උණුසුම් පුවත්

ජාජබ නීතිඥයෝ

අවාසනාවකට අපේ කැබිනට් මණ්ඩලයට ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් කියවා තේරුම් ගැනීමට නොහැකි වී තිබෙනවා.

නීතීඥ හේමක සේනානායක මහතා කළ අදහස් දැක්වීම

මේ ප්‍රශ්නය ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සම්පූර්ණයෙන්ම විසඳා අවසන් කරන ලද ප්‍රශ්නයක්. එක තවදුරටත් ප්‍රශ්නයක් නොවෙයි. ගරු ශ්‍රේෂ්ඨාධිකරණය තමයි රටේ නීතිය අර්ථ නිරූපණය කරන අවසාන ස්ථානය. ජනාධිපතිවරයා හිතනවා මේ 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනැත් ඡන්දය කල්දමා ගැනීමේ හැකියාවක් එකෙන්වත් ලැබෙයිද කියලා. ඔහු මේ රටේ ජනතාවට යම්කිසි අවිනිශ්චිතභාවයක් ගෙන එනවා. ජනතාවටත් හිතෙනවා, “රනිල් වික්‍රමසිංහ ඡන්දෙ තියයිද,” කියලා. මේකට හේතුව වෙලා තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ පිළිබඳ තිබෙන කළු ඉතිහාසයයි. පළාත් සභා මැතිවරණය නැතිවෙලා තිබෙන්නේ 2015-2019 රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දරපු ආණ්ඩුවේ කරපු වික්‍රමයක් හේතුකොට ගෙනයි. පළාත් පාලන ආයතනවල ඡන්දය නැතිවෙලා තිබෙන්නේ සල්ලි නැතැයි කියා ලෝක බොරුවක් ගහලා, ඡන්දය නොතබා තිබීමේ වැඩපිළිවෙළ නිසයි. මේ නිසා රටේ ජනතාවට සාධාරණ බියක් මතුවෙලා තිබෙනවා, මේ අවස්ථාවෙත් මේ වංගුව ගහන්නේ ඒක නිසාද කියලා. මේ රටේ ජනතාව අවුරුදු පහද හයද කියන ප්‍රශ්නයක් හදාගත යුතු නැහැ. එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විසඳන ලද ප්‍රශ්නයක්.

අවාසනාවකට අපේ කැබිනට් මණ්ඩලයට ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් කියවා තේරුම් ගැනීමට නොහැකි වී තිබෙනවා. අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කරනවා, ජනාධිපතිවරණය අවසන් වනතුරු මෙවැන්නක් ගෙන එන්නේ නැහැ කියලා. එහෙම කියලා පැය 24ක් යන්නට කලින් රනිල් වික්‍රමසිංහ ඔහුගේ ලේකම්වරයා හරහා මේ ගැසට් පත්‍රය ඉදිරිපත් කරනවා. මෙතනදි බරපතළ ප්‍රශ්න දෙකක් ඇති වෙනවා. ආණ්ඩුවේ ඇමති මණ්ඩලයේ, කැබිනට් මණ්ඩලයේ තිබෙන සාමූහිකත්වය, හරියට එළ හරකයි මීහරකයි එකතුවෙලා කුඹුරක් මඬින්නට යනවා වගේ වැඩක්. එක්කෙනෙක් එක පැත්තකට අදිනවා, තව කෙනක් තව පැත්තකට අදිනවා. රටේ ජනතාව තේරුම් ගත යුතුයි මෙවැනි අවිනිශ්චිත, යමක් තේරුම් ගැනීමට බැරි, යමක් කරගන්නට බැරි කැබිනට් මණ්ඩලයක් එක්ක මේ රට ඉදිරියට යන්නට බැරි බව. මෙය බරපතළ ඛේදවාචකයක්. මේ අය මේ සෙල්ලම් කරන්නේ රටක් එක්ක, රටේ මිනිසුන් එක්ක. අපි ඉතිහාසය විමසා බැලුවාම මහර අතුරු අතුරු මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂය හැසිරුණේ කොහොමද කියන එක අපි දන්නවා.

පළාත් සභා ආණ්ඩුකාරවරයා යටතේ පවත්වාගෙන ගියත්, පළාත් පාලන ආයතන කොමසාරිස්වරු යටතේ පවත්වාගෙන ගියත්, 2024 නොවැම්බර් මාසෙ 17වැනිදා රෑ 12.00ට රනිල් වික්‍රමසිංහගේ විධායක ජනාධිපති ධුරය අවසන්. 18 දා උදේ මේ රටේ ජනාධිපතිවරයෙක් නැහැ. අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් නැහැ. ලේකම්වරු නැහැ. ආණ්ඩුවක් දුවන්න බැහැ. ත්‍රිවිධ හමුදාවකට අණ දෙන්න පුද්ගලයෙක් නැහැ. මේ තත්වයක් යටතේ රට දුවන්න බැහැ. මේක රනිල් වික්‍රමසිංහ පිරිස දන්නවා. ඒ දැන දැනත් රටේ ජනතාවට විචිකිච්ඡාවක් ඇති කරනවා, රනිල් වංගුවක් ගහයිද කියලා. රනිල් වික්‍රමසිංහ කියන්නේ ගේම්කාරයෙක් නෙමෙයි.

මේ ඡන්දය තියන්නම වෙනවා. ගාල්ලේ අධිකරණය විවෘත කරන වෙලාවෙදි ජනාධිපතිවරයා කියනවා, “මම ජාතියෙන් සමාව ඉල්ලා සිටිනවා, ඔහු ඒ පිළිබඳව පළපුරුද්දක් නැති එක්කෙනෙක්, මම සාමාන්‍යයෙන් මේවා දෙන්නේ චොක්සි ඇමතිවරයාට. ඔහු නැති නිසා ජයම්පතිට දුන්නේ. නමුත් මේ වගේ තත්වයක් ඇති වුණා” කියලා. ජයම්පති වික්‍රමරත්න මහතාව තෝරා ගත්තේ කවුද? අපිද? ඔහු පවසන අන්දමට ඔහු පත්කළේ නුසුදුස්සෙක් නම්, වගකීම ඔහු ගත යුතුයි. මේ සෙල්ලම් කරන්නේ රටක් සමග. රටේ ජනතාව සමග. මොවුන්ට තවදුරටට සෙල්ලම් කරන්න දෙන්න බැහැ. තවදුරටත් මේවා රැවටෙන්න අවශ්‍ය නැහැ. මම ආයාචනා කරනවා, රටේ ජනතාවට ජනාධිපතිවරණයට සූදානම් වෙන්න කියලා.

නීතිඥ අකලංක උක්වත්ත නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර හා සුනිල් ආර්. වටගල යන මහත්වරු ද අදහස් දැක්වූහ