උණුසුම් පුවත්කාලීනතාක්ෂණයදේශපාලන

ජර්මන් පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් අගමැතිනි හරිනි හමුවෙයි

සුළං බලශක්තිය සහ පොදු ප්‍රවාහන සේවය විදුලි බලයට පරිවර්තනය කිරීම ‌කෙරෙහි වැඩි අවධානයක් යොමුවෙලා

ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර, විශේෂයෙන්ම වෙළඳ හා ආයෝජන, පුනර්ජනනීය බලශක්තිය, අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව, සමාජ සංවර්ධනය මෙන්ම කලාපීය සහයෝගීතාව යන ක්ෂේත්‍ර පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත ජර්මානු පාර්ලිමේන්තු නියෝජිත පිරිස සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ඊයේ (16)  අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේ මෙසේ සාකච්ඡාව සිදුවිය.
​දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල වර්ධනය ඇගයීමට ලක් කළ අග්‍රාමාත්‍යතුමිය,  ආර්ථික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමේ හැකියාව පෙන්වා දුන්නාය.
 ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා වෙළඳ හා ආයෝජන සමුළුව සහ ප්‍රදර්ශනය සඳහා සහභාගී වන ලෙස ජර්මානු ව්‍යාපාරිකයන්ට මෙහිදී ආරාධනාවක්ද  කළාය.
​ශ්‍රී ලංකාවේ බලශක්ති පරිවර්තනය සහ පුනර්ජනනීය බලශක්ති ඉලක්ක පිළිබඳව සාකච්ඡා කළ නියෝජිත පිරිස, බලශක්ති ගබඩා කිරීමේ පද්ධති, විදුලි බල පද්ධති නවීකරණය, සුළං බලශක්තිය සහ පොදු ප්‍රවාහන සේවය විදුලි බලයට පරිවර්තනය කිරීම යන කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළහ.
​දැනට ක්‍රියාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ කරුණු පැහැදිලි කළ අග්‍රාමාත්‍යවරිය, විශේෂයෙන්ම වෘත්තීය අධ්‍යාපනය ශක්තිමත් කිරීම සහ කනිෂ්ඨ ද්විතීයික මට්ටමේ සිටම වෘත්තීය පුහුණු අවස්ථා හඳුන්වාදීමට ගෙන ඇති පියවර පිළිබඳව කරුණු දක්වා සිටියාය. එහිදී ජර්මනියේ සාර්ථකව ක්‍රියාත්මක වන ද්විත්ව වෘත්තීය අධ්‍යාපන හා පුහුණු ක්‍රමය (Dual-track vocational education system) ශ්‍රී ලංකාවටද මහඟු ආදර්ශයක් කරගත හැකි බව ද පෙන්වා දුන්නාය.
​ස්ත්‍රී-පුරුෂ සමාජභාවය, සමාජ අන්තර්කරණය මෙන්ම කලාපීය ස්ථාවරත්වය සහ ජාත්‍යන්තර සහයෝගීතාව උදෙසා ශ්‍රී ලංකාවේ ප්‍රවේශයන් පිළිබඳවද දෙපාර්ශ්වය අතර මෙහිදී අදහස් හුවමාරු විය.