සතියේ සටහන

ජනාධිපතිවරණයට සැරසෙන හැඩ

අදින්  (01) ආරම්භ වන 2024 නව වර්ෂය ශ්‍රී ලංකාවේ දේශපාලනට ජන ජීවිතයට තීරණාත්මක වසරක් වන බව පැහැදිලි ය.

ඒ ජනාධීපතිවරණය, 2024 වසරේ අනිවාර්යයෙන් ම පැවැත්විය යුතු නිසයි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වසරේ ඔක්තෝම්බර් හෝ නොවැම්බර් මාසයේ හෝ මුල් සතිය වන විට ජනාධිපතිවරණය පැවැත්විය යුතු යි. ඒ සඳහා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම ජූලි, අගොස්තු මාසවලදී සිතු කළ යුතු වේ.

දැනට ප්‍රකාශ වී ඇති පරිදිසෑම දේශපාලන පක්ෂයක් ම ජනාධිපතිවරණයට තරග කිරීමට බලාපොරොත්තු වන්නේ සංධාන පිහිටුවා ගෙනයි.

ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා නිදහස ජනතා සභාවේ නායකයා වන මහාචාර්ය ජී. ඇල්. පීරිස් මහතා සමඟ පසුගිය බ්‍රහස්පතින්දා සිදු කළ දීර්ඝ සාකච්ඡාවකින් පසු පොදු ඒකඟතාවයකට එළඹ ඇති බවත් දැනදැන ගන්නට හැකි වුණා.

නිදහස ජනතා සභාව සමගි ජන බලවේගය සමඟ එක්වීමෙන් පසු ඉදිරි මැතිවරණයක දී පිහිටුවා ගනු ලබන ආණ්ඩුවේ කැබිනට් ඇමති ධූර 03 ක් නිදහස ජනතා සභාවට ලබා දෙන බවටත් සජිත් ප්‍රේමදාස මහතා පොරොන්දු වී ඇති බවත් නිදහස ජනතා සභාවේ සිටින මන්ත්‍රීවරුන් 13 දෙනා ගෙන් 10 කු තවත් පිරිසක් සමඟ සමගි ජන බලවේගයට එක්වන බවට ජී, ඇල්. පීරිස් මහතා ප්‍රතිඥා දී ඇති බවත් නිදහස ජනතා සභාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

යාපා බණ්ඩාර, මහාචාර්ය චන්න ජයසුමන, හා කේ.පී. එස්. කුමාරසිරි යන මන්ත්‍රීවරුන් ද සහභාගි වූ බවත් එම ආරංචි මාර්ග තව දුරටත් සඳහන් කළා.

මෙම සාකච්ඡාවට සමගි ජන බලවේගයේ වෙනත් කිසිදු නායකයකු සහභාගි වී නැති අතර ඔවුන්ට මේ ගැන කිසිවක් දක්වා නැති බව ද ආරංචි මාර්ග අනාවරණය කළා.

මේ අතර සමගි ජන බලවේගයේ නායකත්වයෙන් පිහිටුවීමට යන සමගි ජන සංධානයේ ආරම්භක උත්සවය ජනවාරි මස 20 වැනි දින කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත්, දැනටත් සමගි ජන බලවේගය සමඟ සිටින ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, මනෝ ගනේෂන් මහතා ගේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ යන පක්ෂ සහ ජී. ඇල්. පීරිස් මහතා ගේ නායකත්වයෙන් ඒන නිදහස ජනතා සභාවේ කණ්ඩායම සමඟ එහිදී ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බවත් සමගි ජන බලවේගයේ ආරංචි මාර්ග කියා සිටියා.

මේ අතර යෝජිත සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එරාන් වික්‍රමරත්න මහතා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් සකස් කරගෙන යන අතර එය ද මෙම උත්සවයේ දී නිකුත් කරන බව ද දැනගන්නට ඇත.

මේ අතර සමගි ජන බලවේගයට නිදහස ජනතා සභාවේ ජී. ඇල්. කණ්ඩායම එක්කර ගැනීම පිළිබඳව පසුගිය සතියේ පැවති සමගි ජන බලවේගයේ කෘත්‍යාධීකාරී මණ්ඩල රැස්වීමේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව ද වාර්තා වුණා.

පසුගිය මහ මැතිවරණයේ දී සිංහල මව්වරුන් වඳභාවයට පත්කළ මුස්ලිම් වෛද්‍යවරයකු ගැන හා වඳ කොත්තු කතාවක් ප්‍රචාරය කළ චන්න ජයසුමන වැනි ජාතිවාදීන් සමඟ එකට කටයුතු කරන්නේදැ යි හිටපු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මෙහිදී ප්‍රශ්න කර ඇති වගක් ද හෙළි වුණා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසා ඇත්තේ ඡන්ද පදනමක් නො මැති අය එක්කර ගෙන ඔවුන්ට පක්ෂයෙන් නාමයෝජනා ලබා දී මැතිවරණයට ඉදිරිපත් කළ විට දිස්ත්‍රික්කයේ සිටින පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට අසාධාරණයක් සිදුවන බවයි.

එහෙත් එස්. එම්. මරික්කාර්, හර්ෂණ රාජකරුණා, සුජීව සේනසිංහ අදීන් මෙහිදී පෙන්නා දී ඇත්තේ මේ අවස්ථාවේ ජනාධිපතිවරණය ජය ගැනීමට නම් සන්ධානයකට යා යුතු ම බව යි. එනිසා මෙහිදී පටු විදියට කල්පනා නොකළ යුතු බව ද ඔවුන් පවසනවා.

සංධානය පිහිටුවීමේ බලය කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පවරා ඇති හෙයින් ඔහු ගන්නා තීරණ පිළිගත යුතු බව ද මෙම පිරිස පෙන්වා දුන් බව කි හෙළදිවට වාර්තා වනුයේ.

මේ හැර පසුගිය දා ක්‍රීඩා ඇමති ධූරයෙන් පහකරනු ලැබූ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා ද පොදු පෙරමුණේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ද සමගි ජන බලවේගයට එකතු වීමට යන බවට දේශපාලන අංශ අතර රාවයක් පැතිර යනවා.

මේ දිනවල විදේශගතව සිටින රොෂාන් රණසිංහ මහතා මේ සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර ඔහු ජනවාරි 10 වැනිදා නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ රැස්වීඹක් පවත්වා තමන්ගේ ඉදිරි සැලසුම් ප්‍රකාශ කිරීමට යන බවට ද ඔහුට සමීප ආරංචි මාර්ග පවසනවා.

මේ අතර පොදු ජන පෙරමුණේ සිට ස්වාධීන වූ මන්ත්‍රීවරුන්පිරිසක් විසින් අනුර ප්‍රියදර්ශන යාපා හා නිසල් ලංසා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ගෙන තිබෙන නව සංධානය මැතිවරණය කේන්ද්‍රකොට ගනිමින් ජනවාරි මුල් සතියේ ප්‍රචාරක වැඩ පිළිවෙලක් ආරම්භ කිරීමට තීරණය ‌ෙකාට ඇති බව ද වාර්තා වෙනවා.

තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් ප්‍රකාශ කොට නැති නමුත් එක්සත් ජාතික පක්ෂය ද ජනවාරි මාසයේ සිට මැතිවරණ මෙහෙයුම් වැඩ පිළිවෙලක් අරඹන බව එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංග බණ්ඩාර මහතා පවසනවා.

ඊට පෙර පක්ෂයේ කටයුතු මෙහෙයවීම සඳහා හත් දෙනකුගෙන් යුත් නායකත්ව මණ්ඩලයක් ද පත් කරන බව ඔහු සහන් කළා. මෙම නායකත්ව මණ්ඩලයට වජිර අබේවර්ධණ, හරීන් ෆ්‍රනාන්දු, නවීන් දිසානායක, සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම්, රුවන් විජේවර්ධන හා රවි කරුණානායක යන මහත්වරුන් පත් කරනු ඇතැටි දැන ගන්නට තියෙනවා.

මේ අතර දේශපාලන විචාරකයින් පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට නිර්පාක්ෂික අපේක්ෂකයකු ඉදිරිපත් වනු ඇති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණය සඳහා කලින් තිබූ එක්සත් ජනතා නිදහස් සංධානය යළි සක්‍රීය කිරීමට කටයුතු කරමින් සිටිනවා. වමේ සෙසු පක්ෂ ද එකතු කර ගෙන එක්සත් ජනතා සංධානයේ බුලත් කොළය ලකුණින් ජනාධිපතිවරණයට හා අනෙකුත් මැතිවරණවලට තරග කළ යුතු බව මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු එම පක්ෂයේ නායකයින් අදහස් කරන බව පසුගියදා ඔවුන් කළ ප්‍රකාශවලින් පැහැදිලි වෙනවා.

එසේ වුවද එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම් වශයෙන් කටයුතු කළ තිලංග සුමතිපාල මහතා වෙනුවට වෙනත් අයකු පත් කිරීමට යන බව ද දැන ගන්නට තියෙනවා.

එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම් සේ කලින් කටයුතු කළේ මහින්ද අමරවීර මහතා යි. ඔහු පක්ෂයේ තීරණයට පිටින් ගොස් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ කැබිනට් ඇමති ධූරයක් ලබා ගෙන ආණ්ඩුවට එක්වීමෙන් පසු එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම් ධූරයට තිලංග සුමතිපාල මහතා පත් කරනු ලැබුවා. තමන් පක්ෂයෙන් ඉවත් කිරීමට විරුද්ධව අමරවීර මහතා අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළ අතර ඔහු පක්ෂයෙන් නෙරපීම වැරදි බවට අධිකරණය තීන්දු කළා. ඒ අනුව යළි පක්ෂයට එක්කර ගනු ලැබූ මහින්ද අමරවීර මහතා තවමත් තමා එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම්වරයා බව මැතිවරණ කොමිෂන් සභාවටලිපියක් මගින් දැනුම් දී තිබෙනවා. තිලංග හා අමරවීර යන දෙදෙනා පිළි නොගැනීමටයි මැතිවරණ කොමිෂම තීරණය කොට ඇත්තේ.

මේ නිසා එක්සත් ජනතා නිදහස් සංධානය යළි සක්‍රීය කිරීමට පෙර එහි මහ ලේකම් පිළිබඳ අර්බුදය විසඳා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාට සිදු වී තියෙනවා.

මේ අතර චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්කර ගැනීම සඳහා මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර හා දුමින්ද දිසානායක යන මහත්වරු ඇය සමඟ සාකච්ඡා ගණනාවක් පවත්වා තිබුණා.

එහිදී චන්ද්‍රිකා පවසා ඇත්තේ පක්ෂයට එක්වීමට නම් තමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ලබා දිය යුතු බවයි. එහෙත් මෛත්‍රීපාල සිරිසේන මහතා එයට එකඟ නොවීම නිසා  එම සාකච්ඡා ඇණහිට තිබුණා.

චන්ද්‍රිකා පක්ෂයට එක්කර ගැනීම අවශ්‍ය ම බව කෘත්‍යාධීකාරී මණ්ඩලයේ වැඩි දෙනෙක් කියා සිටීම නිසා මෛත්‍රීපාල සිරිසේන මහතා තම අදහස වෙනස් කර ගෙන ඇති අතර අලුතින් පක්ෂ නායක තනතුරක් ඇති කොට එය චන්ද්‍රිකා ට දීමට ඔහු එකඟ වී ඇති බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග පවසන්නේ.

තමා පක්ෂයේ පූර්ණ බලතල සහිත සභාපති ධූරය දරණ අතර චන්ද්‍රිකාට බලතල අඩු නායක ධූරය ලබා දීමට ඔහු අදහස් කොට තිබෙනවා. එහෙත් එය චන්ද්‍රිකා කෙසේ පිළිගනීවි දැ යි පාක්ෂිකයන් ප්‍රශ්න කරන්නේ. චන්ද්‍රිකා ඉල්ලා ඇත්තේ තමාට සියලු බලතල සහිතව පක්ෂ නායක ධූරය ඉල්ලා තිබෙන නිසයි.

කෙසේ වුවද මේ පිළිබඳව අවසන් තීරණයක් ගැනීම ජනවාරි මස පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාවේ දී සිදු කෙරෙනු ඇතැ යි එහි ප්‍රකාශකයකු කියා සිටියා.

ජනාධිපතිවරණයට තරග කරනවා දැ යි මාධ්‍යවේදීන් පසුගිය සතියේ මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රශ්න කළ විට ඔහු පැවසුවේ පක්ෂය විසින් තීරණය කළොත් තමා තරග කරන බවයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ද තවමත් නිල වශයෙන් ජනාධිපති අපේක්ෂකයකු නම් කර නැති නමුත් එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වන ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා නිල නොවන මට්ටමින් දැනටමත් සිය සංවිධාන හා ප්‍රචාරක කටයුතු අරඹා තිබෙනවා.  

පසුගිය 24 වැනි ඉරිදා ඉංග්‍රීසි පුවත් පතක ධම්මික පෙරේරා ගේ ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ විශාල දැන්වීමක් ඔහුට අයත් සමාගමක් විසින් පළ කොට තිබුණා.

එමෙන් ම ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා දෙමළ, මුස්ලිම් පක්ෂ කිහිපයක් සමඟත් පසුගිය දිනවල සාකච්ඡා කොට ඇති බව ද වාර්තා වෙනවා.

මේ අතර පොදු ජන පෙරමුණ විසින් ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තු වන ධම්මික පෙරේරා මහතා වෙත ප්‍රශ්න 10 කින් යුත් ලිපියක් යවා ඇති බව ද සඳහන්.

ජනාධිපතිවරණයේ දී 51% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීම සඳහා ඔබ අනිකුත් දේශපාලන පක්ෂ, කණ්ඩායම් හා සිවිල් සංවිධාන සමඟ සංධානගත වීමේ වැඩ පිළිවෙල ඉදිරිපත් කරන්නැ යි එහි පළමු ප්‍රශ්නයෙන් දක්වා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය හා වෘත්තීය අධ්‍යාපන මට්ටම ඉහළ දැමීම සඳහා ගන්නා ක්‍රියා මාර්ග ගොවි ජනතාවට ලබා දෙන සහනාධාර හා කෘෂීකර්මාන්තය නංවාලීමට ඉදිරිපත් කරන වැඩ පිළිවෙල, ග්‍රාමීය හා නාගරික ප්‍රදේශවල දිළිඳුකම නැති කිරීමට ගත යුතු ක්‍රියා මාර්ග ආර්ථික වර්ධන වේගය 7% දක්වා වැඩි කිරීමට ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙල බඩු මිල හා ජීවන වියදම පහත දැමීම සඳහා ජනතාවට පීඩා විඳීමට සිදුවී ඇති බදු අඩු කරන අන්දම, රාජ්‍ය ව්‍යාපාර පවත්වා ගෙන යාම සඳහා ගන්නා ක්‍රියා මාර්ග මොනවාද යන්න අනෙක් ප්‍රශ්නවලට ඇතුළත් වෙනවා.

තමා මෙම ප්‍රශ්නවලට මේ දිනවල පිළිතුරු සකස් කරගෙන යන බව ධම්මික පෙරේරා මහතා පෙරේදා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා.

මේ අතර නිදහස් ජනතා පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, සමසමාජ පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් විසින් පිහිටුවා ගෙන තිබෙන විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් උත්තර ලංකා සභාගය ජනාධිපතිවරණය පිළිබඳව පසුගිය සතියේ රැස්වී සාකච්ඡා කොට ඇතත් වීරවංශ මහතා මේ දිනවල විදේශගතව සිටින බැවින් ඒ ගැන තීරණයක් ගැනීමට ඔහු පැමිණෙන තුරු කල්දමා තිබෙන බවයි දැන ගන්නට තිබෙන්නේ.

දැන ගන්නට තිබෙන අන්දමට උත්තර ලංකා සභාගේ වැඩි පිරිසකගේ මතය වී ඇත්තේ ජනාධිපතිවරණයට වමෙන් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට යි.

මේ අතර දෙමළ ජාතික සංධානයට අයත් පක්ෂ ද ජනාධිපතිවරණයට උතුරෙන් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම ගැන සාකච්ඡා කොට තිබෙනවා. දෙමළ මහජන සභාවේ නායක උතුරේ හිටපු මහ ඇමති සී. වී. විග්නේශ්වරන් මහතා පවසන්නේ අනෙක් පක්ෂ එකඟ වන්නේ නම් තමා පොදු අපේක්ෂකයා ලෙස සූදානම් බවයි. එහෙත් සමස්ත ලංකා ද්‍රවිඩ කොන්ග්‍රසයේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා දෙමළ පක්ෂ ජනාධිපතිවරණයට තරග කිරීමට යාම ගැන විරෝධය පළ කොට තිබෙනවා.

උතුරේ සියලු පක්ෂ ජනාධිපතිවරණය වර්ජනය කළ යුතු බවයි ඔහු පවසන්නේ.

 – ජගත් –