උණුසුම් පුවත්

ජාතික ජන බලවේගයේ ලන්ඩන් ජන හමුව 2024.06.15

ජාතික ජන බලවේගය ජාතිවාදය වෙනුවට ජාතික සමගියේ නව දේශපාලනයක් ස්ථාපිත  කරනවා - අනුර කුමාර

ඔබ මේ අවස්ථාවට සහභාගී වී තිබෙන්නේ, අප කෙරෙහි විශ්වාසයකින්. ඔබ අප කෙරෙහි තබන විශ්වාසය, බිඳුවකින් හෝ බිඳ නොදමන බවට අපි ඔබට සහතික වෙනවා. ඔබ අප වෙනුවෙන් පෙනී සිටිනවා නම් ඔබගේ ගෞරවය ආරක්ෂා කරන්න අපි බැඳී සිටිනවා. ඔබ, අපි කාටත් තිබෙන්නේ සාමූහික වුවමනාවක්. පාලනයේ වෙනසක් කිරීම වෙනුවෙන් ඔබ පෙනී සිටිනවා. ඔබ සහ අපි යනු  එක අරමුණක ගමන් කරන සාමූහික මිනිස් ප්‍රජාවක්. ඔබේ සිත තුළ මේ රට වෙනස් කිරීම සඳහා තිබෙන වුවමනාවම ඒ හා සමානව තේරුම් ගත් අය අපයි.

මෑත ලෝක ඉතිහාසයේ 2022 ප්‍රබලතම ජනතා නැගිටීම සිදුවුණා. ස්වේච්ඡාවෙන් ජනතාව පාරට බහින්න පටන් ගත්තා. තරුණ තරුණියන් මාස ගණන් පාලකයාට එරෙහිව සටන් කළා. විදෙස්ගතව සිටි ඔබ ඒ වෙනුවෙන් ආධාර කළා. ජයග්‍රහණය ප්‍රාර්ථනා කළා. ගෝඨාභය ගෙදර ගියා. සටනේ අවසානයේ බාග කොටසක් ඉතිරිවී තිබෙනවා. අපේ ස්ථාවරය වුණේ පාර්ලිමේන්තුවත් විසුරුවා හැරිය යුතුයි කියන එකයි. ජනතාවගේ විරෝධතාවය නිසා ගෝඨාභය ගෙදර යනවා. ලෝක ඉතිහාසයේ කවරදාවත් සිදු නොවුණු ලෙස ගෝඨාභය පළවා හරින්න ආ ජනවරමින්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙනවා. අද අපේ රටේ පාලනය යනු විකෘතිමය පාලන බලයක්. එදා ලක්ෂ ගණන් ජනතාව පාලකයාට විරුද්ධව නැගිට්ටා. එය සාර්ථක ජයග්‍රහණයකින් කෙළවර කර ගන්න නොහැකි වී තිබෙනවා. නමුත් දැන් අවස්ථාව උදාවෙලා තිබෙනවා. අද ජනතාව ඡන්ද අවස්ථාව උදාවෙන තෙක් සියලු දුක් වේදනාවන් ඉවසාගෙන ඉන්නවා. රනිල් වික්‍රමසිංහ හෝ ඔහුගේ කල්ලියේ කවරෙක් හෝ ඡන්ද නොතියා බලයේ ඉන්න සූදානම් වෙනවා නම්, ලෝක ඉතිහාසයේ සිදුවන විශාලම ජනතා නැගිටීම වළක්වන්න රනිල් වික්‍රමසිංහට පුළුවන්කමක් වෙන්නේ නැහැ. පාලකයා ඡන්දෙ පිළිබඳ දෙගිඩියාවකට පත්ව තිබෙන්නේ අන් කවරක්වත් නිසා නොවෙයි, ඉතිහාසයේ මෙතෙක් බලය මාරු වුණු ආකාරය වෙනස් වෙමින් පොදු ජනතාවගේ ව්‍යාපාරයක් වන ජාතික ජන බලවේගයට බලය මාරු වෙමින් තිබෙන නිසයි.

එකතු විය හැකි සියල්ලෝම දැන් එකට එකතු වෙමින් තිබෙනවා. කප් දෙකක තිබෙන පෘට් සැලඩ් එක කප් එකකට දාන්න සාකච්ඡාවක් කළා. මීට සතියකට පෙර කබීර් හෂීම්ගෙ ගෙදර රාජිත සේනාරත්න ස.ජ.බෙ.මන්ත්‍රීවරු පහළොස් දෙනෙක් සමග සාකච්ඡාවක් කළා. දෙකට බෙදිලා ඉල්ලුවොත් එන්.පී.පී.එක දිනනවා. ඒක අනතුරක්ලු. මෝදර ධීවර වරාය අවුරුදු 25කට බදු දෙනවා. බදු දුන්නේ රජයේ ඇස්තමේන්තු මුදලට වඩා අඩු මුදලකටයි. පරීක්ෂණ වාර්තා සියල්ල තිබෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ. පරීක්ෂණ කරලත් තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ නඩු වාර්තාත් තිබෙනවා. ඒ නිසා මේ ජනතා පෙරළිය රාජිතට අනතුරුදායක බව ඇත්ත. දූෂිතයන්ට, අපරාධකරුවන්ට එන්.පී.පී.ය බලයට පැමිණීම අනතුරක්. ඒ නිසා රහස් සාකච්ඡාවක් දියත් වෙලා තිබෙනවා. මේ පාර්ශ්ව දෙක දෙකක් හැටියට ඉදිරිපත්වීම භයානකයි, ඒ නිසා එකට එකතු වෙන්න සාකච්ඡා දියත් වෙලා තිබෙනවා.

මහා ගංවතුරක් ගැලුවාම නයි මුගටි සියලුම දෙනා ගංවතුරේ ගහගෙන යනවා. කොට කැබැල්ලක් හමුවුණාම නයයි, මුගටියයි එක කොටයට නගිනවා. රනිල්, මහින්ද එක කොට කෑල්ලෙ නැගලා ඉන්නේ. මේ සැඩ පහර මොකක්ද, ජාතික ජන බලවේගයත් එක්ක එකතු වුණු මහා ජන පෙළගැස්මක් තිබෙනවා. ඒ ගොල්ලන් සියලුදෙනාටම එක වේදිකාවකට ගොඩනගින්න බලකර තිබෙනවා. ලංකා ඉතිහාසයේ සියලු ජනාධිපතිවරුන් එකට නගින වේදිකාවක් අපට හමුවෙනවා. චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී, ගෝඨාභය, රනිල් ඉදිරි ජනාධිපතිවරණයේදී අපට එක වේදිකාවක දකින්න පුළුවන්. මොවුන් 1994 සිට 2024දක්වා අවුරුදු 30ක් බෙදී සිටි කණ්ඩායම්; එකිනෙකාට එරෙහිව අවි අමෝරාගෙන සිටි කණ්ඩායම්; නමුත් අද එකම වේදිකාවට ගොඩවදින්න සිදුවී තිබෙනවා. ඒගොල්ලන්ගේ බලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගත හැකි සියලුම පන්නයේ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. මාධ්‍ය නාලිකාවල හැසිරීම් සාමාන්‍ය කාල පරිච්ඡේදයකට වඩා එහා ගිහින් තිබෙනවා. පත්තරේ කියවන විට පත්තරේ තියෙන ඒවාට වඩා වැඩියෙන් කියවන ඒවා වැඩිවෙලා. තව තවත් ජනතාවගේ විශ්වාසය, බැඳීම තහවුරු කර ගැනීම තමයි ජයග්‍රහණය සඳහා අපට තිබෙන එකම මාවත. එක්සත් රාජධානියේ වෙසෙන දහස් සංඛ්‍යාත ජනතාවක් මේ හමුවට පැමිණීමෙන් කියාපාන්නේ, ඒ බැඳීම, විශ්වාසය ජාතික ජන බලවේගයට ලබාදීමට සූදානම් බවයි. අපි ආවේ ඒ සඳහා මැදිහත් වෙමු කියා, ඔබට ආරාධනා කරන්න.

අපේ රටට සිදුවී තිබෙන්නේ මොකක්ද? ආර්ථික වශයෙන් බංකොලොත් වූ, විශාල අපරාධවලින් ගහණ වූ, නීතියේ විධානයේ ආධිපත්‍යය මුළුමනින්ම කඩා වැටුණු, සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සැකය, අවිශ්වාසය, ක්‍රෝධය වර්ධනය වූ, පතුලේම සිටින ජනතාවට නිසි ආහාර සපයා ගන්න බැරි, ඉස්පිරිතාලේ බෙහෙත් පෙත්තක් නැති, තරුණයන්ගේ අනාගතය මුළුමනින්ම විනාශයට භාජනය කරන ලද, අධ්‍යාපනය කඩා වට්ටන ලද, මත්ද්‍රව්‍ය අපරාධවලින් ගහණ වූ රටක් අප ඉදිරියේ නිර්මාණය වෙලා තිබෙනවා. අපේ රටේ පුරවැසියන් සහ මාතෘ භූමිය විඳින ඛේදවාචකය අපේ පපුවට දැනෙනවා  නම්, අපේ පුරවැසියන්ගේ වේදනාව අපේ කණට ඇහෙනවා නම්, හදවතක් තිබෙන පුද්ගලයෙක් නම් අපි කිසිවෙකුටත් මේ තත්වය හමුවේ අහක බලාගෙන ඉන්න යුක්තිසහගත අයිතියක් නැහැ. අපි හැමදෙනාම කළ හැකි සෑම දෙයක්ම කරමින් මේ පරිවර්තනය අත්පත් කර ගැනීමේ නියමු කාර්යභාරයේ කොටස්කරුවන් බවට පත්විය යුතුයි.  ඒ වෙනුවෙන් ඔබට ආරාධනා කරනවා.

අපේ මාතෘ භූමිය හදන්න ඕනෑ. අපේ රටේ පැරණි, අසාර්ථක දේශපාලන ගමන් මඟ වෙනස් කරන්න ඕනෑ. මේ අර්බුදය නිර්මාණය කළේ දේශපාලනය විසින්. මේ අර්බුදයෙන් ගොඩඒමේ පළමු පියවර වන්නේ දේශපාලන පරිවර්තනය කිරීමයි. එක්සත් රාජධානියේ කවුරු හෝ කල්පනා කරනවා නම්, පාසලකට යම් උදව්වක් කර, අධ්‍යාපන ප්‍රශ්නය විසඳන්න පුළුවන් කියා, එහෙම විසඳෙන්නේ නැහැ. එහෙත් ඔබ ළමයි කිහිපදෙනෙකුට හරි උදව් කරන්න. ඒකත් වටිනවා. ඔබ හිතනවා නම් එකට එකතු වෙලා නිවසක් නැති කෙනෙකුට නිවසක් හදලා උදව් කරන්න. හැබැයි ඒකෙන් ලංකාවේ නිවාස ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඔබේ හිතවතෙුකට, ඥාතියෙකුට බෙහෙත් ටිකක් ඔහු සුවකර ගන්න යවන්න. නමුත් ඒකෙන් ලංකාවේ සෞඛ්‍ය ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. මේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ඔබ, අපි කැමති වුණත් අකමැති වුණත් අනිවාර්ය කාර්යභාරය තමයි අපේ රටේ මේ දේශපාලන ගමන් මඟ වෙනස් කළ යුතුයි. ඉදිරියේ එන ජනාධිපතිවරණය තීරණාත්මක සන්ධිස්ථානය බවට පත්කර ගනිමු. මෙතෙක් ගලාගෙන ගිය දේශපාලන ගමන් මඟ වෙනස් කිරීමට ස්ථිර අධිෂ්ඨානයකින් යුතුව කටයුතු කරමු. ඡන්දෙ බොහෝ දුරට සැප්තැම්බර් 28 නැතිනම් ඔක්තෝබර් 05 පැවැත්වේවි. මේ දේශපාලන වෙනස අපි කරමු. එහිදී අපට පැවරෙන වැඩ කොටස අපි කරමු.

අපේ රටේ මුළු දේශපාලන ඉතිහාසයම ගොඩනැගී තිබෙන්නේ අනෙකාට එරෙහි දේශපාලනයක් ලෙසයි. දකුණේ සිංහල ඡන්ද ගන්න ඒ ව්‍යාපාර වැඩ කරන්නේ අනෙකාට එරෙහිව. 2005 නම් උතුරට එරෙහිව. 2010 නම් දෙමළාට එරෙහිව. 2019 නම් මුස්ලිම් ජනතාවට එරෙහිව. ආණ්ඩු හැදුවේ එහෙම. දකුණේ පක්ෂ උතුරට එරෙහිවත්, උතුරේ පක්ෂ දකුණට එරෙහිවත් ගොඩනගනවා. නැගෙනහිර පක්ෂ දකුණට එරෙහිව ගොඩනඟනවා. එක්සත් රාජධානියේ ජීවත් වෙන ඔබ අනෙකාට එරෙහි දේශපාලනයක් දකිනවාද? අනෙකාට එරෙහි දේශපාලනය ගොඩනැගීම විසින් ඇති තරම් යුද්ධ, ගැටුම් නිර්මාණය කළා. ලංකා පොළොව තෙත්වන තරම් ලේ ගලාගෙන ගියා. ගංගා පිරෙන තරම් උතුරේත්, දකුණේත් අම්මා තාත්තගේ කඳුළු ගලාගෙන ගියා. මේ එකිනෙකාට එරෙහි දේශපාලනය අපේ රට අඟලක් හෝ ඉදිරියට ගෙනයන්නේ නැහැ. හිතාමතා අසීරුවෙන් හෝ ඉදිරියට ගත යුතු වන්නේ ජාතික සමගියේ දේශපාලනයයි. ජාතික ජන බලවේගය නියෝජනය කරන්නේ ජාතික සමගියේ දේශපාලනයයි. අපි එය ජයග්‍රහණය කළ යුතුයි.

1948 අපි නිදහස ලබා ගත්තා. 1947 ඉන්දියාව නිදහස ලබා ගත්තා. විශාල රටක් වුණු ඉන්දියාවේ විවිධ භාෂාවන් කතා කරන, විවිධ ආගම් අදහන, ප්‍රාදේශීය බෙදී තිබුණු රාජ්‍යයක්. ඉන්දියාවේ ජාතික නායකයන් ජනතාව එක කොඩියක් යටතට ගේන්න උත්සාහ ගත්තා. එහි ප්‍රතිඵලයක් හැටියට අබ්දුල් කලාම් වැනි අයෙක් ජනාධිපතිවරයෙක් වෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට මනමෝහන් සිං වැනි කෙනෙක් අග්‍රාමාත්‍යවරයෙක් වෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට කුල හීන යැයි සම්මත කාන්තාවක් ඉන්දියාවේ ජනාධිපති ධුරය හොබවනවා. එක්සත්  රාජධානියේ යටත් විජිතයක්ව තිබූ කාලයේත් 1948න් පසුවත් අපේ රටේ තිබුණේ බෙදීමේ දේශපාලනයක්. ඒකෙන් අපට ලැබුණේ මොකක්ද? අවුරුදු 30 යුද්ධයක් පැවතුණා. දස දහස් ගණන් මිනිස්සු මිය ගියා. පාස්කු ප්‍රහාරය සිදුවෙනවා. ඒ බෙදීමේ දේශපාලනයයි. අපි ශ්‍රී ලංකවේ නව දේශපාලනයක් ඇති කරනවා. ජාතිවාදය වෙනුවට ජාතික සමගියේ කොඩිය ගෙන නව දේශපාලනයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත  කරනවා.

ඒ වගේම අපේ රටේ දේශපාලනය කුඩා පවුල් කිහිපයක් අත කේන්ද්‍රගත වී තිබෙනවා. බණ්ඩාරනායකලා, ජයවර්ධනලා, වික්‍රමසිංහලා, රාජපක්ෂලා, සේනානායකලා.  රටේ පාලනයේ සුක්කානම පවුල් කිහිපයක් අත රැඳුණා. ප්‍රාදේශීය දේශපාලනය, දිස්ත්‍රික් දේශපාලනය පවුල් කිහිපයක් අත ගොඩනැගී තිබෙනවා. සජිත් ප්‍රේමදාස පක්ෂයක නායකයෙක් බවට පත්වෙන්න එකම සාධකය වෙන්නේ ජනාධිපතිගේ පුතෙක් වීම පමණයි. ඉහළ දේශපාලනයත්, පහළ දේශපාලනයක් පවුල් කිහිපයක් අත කේන්ද්‍රගත වෙලා තිබෙනවා. අපේ දේශපාලනයට අලුත් ජාන ඇතුල් කරන්න ඕනෑ. නාමල් රාජපක්ෂ මෑතකදී කිවුවා, එයාලාගේ පවුලේ දේශපාලන ඉතිහාසෙට අවුරුදු 98ක් වෙන බව. නව තරුණ පරම්පරාවන් අතට, අලුත් අදහස්වලින් පෝෂණය වෙන මිනිසුන් අතට අපේ රටේ දේශපාලනය හැසිරවීමේ සුක්කානම බාර දිය යුතුයි. මේ රාජ්‍ය බලයේ සුක්කානම ජාතික ජන බලවේගයේ අපි ගන්නේ, පරම්පරාවන් මේකෙ වාඩිකරවීම සඳහා නොවෙයි. අපිට ඉතා කෙටි පරිච්ඡේදයක් තිබෙන්නේ. ඒ ගොල්ලන් අත තිබෙන බැට්න් එක අපි අරගෙන අලුත් පරම්පරාවකට බාර දීම තමයි ජාතික ජන බලවේගයේ අපට පැවරී තිබෙන වගකීම. අපි ඉසඩ් පරම්පරාවේ, ඇල්ෆා පරම්පරාවේ දරුවෝ වන අපේ දැනුම, ආකල්ප, සිතුම් පැතුම් ටිකක් පැරණියි. නූතන තරුණයා වෙනස්. හැබැයි නූතන තාරුණ්‍යයේ අරමුණු අපේ රටේ දේශපාලන බල අධිකාරිය හා සමපාත වෙන්නේ නැහැ. මේ ගෝත්‍රික පන්නයේ දේශපාලන අධිකාරිය නව තාරුණ්‍යයට අවශ්‍ය වෙන ඉඩකඩ අවස්ථා නිර්මාණය කරන්නේ නැහැ. තාරුණ්‍යයේ සිතුම් පැතුම් තේරුම් ගත හැකි පාලකයන් සිටියා නම් ඒ තාරුණ්‍යයට ගොඩනැගෙන ශ්‍රම වෙළඳපොළ අත්පත් කර ගැනීමට අවශ්‍ය සැලැස්මක් හදනවා. රටක් ලෙස අප නව ලෝකයත් එක්ක බද්ද වෙන්න අසමත් වුණා.

අපේ රටේ නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කරන රාජ්‍යයක් අවශ්‍යයි. ඔබ වීසා කාලය අවසන් වෙනකොට කොතරම් හිතනවාද? නමුත් ඔබ දන්නවා ඩයනා පුරවැසිභාවය නැතිව, වීසා කාලය ඉක්මවා තිබියෙදී පාර්ලිමේන්තුව නියෝජනය කරමින් රාජ්‍ය අමාත්‍ය ධුරයක් පවා දැරුවා. එසේ වෙන්නේ නීතිය දේශපාලන අධිකාරියට යටත් නිසා. ඩයනාට පුරවැසිභාවය නැති බව පළමුව ඩයනා දන්නවා. දෙවනුව දන්නේ රනිල්. තමන්ට හිමි නැති වරප්‍රසාද භුක්ති විඳිනවා දැන දැනම. එය සරල නැහැ. ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යවරයා එයාර් පෝර්ට් එකේදි පුද්ගලයෙකුට පහර දෙනවා. නීතිය ක්‍රියාත්මක නැහැ. මුළු පාලනයම අපරාධකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ ශ්‍රී ලංකාවක් තිබෙන්නේ. මහා මූල්‍ය අපරාධකරුවන්, මිනිස් ඝාතනයන්ට සම්බන්ධ වූවන් රට පාලනය කරනවා. නූරි වත්තේ වතු අධිකාරීවරයා ඝාතනයේ නඩුවෙන් 13 දෙනෙකුට මරණ දඬුවම හිමි වුණා. හෝකන්දර පවුලේ පස්දෙනෙකු ඝාතනයේ පරීක්ෂණවලින් පසුව නඩුවෙන් ඒ අයට මරණ දඬවම හිමි වුණා. නමුත් ලසන්ත ඝාතනය, තාජුඩීන් ඝාතනය, එක්නැලිගොඩ පැහැර ගැනීම, කිත් නොයාර්, උපාලි තෙන්නකෝන්, පෝද්දල ජයන්තට පහරදීම් පරීක්ෂණ අදටත් නැහැ. ආන්දෝලනයට තුඩු දුන් හැම අපරාධයක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා ගත්තා. සොයා ගත නොහැකි වුණු අපරාධයකම, ඝාතනයකම පිටුපස දේශපාලනය තිබෙනවා. අපේ රටේ නීතියේ විධානයේ ආධිපත්‍ය යළි තහවුරු කරන, සදාචාර සම්පන්න නීතිගරුක රාජ්‍යයක් අපි විසින් නිර්මාණය කරන්න ඕනෑ.

අපට තිබෙන්නේ කඩා වැටුණු ආර්ථිකයක්. අපි විසිවැනි සියවස අත්හැර ගත් ජාතියක්. මිනිස් ශිෂ්ටාචාරයේ වැදගත්ම සියවස තමයි විසිවැනි සියවස. තාක්ෂණයේ මහා පරිවර්තනයන් සිදුවුණු සියවස. මහා සොයාගැනීම්වල පරිවර්තනයන් සිදුවුණු සියවස. අපි ජාතියක් ලෙස මහා තාක්ෂණයේ, සන්නිවේදනයේ පරිවර්තනයන් ශ්‍රී ලංකා රාජ්‍යය වෙත කැඳවාගෙන ආර්ථිකය නව පිම්මකට ගෙන ඒමට අසමත් වුණා. අපට පුරාණ ප්‍රෞඪ ඉතිහාසයක් තිබුණා. ඉතා දියුණු වාරි තාක්ෂණය, ගෘහ නිර්මාණ ශිල්පය, සීගිරියෙන් නගර නිර්මාණ සැලසුම් ශිල්පය, මිහින්තලයෙන් වෛද්‍ය සැත්කම් කළ බවට හෙළි වන කතුරු හමුවෙනවා. එවැනි ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියූ අපි අද ලෝකයේ දුප්පත්ම රාජ්‍යයන් අතරට වැටී තිබෙනවා. ප්‍රෞඪ ඉතිහාසය නූතනත්වයට ගලපගන්න තිබුණා. අවුරුදු 76ක කාලයේ පාලකයන්ට දැක්මක් තිබුණේ නැහැ. විෂම ආර්ථික චක්‍රයක අපි හිරවුණා. මේ චක්‍රයෙන් අපි ගැලවෙන්න ඕනෑ.