ඉල්ලීම් අයිතිවාසිකම් වෙනුවෙන් කළ සටනක ප්රතිඵලයයි ලෝක මැයි දිනය - ජනපති
ඉල්ලීම් අයිතිවාසිකම් වෙනුවෙන් කළ සටනක ප්රතිඵලයක් ලෙස ආරම්භ වූ ලොක් කම්කරු දිනයේ 138 වැනි සැමරුම් දිනය වන විට අපි රටක් ලෙස තීරණාත්මක සංධිස්ථානයකට එළැඹ සිටින්නෙමු.රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙන යාමේ අත්හළ නොහැකි වගකීම අද අපි සියලු දෙනා වෙත පැවරී තිබෙන අතර ඒ වෙනුවෙන් සියලු දෙනා සාමුහිකත්වයෙන් වැඩ කල යුතුව තිබේ.
පසුගිය ආර්ථික කඩා වැටීම හමුවේ වඩාත් අභියෝගයට ලක්වූයේ ද මෙ රට කම්කරු ජනතාවයි. නොසැලී සියල්ල විඳදරා ගනිමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන සමස්ත කම්කරු ජනතාවට ස්තුතිය පුද කිරීමට ද මම මේ අවස්ථාවක් කර ගනිමි.
අප සියලු දෙනා එක්ව සිදු කරන එම අසීමිත කැපකිරීමේ ප්රතිඵල අද රට හමුවේ දක්නට තිබේ.මේ වන විට ශ්රී ලංකා ආර්ථිකය වර්ධනය වෙමින් පවතින අතර උද්ධමනය සැළකිය යුතු ප්රමාණයකින් පහළට ගෙන ඒමටත් රුපියල ශක්තිමත් කිරීමටත් හැකිවීම රජය ලැබූ ජයගහණයන් ය.
කම්කරු ජනතාව තව දුරටත් දිළිඳු ජනතාව ලෙස රඳවා ගැනීම රජයේ අරමුණ නොවන අතර අරගලයකින් තොරව ම ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා දීම වෙනුවෙන් "අස්වැසුම" සහ "උරුමය"වැඩ සටහන් ශක්තිමත් කර තිබෙන බවත්, වතුකරයේ ජනතාවගේ අයිතිවාසිකම් දනා දෙමින් ඔවුන්නගාසිටුවීම වෙනුවෙන් ද පුළුල් වැඩ කොටසක් ඉටු කරමින් සිටින බවත් සිහිපත් කල යුතු ය.
එමෙන් ම ආර්ථික ගැටලු හමුවේ වුවද රජයේ සේවකයන්ගේ වැටුප් රුපියල් දස දහසකින් වැඩි කිරීමට කටයුතු කර තිබෙන අතර ඒ හා සමගාමීව පෞද්ගලික අංශය ද සිය උපරිම දායකත්වය ලබා දී තිබේ.
සාම්ප්රදායික මැයි දින සැමරුමකට සීමා නොවී නූතන ප්රවණතා හා අභියෝග හඳුනා ගනිමින් රට දිනවීම සඳහා ජනතාව වෙනුවෙන් සම්මුතියකට එළඹීමට මෙවර මැයි දින සැමරුම අවස්ථාවක් කර ගනිමු යි සියලු දේශපාලන පක්ෂවලට ඇරයුම් කරමින් රට ඉහළට ඔසවා තැබීමට සියලු දෙනා එක්වන, ස්වකීය අයිතීන් සුරක්ෂිත කෙරෙන අර්ථවත් වූ ලෝක කම්කරු දිනයට සුභාශිංසන එක් කරමි.
රනිල් වික්රමසිංහ
ජනාධිපති
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජ
2024. 04. 30.
