උණුසුම් පුවත්දේශපාලන

ජය නියතයි – ගම අපටයි

පුරවැසි බදු මුදල් සෑම රුපියලක්ම ජනතාව වෙනුවෙන්

පුරවැසි බදු මුදල් සෑම රුපියලක්ම ජනතාව වෙනුවෙන් පරිස්සමෙන් වියදම් කරන බවට සහතික වෙනවා
අනුර කුමාර දිසානායක
පුරවැසියාගේ බදු මුදල් සෑම රුපියලක්ම ජනතාව වෙනුවෙන් පරිස්සමෙන් වියදම් කිරීමට වත්මන් ආණ්ඩුව සහතික වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා මෙම අදහස් පළ කළේ, "ජය නියතයි ගම අපටයි" ජයග්‍රාහී ජනතා රැලි මාලාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ප්‍රදේශයේ ඊයේ (29) පැවති ජන හමුවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා මෙසේද පැවසීය.

තිස්සමාරාමය අපට හැමදාම විශාල ජයග්‍රහණ ගෙනත් දුන්නා. තිස්ස ගැන අපට කිසි සැකයක් නැහැ. දැන් අපි ලංකා දේශපාලනයේ විශාල හැරවුමක් අරගෙන තිබෙනවා. දීර්ඝ කාලයක් රට පාලනය කළ පැරණි කණ්ඩායම අතින් පොදු ජනතාව නියෝජනය කරන අලුත් කණ්ඩායමකට බලය මාරු වෙලා තිබෙනවා. මේක සාමාන්‍ය තත්වයක් නොවෙයි. පසුගිය ජනාධිපතිවරණයේදී ඊට අවශ්‍ය වන පළමු හැරවුම ගත්තා. මහ මැතිවරණයේදී ලංකා ඉතිහාසයේ වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කළා. පළාත් පාලන ඡන්දයේදී ඊට වඩා මනාප ලැබෙන බව අපට විශ්වාසයි. මොකද මේ අප ගත්ත හැරවුම ආපසු හැරවීමට ජනතාව ඉඩ නොදෙන බව අපට විශ්වාසයි. මේක ඉදිරියට ගෙනයාම තමයිි අපේ රටේ ජනතාවට අපට තිබෙන එකම මාර්ගය.

අපි බලය ගන්නා විට අපේ රට ආර්ථික වශයෙන් සුවපත් රාජ්‍යයක් ලෙස තිබුණේ නැහැ. මෙයට අවුරුදු දෙකහමාරකට පෙර අපේ රට විශාල බංකොලොත්භාවයකට පත් වෙලා තිබුණා. දිගු කාලයක් අපේ රට පාලනය කළ පාලකයන්ගේ දුර්වලතා හේතු කර ගෙන රටකට විය හැකි විශාලතම ව්‍යසනය අපට ගෙනත් දුන්නා. රටක ආර්ථිකයට ගෙනත් දිය හැකි විශාලම විනාශය වන්නේ ආර්ථික බංකොලොත්භාවයයි. අප ලෝකෙට ණය වී ණය ගෙවන්නේ නැහැ කියා හුදෙකලා වුණු රටක්. තව අවුරුදු සියයකින් ලංකාවේ ආර්ථිකය ගැන පොතක් ලියවුණත් 2021-2023 ආර්ථික අර්බුදය ගැන ඉතිහාසයේ ලියවෙනවා. ණය ගෙවා ගන්න බැරි වූ රාජ්‍යයක්, තෙල් ආනයනය කිරීම සඳහා ඩොලර් සොයාගන්න බැරි වූ රාජ්‍යයක්, ඖෂධ ආනයනය කිරීම සඳහා මුදල් සොයාගන්න බැරි වූ රාජ්‍යයක්, ගෑස් ආනයනය කිරීම සඳහා මුදල් හිඟ වූ රාජ්‍යයක්, රටේ ජනතාව පාරට ඇවිත් පාලකයන්ව එළවා දැමූ රාජ්‍යයක්, රටේ පාලකයා සැඟවිලා ජීවිතය බේරා ගත් කාලයක් බව ඉතිහාසයේ ලියවේවි.

ඒ වගේ රටක් බංකොලොත්භාවයට පත් වූ විට නැවත යථා තත්ත්වයට පත් වෙන්න අවුරුදු දහයක් වගේ කාලයක් ගත වෙනවා. ලෝකයේ බොහෝ රටවල් එවැනි ව්‍යසනයකට පත් වූ විට එවැනි කාලයක් ගත වී තිබෙනවා. එහෙත් කෙටි කාලයක් තුළ මේ රටේ ආර්ථිකය ස්ථාවරත්වයට පත් කරන්න අපි සමත් වී තිබෙනවා.

ආයෝජකයන් ලංකාවට පැමිණෙන්න විශ්වාසය අවශ්‍යයි. පහුගිය වසර පහක කාලය තුළ ආයෝජකයන් මේ රටට පැමිණ නැහැ. මේ වන විට ආයෝජකයන් වත්මන් ආණ්ඩුව සමඟ සාකච්ඡා කරමින් තිබෙනවා. ශ්‍රී ලංකාවේ විශාලතම ආයෝජනය වන හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය පිළිබඳ අප මේ වන විටත් සාකච්ඡා කරමින් තිබෙනවා. එය දැන් අවසන් අදියරේ තිබෙනවා. ඉන්දියානු අගමැතිවරයාගේ සහභාගිත්වයෙන් 05 වන දා සාම්පූර්වල විදුලි බලාගාරයකට මුල්ගල තියනවා. ආයෝජන එන්න පටන් අරන් තිබෙනවා. සියඹලාආණ්ඩුවේ මෙගාවොට් 100ක සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. මන්නාරමේ සුළං විදුලි බලාගාරයක් සඳහා ආයෝජන පැමිණ තිබෙනවා. කෙරවලපිටියේ නව ගබඩා පර්යන්තයක් ඉදි කිරීමට සැලසුම් කර තිබෙනවා. කොළඹ නගරයේ ආයෝජනයට සුදුසු ඉඩම් හඳුනාගෙන ඉතා නුදුරේම ඒවා ප්‍රසිද්ධියට පත් කරනවා ආයෝජකයන් සඳහා. ක්‍රමානුකූලව ආයෝජකයන් අපේ රට කෙරෙහි අවධානය යොමු කරන්න පටන් අරන් තිබෙනවා.

ආර්ථික අර්බුදයේදී, ආයෝජකයෝ කටුනායක ගුවන්තොටුපල සාදමින් සිටියා. එය අත්හැර ගියා. කටුනායක ව්‍යාපෘතිය තව මාස දෙකකින් අපි සකස් කර නිම කරනවා. කඩවත- මීරිගම අධිවේගී මාර්ගය සාදමින් සිටි ආයෝජකයෝ අතැර ගියා. එහෙත් නැවත එම අධිවේගී මාර්ගය ඉදිකිරීමට අප ආරම්භ කරනවා. අත්හැර ගිය ආයෝජන, අත්හැර ගිය ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ආණ්ඩුව සමත් වී තිබෙනවා. ඩොලරය රුපියල් 300 සීමාවේ ආරක්ෂා කර ගැනීමට වත්මන් ආණ්ඩුව සමත් වී තිබෙනවා. මීට පෙර ඩොලර්වල අගය රාත්‍රියේ නිදියන විට එක අගයක්, උදේ නැගිටින විට තවත් අගයක්. පොලි අනුපාතය එක ඉලක්කමක තබා ගෙන තිබෙනවා. කොටස් වෙළඳපොළ විශාල වර්ධනයක් ලබා තිබෙනවා. එය ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ සංඥාවක්. ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු ඩොලර් මිලියන 500කට වඩා ණය මුදලක් අප ගෙවා තිබෙනවා. එහෙත් ඩොලරයේ අගය කිසිදු අගයකින් වෙනස් වුණේ නැහැ. වසර පහකට හයකට වඩා වැඩි කාලයක් වාහන ආනයනය තහනම් කර තිබුණා. ක්‍රමානුකූලව වාහන වෙළඳපොළ විවෘත කර තිබෙනවා.