බව දැන් ඉතා පැහැදිලිය. එම නව ප්‍රවේශය තුළ ඔහු විසින් ක්‍රියාමාර්ග දෙකක් එක විට ආරම්භ කර ඇත ඒ අනුව පළමුවැන්න වන 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමේ ක්‍රියාවලිය බෙදුම්වාදීන් ගේ පැත්තෙන් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා විසින් යාපනයේ දී ප්‍රකාශ කරනු ලැබී ය. ඒ මගින් ඔහු ප්‍රහාරාත්මක ප්‍රවේශය බෙදුම්වාදීන්ට භාරදී මහජන විරෝධයෙන් ගැලවීම සඳහා ආරක්ෂාකාරී ප්‍රවේශයට මාරු වන බව දැක ගත හැක. එය එක්තරා ආකාරයක උපාය මාර්ගික තේරීමක් බව ඉතා පැහැදිලි ය.

ජනාධිපතිවරයා විසින් දැනටමත් ආරම්භ කර ඇති දෙවන ක්‍රියාමාර්ගය වන ආරක්ෂක හමුදා දුර්වල කිරීමේ ක්‍රියාවලිය සහ උතුරු සහ නැගෙනහිර පළාත්වලින් කඳවුරු ඉවත් කිරීමේ ක්‍රියාවලිය යම් පමණකට රහසිගතව සිදුවේ. සත්‍ය සෙවීමේ කොමිසම් නීතිය සම්මත කළ හැකි වුවහොත් එම ක්‍රියාවලිය අදාළ කොමිසමට භාරදී තමාගේ අත සෝදා ගැනීමට ඔහු විසින් අපේක්ෂා කරනවා විය හැක. බෙදුම්වාදී මාර්ග සිතියමේ අවසන් සැතපුම් කිහිපය පසු කිරීම සඳහා මෙම 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමේ ක්‍රියාවලිය සහ ආරක්ෂක හමුදා පාවාදීමේ සහ දුර්වල කිරීමේ ක්‍රියාන්විතය කූඨප්‍රාප්තියට ළඟාවිය යුතු ය. කෙසේ වෙතත් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමේ සටන 1987 දී සිටම ආරම්භ වන්නකි. ඊට හේතුව 13 වැනි සංශෝධනය මගින් පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කළ ද එම බලතල පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම වැළැක්වීම සඳහා යම් ව්‍යවස්ථාමය බාධක ප්‍රමාණයක් පනවා තිබීම ය.

එදා ප්‍රභාකරන් පළමු වටයේ දී එවැනි ව්‍යවස්ථා සංශෝධනයට එකඟ වී අවි බිම තැබුව ද පසුව නැවත අවි අතට ගනු ලබන්නේ ඒ ආකාරයට පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් ක්‍රියාත්මක වීමට එරෙහිව බාධා පැමිණවීම නිසා ය. ඒ අනුව එතැන් සිට යුද්ධය තවදුරටත් අවශ්‍ය වන්නේ එම බාධක ඉවත් කිරීම සඳහා වන දේශපාලන විසඳුමක් ලබා ගැනීම මුල්කරගෙන කේවල් කිරීම සඳහා බව ඉතා පැහැදිලි ය. එම බාධක ඉවත් කිරීම සඳහා බෙදුම්වාදීන් ගේ පැත්තෙන් ස්ථීරසාර ක්‍රමවේදය වන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් අදාළ බාධක ඉවත් කිරීම ය. ඒ සඳහා 1987 සිට බලපෑම් එල්ල වුවද බරපතළ මහජන විරෝධය නිසා ජනාධිපතිවරුන් හත් දෙනකු ඒ සඳහා ධෛර්යමත් වූයේ නැත. දෙවන ක්‍රමවේදය වන්නේ අදාළ බාධක පරිපාලන වශයෙන් සමනය කිරීම මගින් එම බලතල ක්‍රියාත්මක වීමට ඉඩ හැරීම ය. ඉහත සඳහන් කළ ආකාරයට ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට ධෛර්යය, කැපවීම සහ උවමනාව තිබෙන බව ඉතිහාසය විසින් ඔප්පු කර ඇත.

ඊට අමතරව එදා 2003 දී ඔහුව ඔහුට විරුද්ධ වූ බලවේග අද මග වරදවාගෙන ඇති බැවින් සහ පවතින ආර්ථික අර්බුදය තුළ රටට වඩා බඩ ගැන සිතන මිනිසෙකු නිර්මාණය වී ඇති බැවින් ඔහුට මනරම් අවස්ථාවක් නිර්මාණය වී ඇත. එහිදී පරිපාලන ක්‍රියාවලිය පියවරෙන් පියවර සිදුවන බැවින් ව්‍යවස්ථා සංශෝධනයක දී ඇතිවන සමාජ අවධානය ජනිත නොවේ. රනිල් වික්‍රමසිංහ මහතා ගේ යාපනය කතාව තුළින් ඔහු ගේ සැඟවුණු උපාය මාර්ගික ප්‍රවේශය යම් පමණකට එළිදරව් විය. ඉහත සඳහන් කළ ආකාරයට පරිපාලන වශයෙන් ක්‍රියාත්මක කිරීමේ දී පවා බෙදුම්වාදීන්ට ප්‍රහාරාත්මක ප්‍රවේශය භාරදී ඔහු විසින් ආරක්ෂාකාරී ප්‍රවේශය තුළ මහජනයා ගොනාට ඇන්දවීමට උත්සාහ කරනු ඇත. ඒ අනුව ඔහු විසින් තෝරා ඇති නව උපාය මාර්ගික ප්‍රවේශය තුළ එම ක්‍රියාවලිය ද්වීපාර්ශ්වික වේ. එනම් බෙදුම්වාදීන්ට පහරදීම සඳහා බෝලය ඔසවාදී හිස පහත් කර ගැනීම මගින් පැස්බරා ලෙස වැල්ලේ හිස සඟවාගෙන මහජන විරෝධයෙන් ගැලවීය හැකි යැයි ජනාධිපතිවරයා කල්පනා කරන බව ඔහු ගේ යාපනය කතාව තුළින් ඉතා හොඳින් පැහැදිලි වේ.

ඒ අනුව එම දීපාර්ශික ක්‍රියාවලිය තුළ මූලික වශයෙන් ප්‍රවේශයන් ත්‍රිත්වයක් අන්තර්ගත වනු ඇත. පළමුවැන්න පළාත් සභා මැතිවරණයෙන් පසුව පළාත් බලතල සහ සමගාමී ලැයිස්තුවට අදාළ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රඥප්ති ඉදිරිපත් කිරීම ය. ඒ අනුව පොලිස්, ඉඩම්, අධ්‍යාපන, ජල කළමනාකරණ, කෘෂිකර්ම, පළාත් පුරාවිද්‍යා අධිකාරී සහ මහ ඇමති අරමුදල් ආදී වශයෙන් වන ප්‍රඥප්ති රාශියක් ඉතා කෙටි කලයක් තුළ ඉදිරිපත් කෙරෙනු ඇත. ඒවා බොහෝමයක් ජයම්පති වික්‍රමරත්න වැනි පුද්ගලයින් විසින් දැන්ටමත් සකස් කර ඇති බව රහසක් නොවේ. එම පළමු ප්‍රවේශයේ වැදගත්ම පැතිකඩ වන්නේ ඒවා ඉදිරිපත් කරන විට ආණ්ඩුකාරයා විසින් ඊට විරුද්ධත්වය පළනොකිරීම ය. එම පූර්ව කොන්දේසිය සහතික කර ගැනීම හෙවත් ප්‍රඥප්තියෙන් ප්‍රඥප්තියට ජනාධිපතිවරයා ගේ මුහුණ බැලීමට සිදුවීම වැළැක්වීම සඳහා සුදුසුම ක්‍රමවේදය වන්නේ මහ ඇමතිවරයාට යටත් වන ආණ්ඩුකාරවරයෙකු පත් කිරීමයි. එම ක්‍රියාවලිය තුළ එසේ ප`්‍රඥප්ති සම්මත කිරීමේ දී පළමු ප්‍රමුඛතාවය හිමිවන්නේ මහ ඇමති අරමුදල් ප්‍රඥප්තියට බවට කිසිදු සැකයක් නැත. ඒ මගින් සංවර්ධන අරමුණු ඉදිරියට දමමින් සමස්ත ක්‍රියාවලියේ භයානක කමහෙවත්, දෙවනුව පොලිස් සහ ඉඩම් පඥප්ති ආදිය සම්මත කිරීමේ භයානකකම යම් පමණකට යටපත් කිරීමේ හැකියාව ලැබේ.

ජනාධිපතිවරයා විසින් යාපනයේ දී සඳහන් කළ ආකාරයට ඊනියා සංවර්ධනය සඳහා ආයෝජන දිරිමත් කිරීම නමින් ඩයස්පෝරා අරමුදල් විශේෂයෙන්ම නීත්‍යානුකූල නොවන ඩොලර් උතුරට එවීම සඳහා සුදුසුම ක්‍රමවේදය වන්නේ මහ ඇමති අරමුදලක් පිහිටුවීම ය. මීට පෙර ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි මහතා උතුරේ ආණ්ඩුකාරවරයා ලෙස සිටිය දී මහ ඇමති අරමුදල් ප්‍රඥප්තිය සම්මත කිරීමට විග්නේෂ්වරන් මහ ඇමතිවරයා උත්සාහ කළ ද ඊට ඉඩක් නොලැබුණි. ජාතික බලවේග විසින් විරෝධය පළ කිරීම සහ අනතුර පැහැදිලි කිරීම නිසා ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ එකඟතාවය සහිතව ආණ්ඩුකාරයා විසින් ප්‍රඥප්තිය ආපසු හරවා යවනු ලැබී ය. අප රටේ 13 වැනි සංශෝධනය අනුව පළාත් සභාවක් විසින් ප්‍රඥප්තියක් සම්මත කිරීමට පෙර ඊට අදාළව ව්‍යවස්ථානුකූල භාවය ප්‍රශ්න කරමින් අධිකරණයේ පිහිට පැතීමට මහජනයාට අවස්ථාවක් ලැබෙන්නේ නැත. එය කළ හැක්කේ ආණ්ඩුකාරවරයා විසින් ජනාධිපතිට අදාළ ප්‍රඥප්තිය යොමු කිරීමෙන් පසුව ජනාධිපතිවරයා මගින් පමණි.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අහක බලා ගෙන සිටිය දී ඒ සියලු ප්‍රඥප්ති සම්මත කිරීමට ඉඩ ලබාදීමේ හැකියාව ආණ්ඩුකාරවරයාට ලැබේ. එදා ඉදිරිපත් කළ මහ ඇමති අරමුදල් ප්‍රඥප්ති සම්මත වූවා නම් මහ බැංකුවේ අධීක්ෂණයට යටත් නොවන ආකාරයට සහ මුදල් විශුද්ධි කරන පනතට පටහැනිව පවා ආධාර, ණය සහ ආයෝජන ලෙස ඩයස්පෝරා අරමුදල් එම අරමුදලට බැර කිරීමේ හැකියාව තිබුණි. එවැනි තත්ත්වයක් තුළ ඉඩම් ප්‍රඥප්ති සහ කෘෂිකර්ම ප්‍රඥප්ති ආදිය මගින් උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉඩම් සහ මුහුදු වෙරළ පමණක් නොව ඛණිජ සම්පත පවා ඩයස්පෝරාවේ පාලනයට යටත් කිරීමට ගතවන්නේ ඉතා සුළු කාලයකි. රනිල් වික්‍රමසිංහ මහතාගේ යාපනයේ කතාවෙන් ප්‍රකට වූ උපාය මාර්ගික ප්‍රවේශ ත්‍රිත්වයෙන් දෙවැන්න ලෙස හඳුනාගත හැක්කේ පළාත් ලැයිස්තුවට සහ සමගාමී ලැයිස්තුවට ඇතුළත් විෂයන්ට අදාළ ව මධ්‍යම රජය විසින් නීති සම්මත කිරීමෙන් වැළකී සිටම ය. එහිම අනෙක් පැතිකඩ වන්නේ පළාත් සභා විසින් විශේෂයෙන්ම සමගාමී ලැයිස්තුවට අදාළ ප්‍රඥප්ති සම්මත කිරීමේ දී මධ්‍යම රජය විසින් බාධා නොකර සිටීම ය. එම ක්‍රියාවලියේ තුන්වන ප්‍රවේශය වන්නේ පළාත් බලයට අභියෝග කරන මධ්‍යම රජයේ නීති සංශෝධනය කිරීම මගින් පළාත් බලය ශක්තිමත් කිරීමය. ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පණත සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභා පනත් සංශෝධනය කර අදාළ බලතල පළාත්වලට පැවරීමට ජනාධිපතිවරයා දැනටමත් එකඟ වී ඇත.

ඊට අමතරව ජනාධිපතිවරයා සතු ඉඩම් බලතල ප්‍රාදේශීය ලේකම්වරුන්ට පවරා මහවැලි අධිකාරි පනතා අහෝසි කිරීම මගින් එම ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීමට ද ආණ්ඩුව එකඟ වී ඇති බව වාර්තා විය. ඒ මගින් උතුරු නැගෙනහිර ඉඩම් වලින් 50% වැඩි ප්‍රමාණයක් බෙදුම්වාදීන්ට අවශ්‍ය ආකාරයට බෙදා දීමට හැකියාව ලැබේ. එම ක්‍රියාවලිය තුළ වනජීවී පනත, වන සංරක්ෂණ පනත, පුරාවිද්‍යා පනත, මධ්‍යම පරිසර අධිකාරි පනත ආදිය සංශෝධනය කිරීම මගින් රක්ෂිත ආශ්‍රිත අවශේෂ වනාන්තර ලෙෂ හැඳින්වෙන ඉඩම් පළමු වටයේදී සහ දෙවන වටයේදී රක්ෂිත භූමි පවා ආක්‍රමණය කිරීමට බෙදුම්වාදීන්ට අවකාශය සැලසෙනු ඇත. ඒ ආකාරයට මධ්‍යම රජයේ නීති දුර්වල කළ විට පළාත් ප්‍රඥප්ති ශක්තිමත් වන අතර ඉන්දියාවේ මෙන් ප්‍රාන්ත ආණ්ඩු ප්‍රඥප්තියක් අත්හිටුවීමේ බලයක් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා මගින් ලබාදී නොමැති බැවින් ඉදිරියේදී පත්වන පාලකයින්ට සමස්ත ක්‍රියාවලිය හමුවේ අසරණව බලා සිටීමට සිදුවනු ඇත. එසේම ජනාධිපතිවරයාගේ නව උපාය මාර්ගික ප්‍රවේශය හෙවත් ආරක්ෂාකාරී ප්‍රවේශය තුළ හතරවන ප්‍රවේශයක් ද හඳුනාගත හැක. ඒ සමස්ත ක්‍රියාවලියේ භයානකකම සැඟවීම සහ මහජනයා නොමග යැවීමය. ඒ සඳහා රහසිගත භාවය රැකීම, සමස්තය කෙටි කලකින් අවසන් කිරීම, විරුද්ධවාදීන්ට මුහුණ දීමට නොහැකි ආකාරයට ප්‍රඥප්ති එකක් පසුපස එකක් ලෙස කඩිනමින් ඉදිරිපත් කිරීම ආදී වශයෙන් වන උපක්‍රම සියල්ල එක විට යොදා ගනු ඇත. උදාහරණයක් ලෙස යම් ප්‍රඥප්තියක් ඉදිරිපත් කරන විට බෙදුම්වාදී පාර්ශව විසින්ම ඒ මගින් ඔවුන්ගේ අපේක්ෂා ඉටු නොවන බවට ව්‍යාජ විරෝධයක් දියත් කළ හැක. ඒ අතර සත්‍ය සෙවීමේ කොමිසම මගින් රට තුළ ජාත්‍යන්තර මැදිහත්වීමකට අවස්ථාව සැළසූ විට එම කොමිසමේ බලවත් මැදිහත්වීම තුළ ‘දැන් කළ හැකි දෙයක් නැත’. යනුවෙන් මහජනයා ස්වයංව මානසික බාධක පනවා ගන්නා තත්ත්වයක්ද නිර්මාණය විය හැක.

බෙදුම්වාදී මාර්ග සිතියමට අනුව සමස්ත ක්‍රියාවලිය අදියර දෙකකින් අවසන් වනු ඇත. පළමු අදියර ජාත්‍යන්තර නීතිය යටතේ පළාත් සභාව යනු අනුබද්ධිත ස්වෛරී බලය ඒකකයක් බව සහ රටේ පරමාධිපත්‍ය බලය මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභා අතර තිබෙන බව තහවුරු වන ආකාරයට ප්‍රඥප්ති මගින් බලය ලබා ගැනීම සහ ඒවා ක්‍රියාත්මක කිරීමය. දෙවන අදියර හෙවත් බෙදුම්වාදී මාර්ග සිතියමේ අවසන් සැතපුම වන්නේ එසේ ලබාගත් බලතල ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන තත්ත්වයක් යටතේ හෝ ඒවා ක්‍රියාත්මක කිරීමේදී මධ්‍යම ආණ්ඩුව විසින් බාධා කරන්න තත්ත්වයක් යටතේ ජාත්‍යන්තර මැදිහත්වීමකට පාර කපා ගැනීමය. උදාහරණයක් ලෙස පොලිස් ප්‍රඥප්තියා අනුව වෙරළා ආරක්ෂක පොලීසියක් පිහිටුවීම මගින් නාවික හමුදාව සමඟ ගැටුමක් නිර්මාණය කිරීම මගින් අදාළ බලතල ක්‍රියාත්මක කිරීමට මධ්‍යම රජය ඉඩ නොදෙන බවට මතයක් ගොඩනැගීමේ හැකියාව ලැබේ.

එම ගැටුම තුළ ආර්. සම්බන්ධන් මහතා සඳහන් කරන ආකාරයට ගාන්ධිවාදී හෝ ඊනියා අවිහිංසාවාදී සටන්වලට නිරායුධ අහිංසක ජනයා පොළඹවනු ඇත. ඒ තුළ සිවිල් වැසියන් සහ ආරක්ෂක හමුදා අතර ගැටුම් නිර්මාණය කළ හැකි අතර ආරක්ෂක හමුදා දුර්වල කෙරෙන තත්ත්වයක් තුළ ඔවුන් විසින් පරාජය භාර ගන්නා තත්ත්වය නිර්මාණය වනු ඇත. එසේම එම ගැටුම් යොදා ගනිමින් ජාත්‍යන්තර මැදිහත්වීම් සාධාරධෑ කිරීමට විශේෂයෙන් ම ඉන්දියාවේ මැදිහත්වීමට ඉඩ සැලසීමට අවස්ථාව නිර්මාණය වනු ඇත. එම ක්‍රියාවලිය ස්වයංපාලනයට අදාළව ජාත්‍යන්තර අධිකරණයේ මතය විමසීමේ හැකියාව ද ලැබේ.ජනාධිපතිවරයා විසින් මීට පෙර ලබාදී ඇති තීන්දු අනුව පරමාධිපත්‍යයේ බලය බෙදී යන ආකාරයට බලය බෙදා ඇති අවස්ථාවක එම බලය ක්‍රියාත්මක කිරීමට මධ්‍යම රජය ඉඩ ලබා නොදෙන්නේ නම් එම ජනතාවට වෙන්ව යාමේ අයිතිය ඇත. තවද එම ජනතාව සමූළ ඝාතන ක්‍රියාවලියකට ගොදුරු ඇත්නම් සහ ඔවුන්ට නින්දා සහගත ලෙස සළකනු ලබන්නේනම් වෙන්වයාමේ අයිතිය තවදුරටත් තහවුරු වේ. ඒ අනුව ඊනියා සත්‍ය සෙවීමේ කොමිසම නීතිය සම්මත වුවහොත් එම කොමිසමේ වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා සමූළ ඝාතන ක්‍රියාවලියකට ගොදුරු වූ බවට කිසියම් අදහස් දැක්වීමක් සිදුකළ හොත් ඇති වන තත්වය ඉතා භයානක වේ. එම නිසා මෙම දුෂ්ඨ මාර්ග සිතියම හකුලා ගන්නා ලෙස ජනාධිපතිවරයාට බලකිරීම සඳහා යුද ජයග්‍රහණයේ ගෞරවය භුක්ති විදින පක්ෂ සහ ඒවායේ නායකයින් පෙරමුණ ගත යුතුය. ඔවුන් නින්දෙන් නැගිට මෙම ක්‍රියාවලියේ භායනකකම අවබෝධ කරගන්නේනම් ඔවුන් විසින් ඉටුකළ යුතු පළමු වගකීම වන්නේ සත්‍ය සෙවීමේ කොමිසම පනත පරාජය කිරීමය. එසේ නොකරන මන්ත්‍රිවරුන් සහ නායකයින් විසින් සිදුකරනු ලබන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ දුෂ්ඨතම පාවාදීම බව ඉතා කෙටි කළකින් ඔප්පු වනු ඇත.

     - දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය -