උණුසුම් පුවත්

ජනපති, උගණ්ඩාවේ ජාත්‍යන්තර රාජ්‍ය සමුළු දෙකකට හෙට එක් වෙයි

නොබැඳි ජාතීන් ගේ සමුළුවට හා ජී 77 ට ඒ.

නොබැඳි ජාතීන් ගේ සමුළුවේ (NAM) 19 රාජ්‍ය නායක සමුළුවට හා සහ G77 සහ චීනයේ 3 වැනි දකුණු සමුළුවට (3rd South Summit of the Group of 77 & China) සඳහා සහභාගිවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උගන්ඩාවේ  නිල සහචාරයක නිරත වීමට නිකමි ය .

උගන්ඩා ජනරජයේ  ජනාධිපති යොවේරි  මු‌සෙවිනි (Yoweri Museveni) මහතාගේ ආරාධනය අනුව වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වන බව ජනපති මාධ්‍ය අංශය කියයි.

නොබැඳි ජාතීන් ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුව "හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගිතාව පුළුල් කර ගැනීම" යන තේමාව යටතේ හෙට සහ අනිද්දා දක්වා උගනඩාවේ කම්පාලා නුවර දී පැවැත්වේ.

G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුව ජනවාරි 21 සිට 22 දක්වා කම්පාලා නුවරදී පැවැත්වෙන අතර මෙවර එහි තේමාව වී ඇත්තේ "කිසිවකු අත් නොහරිමු" යන්න යි.

මෙම සංචාරයේ දී ජනපති වික්‍රමසිංහ සමුළු ද්විත්වය ම ඇමතීමට නියමිත ය. අප්‍රිකානු කලාපයේ සිටින ගෝලීය දකුණේ රටවල නායකයින් සහ නියෝජිතයින් සමඟ ද සාකච්ඡා කරනා වග ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

මේ වන විට නොබැඳි ජාතීන් ගේ සම්මේලනය සාමාජිකයින් 120 සමන්විත ය. බැංග්ඩුන් මූල ධර්ම මත පදනම්ව සංවර්ධනය වෙමින් පවතින රටවල අවශ්‍යතා ඉටු කිරීමේ අභිලාෂයෙන් එය ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාව නොබැඳි ජාතීන්ගේ සම්මේලනයේ ආරම්භක සාමාජිකයකු වෙයි. 1976 සිට 1979 දක්වා එහි සභාපතීත්වය දැරුවේ ශ්‍රී ලංකාවයි. නොබැඳි ජාතීන්ගේ 5 වැනි රජ්‍ය නායක සමුළුවේ සත්කාරකත්වය 1976 දී දරන ලද්දේ ද අපේ රට යි.

G77 සහ චීන 3 වැනි දකුණු සමුළුව එහි 134 වන සාමාජික රටවල් අතර වෙළඳාම, ආයෝජනය, තිරසර සංවර්ධනය, දේශගුණික විපර්යාස, දරිද්‍රතාව තුරන් කිරීම සහ  ඩිජිටල් ආර්ථිකය ඇතුළු ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් පැවැත් වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරණ සංවර්ධනය වෙමින් පවතින රටවල විශාලතම සන්ධානය ලෙස ගෝලීය දකුණේ රටවලට සිය සාමාහික ආර්ථික අවශ්‍යතා ප්‍රකාශ කිරීමට, ප්‍රවර්ධනය කිරීමට මෙන් ම ගෝලීය දකුණේ රටවල් අතර අන්තර් සහයෝගිතාවය ඇතුළු එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ පවතින ජාත්‍යන්තර ආර්ථික ගැටලු පිළිබඳව එක්ව සාකච්ඡා කිරීමට මෙම සමුළුවේ දී ඉඩකඩ සැලසේ.

G77 සහ චීනය සමුළුවේ සභාපති ධූරය මෙතෙක් කියුබානු රජය මගින් ද නොබැඳෝ ජාතීන්ගේ සමුළුවේ සභාපතීත්වය අසර්බයිජාන ජනරජය මඟින් ද දැරූ අතර මෙම සමුළු දෙකෙහි ම මෙවර භාර ගැනීමට නියමිතව ඇත්තේ උගන්ඩා ජනරජය යි.

විදේශ කටයුතු ඇමති අලි සබ්‍ර්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රැවන් විජේවර්ධන මහත්වරුන් ද මීට එක් වේ.