අලුත් ආර්ථික පනත ආර්ථික දේවදත්තලාගේ කීමට රැවටී සිදු කළ උගුල් ඇටවීමක් - ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම
ආර්ථිකය ගොඩගැනීමට බව කියමින් පනත් දෙකක් අද පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට ආණ්ඩුව සූදානම් වෙනවා. මේ පනත් කෙටුම්පත්වල බරපතළ දෝෂ ගණනාවක් තිබෙනවා. රටේ ආර්ථිකය සංවර්ධනය කරන්න පෞද්ගලික අංශයේ දායකත්වය විශාල වශයෙන් බලපානවා. නමුත් මේ පනත් විශ්ලේෂණය කර බැලුවාම පේන්නේ ආර්ථිකය සංවර්ධනය කළ නොහැකි වුණොත් එහි වගකීම පෞද්ගලික අංශයට පැවරීමට උත්සාහයක් තිබෙන බවයි. ස්වාධීන ආයතනයක් මගින් ආර්ථිකය නියාමනය කිරීම සඳහා ගොඩනැගීමට යන ආයතනය වෙනුවෙන් ආයෝජන මණ්ඩලය දෙකට කැඩීමේ සූදානමක් තිබෙනවා. මෙයින් පැහැදිලි වෙන්නේ නියාමනයේ වගකීම එක කොටසකට බාරදී අනිත් කොටස පෞද්ගලීකරණය කිරීමට සූදානම් වන බවයි. ස්වාධීන ආයතනයකින් නියාමනය කළ යුතු බව මෙම පනතේ එක් වගන්තියක සඳහන් වන අතර, සමාගම් පනත යටතේ ක්‍රියාකළ යුතු බව තව තැනක සඳහන් වෙනවා. ලබැඳියාවන් අතර ගැටුමක් හැම පැත්තේම දකින්නට ලැබෙනවා. එළියේ ඉඳලා බලන අපිට පේන්නේ ආර්ථික දේවදත්තලාගේ කීමට රැවටී උගුල් ඇටවීමට සූදානම් වන බවයි. පිහිටුවන පෞද්ගලික ආයතනවලින් තමන්ගේම හෙංචයියලාට වරදාන වරප්‍රසාද දීලා විදේශ ආයෝජකයන්ගේ ධෛර්යය නැති කරන්න උත්සාහ කරන්නේදැයි අපට සැකයක් මතු වෙනවා. පසුගිය කාලයේ විදේශ ආයෝජකයන්ගෙන් 10% - 20% වගේ ප්‍රමාණවලින් කොමිස් ඉල්ලීම දැන් නීතිගත කරන්න සූදානම් වෙනවාදැයි අපට සැක හිතෙනවා.
දේශීය ආයොජකයන්ට සහ විදේශීය ආයෝජකයන්ට සම තැනක් දෙන බව සඳහන් කර තිබුණත් නියාමනයේ මුවාවෙන් ඩීල් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන බව යෝජිත කෙටුම්පතෙන් අපට පෙනෙනවා. පවතින රාජ්‍ය යාන්ත්‍රණය කාලානුරූපව ප්‍රතිසංස්කරණය කරනවා වෙනුවට අලුතින් නීති පනවා විසඳුම් සොයන බවක් අපට පේනවා. විවිධ අංශවලට ලංකාවේ නීති පනවා ඇති ආකාරය දැක්කාම තවත් නීති ඕනෑද කියන ප්‍රශ්නය අපිට ඇති වෙනවා. අලුතින් අටවා ගැනීමට යන ස්වාධීන යැයි නම්කරන කොමිෂන් සභාවලටත් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ බලතල පැවරීමට සූදානමක් තිබෙන බවක් පැහැදිලි වෙනවා. මේ දක්වා පවතින ආයතනවලට පත්කළ දේශපාලන හෙංචයියන් නව ආයතනවලටත් පත්කර, පරණ ක්‍රියාමාර්ගම ගෙනයාමට සූදානම් වන අතර, ඉලක්ක සපුරා ගැනීමට 2050 දක්වා කාලයක් ලබාදී තිබෙනවා. දැනට ආයෝජන මණ්ඩලයවත් නිසි ආකාරයෙන් මෙහෙයවා ගැනීමට අසමත් ආණ්ඩුව නව ආයතන ව්‍යුහයක් පිහිටුවා ලහි ලහියේ නීති පැනවීම තුළින් දේශීය ආයෝජකයන්ට හෝ විදේශීය ආයෝජකයන්ට සෙතක් නොවන බව අපට පැහැදිලියි. ආයෝජකයන්ගේ නාමයෙන් සිටින ඔවුන්ගේ හෙංචයියන්ට ඩීල් දමා ගැනීමේ අවකාශය මේ තුළින් සකස් කර දෙන බවට බරපතළ සැක මතුවෙනවා. මේ පනත් කෙටුම්පත් තුළ පවතින පරස්පර විරෝධතා සහ සැක මුසු තැන් ගැන සලකා බැලුවාම අපට ඒ බව පැහැදිලියි.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම මුවාවෙන් ආණ්ඩුව අපව තවත් ණය උගුලක හිරකරමින් සිටිනවා
ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු
මේ වන විට රට හෙළා තිබෙන අර්බුද අතරේ ආර්ථිකය සම්බන්ධයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම විවාදයට තුඩු දී තිබෙනවා. ප්‍රශස්තකරණය යන නමින් සිදුකළේ විශ්‍රාම අරමුදල්වල පොලිය කපා හැරීම ඇතුළු සාමාජිකයන්ගේ ප්‍රතිලාභ අනතුරකට ලක්කිරීමයි. නමුත් විදේශීය ණය සම්බන්ධයෙන් මේ දක්වා ප්‍රතිව්‍යුහගත කිරීමක් කර ගැනීමට අසමත් වී සිටිනවා. විදේශ ණය ලබාදුන් පාර්ශ්වකරුවන් අතර ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය හිමියන් අවස්ථා දෙකකදී අපව මුණගැසී සාකච්ඡා කළා. අපි ඔවුන්ට පැහැදිලිව ප්‍රකාශ කළේ ණය ආපසු ගෙවීමේ හැකියාව වර්ධනය කරගෙන විද්‍යාත්මක ක්‍රමවේදයකට ඔවුන්ගේ මුදල් ආපසු ගෙවන බවයි. ඔවුන්ට තිබෙන සැකය වංචාවෙන් දූෂණයෙන් තොර, පාලනයක් ලංකාවේ මේ දක්වා නොතිබීම තුළ අපගේ ස්ථාවරය කෙතරම් දුරට ප්‍රායොගිකව කළ හැකිද යන්නයි. ණය හිමියන් සමග කේවල් කිරීමේදී ආණ්ඩුව නිසියාකාරයෙන් මැදිහත් නොවී විදේශීය උපදේශ සමාගම්වලට ඩොලර් මිලියන පහක් ගෙවා කිසිදු සාර්ථක ප්‍රතිඵලයක් අත්කර ගෙන නැහැ.
පළමු වටයේ සාකච්ඡාවලදී ආණ්ඩුව ඉදිරිපත් කළ යෝජනාවලිය ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් විසින් ප්‍රතික්ෂේප කළාසේම ඔවුන් ඉදිරිපත් කළ යෝජනාව ශ්‍රී ලංකා ආණ්ඩුවත් ප්‍රතික්ෂේප කළා. දැන් නව යෝජනාවලියක් සකස් කර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිරීක්ෂණය යටතේ ඉදිරියට ගෙනයාමේ උත්සාහයක් පවතිනවා. ඒ අතර ඉදිරියේදී බිහිවන මහජන පාලනයකට මුහුණ දිය යුතු වෙන ගැටලු කිහිපයක් තිබෙනවා. දැනට ඉදිරිපත් කර තිබෙන යෝජනාවලියේදී මතුපිටින් පෙන්වා තිබෙන්නේ හෙයාකට් වර්ගයේ ණය කපා හැරීම 28%ක් වන බවයි.