නොයනු මැන ජේ. ආර්. ගේ මඟ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය නම් රාජ්‍යයේ රාජ්‍ය නායකයා වන්නේ මහ ජනතාව විසින් මැතිවරණයකදි බහුතර ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා ජනාධිපතිවරයාය. ඒ අන්දමින් පත්කර ගන්නා රාජ්‍ය නායකයාට නිල බලයෙන්ම තවත් භූමිකා හතරක් පැවරේ. ඒ රජයේ ප්‍රධානත්වය, විධායකයේ, ආණ්ඩුවේ ප්‍රධානත්වය හා සන්නද්ධ හමුදාවල, සේනාධිනායකත්වය යන භූමිකා හතරය. බොහෝ දෙනෙකු නොදන්නවා වුණාට ජනාධිපතිවරයාගේ රාජකාරි සෑම එකක්ම, අයත් වන්නේ ඔය භූමිකා පහෙන් එකකටය. රාජ්‍යයේ නායකයා ලෙස විදේශ තානාපතිවරුන් පත් කිරීම හා විදේශීය රාජ්‍යන්ගෙන් පත් කර එවනු ලබන, තානාපතිවරුන් පිළිලිගැනීම සිදු කරන්නේ රාජ්‍යයේ නායකයා ලෙසය. යුධය හා සාමය ප්‍රකාශ කරන්නේ ද රාජ්‍යයේ නායකයා ලෙස ය. පාර්ලිමේන්තු මහ ලේකම් පත් කරන්නේ, අගවිනිසුරුවරයා ඇතුළු ඉහළ අධිකරණ විනිසුරන් පත් කරන්නේ ද, ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයින් පත් කරන්නේ ද රජයේ ප්‍රධානියා ලෙස ය. ඇමතිවරුන්, ලේකම්වරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් ආදී විධායකය ට අයත්, ප්‍රධානීන් පත් කරන්නේ විධායකයේ ප්‍රධානියා ලෙස ය. අමාත්‍ය මණ්ඩලයේ මුලසුන ගනිමින්, එය මෙහෙයවන්නේ ආණ්ඩුවේ නායකයා ලෙස ය. සන්නද්ධ හමුදාවලට අණදීම හා හමුදා නිලධාරීන්ගේ අධිකාරියට පත්වීම් කරන්නේ සේනාධිනායකයා ලෙස ය. මේ අනුව ජනාධිපතිවරයා අතින් සිදුවන විවිධ රාජකාරි, ඔහුගේ භූමිකා පහ සමග සම්බන්ධ ය. මේ භූමිකාවලින් ජනාධිපතිවරයාට දේශපාලන පක්ෂය, සම්බන්ධ කළ හැකි වන්නේ ආණ්ඩුවේ නායකයා ලෙස, ක්‍රියා කිරීමේ භූමිකාවේ දී පමණි. මේ අටුවාව මුලින් ම ලීවේ, අද ජනාධිපතිවරයා හොරගල් අහුලමින් සිටින, විගණකාධිපති පත් කිරීම ගැන, නැවතත් ලිවීම සඳහා පූර්විකාවක් වශයෙනි.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රමව්‍යවස්තාවේ 148 ව්‍යවස්තාව අනුව, රජයේ මුදල් පාලනය පිළිබඳ පූර්ණ බලය, පැවරී ඇත්තේ ව්‍යවස්ථාදායකය ට ය. ශ්‍රීලංකාවේ ව්‍යවස්ථාදායකය නැත්නම් පාර්ලිමේන්තුව, සම්මත කළ නීතියකට අනුව මිස, පළාත් පාලන ආයතනයකට හෝ, පොදු අධිකාරියකට කිසිම බද්දක්, වරිපණමක් හෝ, කිසිම් ආකාරයක බදු විශේෂයක්, නියම කිරීමට බලයක් ද නැත. මෙසේ අයකර ගන්නා බදුමුදල් ඇතුළු, නිශ්චිත කාර්යන් සඳහා නීතියෙන් වෙන් කර නැති, සියලු රාජ්‍ය ආදායම්, ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතු බව ද, ව්‍යවස්ථාවේ 149(1) අනු ව්‍යවස්ථාවේ දැක්වේ. එමෙන්ම රජයේ සියලු වියදම්, ඒකාබද්ධ අරමුදලින් දැරිය යුතු බව ද එහි දැක්වේ. ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ගෙවීම් කිරීම සඳහා, පාර්ලිමේන්තුවේ අනුමැතිය මත මුදල් විෂය භාර, අමාත්‍යවරයා විසින් අත්සන් තබන, බලපත්‍රයක අධිකාරිය යටතේ හැර, අන් අයුරකින් කළ නොහැකි බව ද එහි සඳහන් ය. මුදල් අමාත්‍යාවරයාට ඒකාබද්ධ අරමුදලෙන් ගෙවීම් කිරීමට, බලපත්‍රය අත්සන් කළ හැකි වන්නේ, වාර්ෂික අයවැය ලේඛනය, විධි වූ පරිද්දෙන්, පාර්ලිමෙන්තුවේ දී සම්මත වූ පසුව පමණි. වාර්ෂික අයවැය ලේඛනය මගින්, රජයේ සියලු වියදම්, වැය ශීර්ෂයන් හා, වැය විෂයන් වැඩසටහන්, ව්‍යාපෘති ආදී ලෙස, විස්තරාත්මකව පෙන්වාදී තිබේ. මේ අනුව සම්මත වන අයවැය ලේඛනයට අනුකූලව, වියදම් දැරීමට ඒකාබද්ධ අරමුදලේ, මුදල් වැයකිරීම සඳහා බලය ලැබේ.
මෙම ඒකා බද්ධ අරමුදල සහ පාර්ලිමේන්තුව විසින් සම්මත කළ, වෙනත් නීතියක් යටතේ ස්ථපිත අරමුදල් පිළිබඳව, විගණනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා, විගණකාධිපති වරයෙක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම පත්කරනු ලැබ ඇත. විගණකාධිපති තනතුර මෙරටට හඳුන්වා දී ඇත්තේ, බ්‍රිතන්‍ය පාලන සමයේදී ය. වාර්තා වෙන අන්දමට, මෙරට පළමු වැනි විගණකාධිපතිවරයා වන්නේ, 1806/10/01 දිනැතිව පත් කළ, සැමුවෙල් ටොල්ෆ්‍රේ (Samuel Tilfrey) නම් අයෙකි. එවක ඒ තනතුර හැදින් වූයේ, සිවිල් විගණකාධිපති (,Civil Auditer Genaral )ලෙසයි. 1841/02/01 දින පත්වූ එච්. රයිට් (H.Wright) යන අයගේ සිට, මේ තනතුරට පත් කෙරුණු අයට, ගිණුම්පති හා ආදායම් පාලක (Accountant Genaral and Controler of Revenue ) නම් තනතුරුද හිමිවිය.
අනතුරුව.1907/03/01 දින පත් කෙරුණු බර්නාඩ් සිනියර් යන අයගේ සිට, නිදහස ලැබෙන තුරු පත්වූ අයගේ තනතුර හැදින් වුයේ, යටත් විජිත විගණක (Colonial Auditor ) ලෙසට යි. අනතුරුව සෝල්බරි ව්‍යවස්ථාවේ 70 වගන්තිය පරිදි, විගණකාධිපති තනතුර ඇති කළ අතර, විගණකාධිපතිවරයා ආණ්ඩුකාරවරයා (Governor Genaral) විසින් පත් කරන අයෙක් බවත්, යථා පැවැත්මෙන් සිටිනතාක් කල්, ඔහු ධුරය දරණ බවත් සඳහන් වේ. විගණකාධිපති ධුරය පුරප්පාඩු වන, අවස්ථා ගැන ද සෝල්බරි ව්‍යස්තාවේ, ඇති විධිවිධන වලද, අද දක්වා ම සුලු වෙනස්කම් පමණක් සිදුව ඇත. අනතුරුව 1972 ව්‍යවස්ථාවේ 89(1) ව්‍යවස්ථාවෙන් ද විගණකාධිපතිවරයෙක් වන බවත්, ඔහුව ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන බවත් සඳහන්කර ඇත. එම ව්‍යවස්ථාවේ ද එකී ධුරය පුරප්පාඩු වන අවස්ථා ලෙස ඇත්තේ, කලින් සෝල්බරි ව්‍යවස්ථාවට සමාන අවස්ථා වන් ය. 1972 ව්‍යවස්ථාවට විගණකාධිපති ධුරය පීළිබඳව අලුතින් එකතු වී ඇත්තේ, විගණකාධිපතිවරයාට ධුරයේ කටයුතු ඉටුකළ නොහැකි අවස්ථාවක, වැඩ බැලීම සඳහා අයෙකු පත්කිරීමට, ජනාධිපතිවරයාට හැකි බව යන්න පමණි. 1978 ව්‍යවස්‍ථාවේ 153 වගන්තියේ ද, 1972 ව්‍යවස්ථාවට සමාන ලෙස ම, විගණකාධිපති ධුරයට අදාළ විධිවිධාන නොවෙනස්ව පවතී. 1978 ව්‍යවස්ථාවට ගෙන ආ 19 වන සංශෝධනයෙන්, විගණකාධිපති ධුරයට අයෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට තිබුණු බලය, සීමා කිරීමට ප්‍රථම වරට කටයුතු කර ඇත. එහිදී විගණකාධිපති ලෙස පත් කරනු ලබන තැනැත්තා, සුදුසුකම් ලත් විගණකවරයෙකු වියයුතු බවත්, ඔහු ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව, ජනාධිපතිවරයා විසින් පත් කළ යුතු බවටත්, ප්‍රථම වරට විධිවිධාන පැනවෙන්නේ, දහ නම (19) වැනි සංශෝධනයෙනි. එමෙන් ම විගණකාධිපතිවරයාට සිය ධුරයෙහි, රාජකාරි ඉටුකළ නොහැකි විට, වැඩ බැලීම සඳහා අයෙකු පත්කිරීම ද, ව්‍යවස්ථා සභාවේ අනුමැතිය යටතේ කළ යුතු බව එහි සඳහන් කර ඇත. දැනට ක්‍රියාත්මක විසි එක් (21) වන සංශෝධනය සමග කියවීමේ දී, මේ තත්වය වෙනස්ව නොමැති බව පැහැදිලිවේ. විගණකාධිපති ධුරය ගැන මේ හැම ව්‍යවස්ථවක ම සඳහන් වන්නේ, "විගණකාධිපතිවරයෙක් වන්නේ ය." යන වචන වලිනි. සෝල්බරි ව්‍යවස්ථාවේ වලංගු භාෂාව ඉංග්‍රීසි නිසා, එහි සඳහන්ව තිබුණේ, There shall be a Auditor Genaral කියා ය.
මේ හැම ව්‍යවස්ථාවක ම කියන්නේ ගමේ භාෂාවෙන් කියනවා නම්, 'විගණකාධි පතිවරයෙක් නැතිවම බැරිය " යන්න ය. මේ ටික ලිව්වේ විගණකාධිපති ධුරය, රටට කොතරම් වැදගත් තනතුරක් දැ යි පෙන්වා දෙන්නට ය.
එසේ වුවද දැන් ගැටලුව වී ඇත්තේ, විගණකාධිපතිවරයෙක් නැත්තේ ය, කියා කියන්නට වී තිබීම ය. ජනාධිපතිවරයා විගණකාධිපති ලෙස පත්කිරීමට, යෝජනා කළ තිදෙනෙකුගේ ම නම් සඳහා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය දී නැත. ජනාධිපතිවරයා යෝජනා කළ නම් තුන ම පිළිගත් විගණකවරුන් ගේ ය, පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විගණකාධිපති ධූරයට පත් කිරීමට, යෝජනා කළ හැක්කේ පිළිගත් විගණකවරයෙකුගේ නම පමණි. මේ යෝජනා කරන නමට ජනාධිපතිවරයාගේ කැමැත්ත පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ, සාමාජිකයින් පස් දෙනෙකුගේ වත්, කැමැත්ත අත්‍යාවශ්‍ය වන්නේය. තමා යෝජනා කළ පළමු නම ප්‍රතික්ෂේප වීමත් සමඟ, ජනාධිපතිවරයා කළේ, දැනට විගණකාධිපතිවරයාගේ කාර්‍යාලයේ සිටින, ජේය්ෂ්ඨ තම අතිරේක විගණකාධිපතිවරයා, තාවකාලිකව වැඩබලන පදනමින් විගණකාධිපති ධුරයේ කාර්ය ඉටුකිරීම සඳහා, හය මසක කාලයට පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ, අනුමැතිය ඉල්ලා සිටීමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වේ ඇති විධිවිධානවලට අනුව, විගණකාධිපති ධුරයේ වැඩ බැලීම සඳහා අයෙකු පත් කිරීමට හැකි වන්නේ, ධුරය දරණ විගණකාධිපතිවරයාට සිය ධුරයේ, කටයුතු ඉටුකළ නොහැකි අවස්තාවක දී මිස, විගණකාධිපති ධුරය පුරප්පාඩු වූ අවස්ථාවක නොවේ.
එය එසේ වුව ද ව්‍යවස්ථා සභාව ඒ ගැන අවධානය යොමු නොකළ නිසා දෝ, ජනාධිපතිවරයා ඉල්ලා සිටි වැඩබලන පදනමින්, මාස හයකට පත්කිරීම අනුමත කරන ලදී. මෙතන දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන ගැන, සැලකිලිමත් නොවීම, ව්‍යවස්ථා සභාවෙන් සිදුවූ, අඩුපාඩුවකි.
එම කාලය ඉකුත්වූ පසු යළිත් මාස තුනකට වැඩ බැලීමේ පත්වීම, දීර්ඝ කිරීමට අනුමැතිය ඉල්ලා සිටීමට, ජනාධිපති වරයා පියවර ගත්තේය. එය ප්‍රතික්ෂේප කළ ව්‍යවස්ථා සභාව සති දෙකකට පමණක්, වැඩ බලන පත්වීම දීර්ඝ කිරීමට එකඟත්වය දී ඇත. එම කාලය ඉකුත් වූ පසු වාර දෙකක්, විගණකාධිපතිවරයා ලෙස පත්කිරීමට සුදුසු යැයි, ජනාධිපතිවරයා එකඟත්වය ඉල්ලූ නම් දෙකක් ම, ව්‍යවස්ථාදායක සභවේ දී ප්‍රතික්ෂේපවී ඇත. දැන් මාස අටක සිට විගණකාධිපති ධුරය පුරප්පාඩු වී ඇත. ඒ සඳහා කෙනෙක් පත්කිරීම සඳහ ක්‍රියා නොකර, කිසියම් හේතුවක් නිසා පැලැස්තර දමමින්, කල් මැරීම ජනාධිපතිවරයාගේ අරමුණ බව පෙනේ. ව්‍යවස්ථාදායක සභාව ද ජනාධිපතිවරයා එවන නම, ප්‍රතික්ෂේප කිරීමට වැඩි දෙයක් නොකරති. ජනාධිපතිවරයා එවන නමට ඉවක් බවක් නොමැතිව, එකඟ වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කාර්ය විය යුතු ද නැත. ඔහුන්ට ස්වාධීනව තම මතය පළ කිරීමට සම්පූර්ණ අයිතිය පවතී. වඩා වැදගත්දේ එකඟවිය හැකි නමක් යෝජනා කිරීම ය.
මේ පිළිබඳව ආණ්ඩුවේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා ගෙන්, ජන මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලදී, ඔහු සැපයූ පිළිතුර ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රාවාදය පිළිබඳව දරණ මතය, පිළිබිඹු කරන්නක් බව සිතීම සාධාරණය. ඔහු පවසන පරිදි විගණකාධිපති ධුරයට, සුදුසු බොහෝ දෙනෙක් සිටිති. ඒනිසා ජනාධිපතිවරයා යෝජනා කරන, විගණක වරයාගේ නමට ව්‍යවස්ථදායක සභාව එකඟ විය යුතුව ඇත. එය ප්‍රාජාතන්ත්‍රාවාද ය යි. එසේ නැතිව ඒ නම ප්‍රතික්ෂේප කරන්නේ, එම සභාවට ඕනකෙනාගේ නම යෝජනා කරන කම් දැයි, ඔහු විමසීම් ද කරයි. මේ අන්දමේ ප්‍රජාතන්ත්‍රාවාදයක්, ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති වරයා ද බලා පොරොත්තු විය. ඔහු ආණ්ඩුවේ ක්‍රියා කලාපයට එරෙහිව, නඩු තීන්දුවක් දුන් විනිසුරුවරුන්ගේ ගෙවල්වලට, මැර කණ්ඩායම් යොදවා, ගල් ගස්වා, උද්ඝෝෂණයක් ද කෙරෙව්වේ ය. ඒ පිළිබඳව රටේ ජනතාව බලවත් සේ ප්‍රශ්න කෙරෙන විට, ජනාධිපතිවරයා පැවසුවේ, වීනිසුරන්ගේ තීන්දුවලට විරුද්ධව, උද්ඝෝෂණය කිරීමට පවා හැකි, ප්‍රජාතන්ත්‍රාවාදයක් තම පාලනය යටතේ, සහතික කරදී ඇති බවය. ඇමති නලින්දගේ පිළිතුර අසා සිටි මට, තේරුණේ විගණකාධිපති ධුරය සඳහා, වරලත් විගණකවරයෙකු පත් කළ යුතු බවට, දහනම (19) වන සංශෝධනයෙන් නියම කිරීම, කොතරම් හොඳ ද කියා ය. එතෙක් ජනාධිපති වරයාට ඕනෑම කෙනෙකු, විගණ කාධිපතිලෙස පත් කළ හැකි අන්දමේ, විධිවිධානයක් ව්‍යවස්ථාවේ තිබුණි. යම් හෙයකින් එය අද දක්වා තිබුණේ නම් පක්ෂයේ මුදල් ලේකම් විගණකාධිපති ලෙස පත් කර ඒ ගැන විමසන, අයට ජනාධිපතිවරයාගේ කැමැත්තට විරුද්ධ වීම, ප්‍රජාතන්ත්‍රාවාදය නොවේ යැ යි, කියන ඇමතිවරු සිටින්නත්, ඉඩ තිබුණා නේ දැයි නිකමට හිතුණි.
නලින්ද ජයතිස්ස ඇමති තුමනි!,
මෙතෙක් පස් යොදුන් කෝරළයේ උපන් අය ලෙස, අභිමානයෙන් සිටි අප රට ඉදිරියේ අසරණ නොකරනු මැනවි.
අතිගරු ජනාධිපති අනුර දිසානායක මැතිතුමනි!.
ඔබතුමා මේ අපේ රාජ්‍යයේ රාජ්‍ය නායකයා ය. ඔබතුමා බහුතර ඡන්දයෙන් කෙසේ වෙතත්, ජනපතිධුරයට තරඟ කළ පළමු දෙදෙනාගෙන්, වැඩියෙන් ඡන්ද ලබා තුන් වෙනියාට ඡන්දය ගත් අයගේ, දෙවනි මනාපයෙන් ද, පොඩ්ඩක් අරගෙන, අපේ රටේ රාජ්‍ය නායකයා ලෙස පත්විය. ඔබතුමාගේ පත්වීමේ ඇදකුද නොසොයා අපි සැම දෙනම, ඔබ අපේ රටේ නායකයා ලෙස 2029 වන තුරු පිළිගෙන සිටිමු. රාජ්‍ය නායක කමේත් රජයේ ප්‍රධානියා ලෙසත්, විධායකයේ ප්‍රධානියා ලෙසත්, සන්නද්ධ හමුදා සේනාධිනායක ලෙසත්, ඔබට පැවරී ඇති භූමිකා ඊනියා පක්ෂ දේශපාලනය, කර පින්නාගෙන නොකරන ලෙස, ගෞරවයෙන් ඉල්ලා සීටිමු. ඒ භූමිකාවල, ඔබතුමා ගුරු කොට ගතයුත්තේ, නීතිය, යුක්තිය හා, සාධාරණය පමණි. ඔබතුමා රට භාරගන්නා විටත්, විකෘතිව තිබුණු රාජ්‍ය පාලන තන්ත්‍රය, ප්‍රකෘතිමත් කිරීම කෙසේ වෙතත්, තවත් විකෘති වීම, නතර කිරීමටවත් උත්සාහ ගන්න. නීතිය, යුක්තිය හා සාධාරණය පිළිබඳව නම්, ප්‍රමාණවත් අවබෝධයක් ඔබතුමාට, ඇති බවට අපට සැකයක් නැත. ඒනිසා රජයේ වැදගත් ම තනතුරක් වන, විගණකාධිපති ධුරය සඳහා, ව්‍යවස්තාදායක සභාවට එකඟවිය හැකි, නමක් හෝ නම් කීපයක් හෝ යවා, එකඟවිය හැකි නමක්, නිර්දේශ කර එවන ලෙස දන්වා, මේ රාජ්‍ය මූල්‍ය පාලනය, අස්ථාවර කරන බරපතල ගැටලුව, විසඳන ලෙසත්, ගෞරවයෙන් ඉල්ලා සිට්මු. ඔබතුමා දේශපාලන පක්ෂයක හා සන්ධානයක, නායකයා ය කියා කියන නිසා, ආණ්ඩුවේ නායකයා ලෙස කරන, ක්‍රියකාරකම් වලදී, ඒ පක්ෂ ප්‍රතිපත්තීන්, කරපින්නා ගත්තාට, අපේ දොසක් නැත. ඒවා සාධාරණීකරණය කරන කේවට්ට ගණයේ, ඇමතිවරු ද, සේනක, පුක්කුස, කාවින්ද හා දේවින්ද වැනි, නියෝජ්‍ය ඇමතිවරුන් හා මංත්‍රීවරුන් ද, ඇති තරම් සිටින නිසා, අපි ඒ ගැන මැදිහත් නොවන්නෙමු.
- සුනිල් කන්නන්ගර -
(අම්පාර, රත්නපුර, කොළඹ හිටපු මහ දිසාපති)
