රනිල් ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ගේ සන්ධානයක් අලුතෙන් නිර්මාණය කෙරනවා ලු
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු හා දේශපාලන පක්ෂ එකතුවෙන් බිහිවන නව දේශපාලන බලවේගයක් සඳහා පූර්ණ සහයෝගය ලබා දෙනවා.
- අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මහනුවරදී කියයි...
මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැද පුදාගත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (2024.08.18) අස්ගිරි මහා විහාරයේදී මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක ආචාර්ය අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නාහිමිපාණන් වහන්සේ සහ මල්වතු මහා විහාරයේදී මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නා හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. ඊයේ රාත්‍රියේ විථි සංචාරය කළ හතරවැනි රන්දෝලී පෙරහැර ආරම්භයට ද අග්‍රාමාත්‍යවරයා එක්විණි.
මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරු මාධ්‍ය වෙත අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ජනපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබාදීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු හා අනෙකුත් දේශපාලන පක්ෂ හා සංවිධානවල සහභාගිත්වයෙන් ඉදිරියේ දී නව දේශපාලන බලවේගයක් බිහි කිරීමට සාකච්ඡා පවත්වමින් සිටින බව පැවසීය.
එම දේශපාලන බලවේගය ගොඩ නැගීම සඳහා අගමැතිවරයා ලෙස තම ආශිර්වාදය හා සහයෝගය නිරන්තරව ලබාදෙන බව ද අග්‍රාමාත්‍යවරයා කීය.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා-
රජය ඉදිරියට ගෙන යෑමට සහයෝගය ලබාදුන් පොහොට්ටුවේ මන්ත්‍රීවරු අතිමහත් බහුතරයක් රට වැටී තිබුණු අර්බුදයෙන් ගොඩගත් රනිල් වික්‍රමසිංහ මහතා ට ජනපතිවරණයේ දී සහයෝගය ලබා දීමට තීරණය කළා.ඒ මන්ත්‍රීවරු පොහොට්ටුව වගේම තවත් පක්ෂ ගණනාවක් නියෝජනය කරනවා.
වසර දෙකක් තිස්සේ ඉතා අසීරුවෙන් ඉදිරියට පැමිණි රට මේ වනවිට නිවැරදි මාවතක ගමන් කරමින් තිබෙනවා.මේ ජයග්‍රහණය තව දුරටත් ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන යෑම සඳහා අප සියලු දෙනා එකට එකතු වී වැඩ කරනවා.
මේ වනවිට පළාත් පාලන ආයතනයේ සිට පාර්ලිමේන්තුව දක්වා සියලුම මන්ත්‍රීවරු එකට අත්වැල් බැඳගෙන සිටිනවා. මේ නිසා ඉදිරි මැතිවරණයක දී තමන් ට අපේක්ෂකත්වය ලබා ගැනීමට නොහැකි වේ යැයි කිසිවෙකුත් බියට පත්විය යුතු නැහැ.
ඔවුන් ට කිසිදු තර්ජනයක් ඇති වීමට අපි ඉඩ තබන්නේ නැහැ. නව දේශපාලන බලවේගයක් බිහි කිරීමේ අවශ්‍යතාව අප තේරුම් ගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් මේ වනවිට ආරම්භ වී තිබෙන සාකච්ඡා සඳහා මගේ පූර්ණ සහයෝගය හා ආශිර්වාදය ලබා දෙනවා.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යාදාමිණි ගුණවර්ධන මහතා ද සහභාගි විය.