උණුසුම් පුවත්දේශපාලන

ජාතික නිදහස් පෙරමුණේ කන්ද උඩරට සඟ සමුළුව

නව නිදහස් අරගලය අපේ අතින් අවසන් කරමු. ඒ අදිටන හදවතේ ගැඹුරින් සටහන් කර ගනිමු - ජාතික භික්ෂු පෙරමුණේ ප්රධාන ලේකම් ශාස්ත්රපති පණ්ඩිත පූජ්ය වකමුල්ලේ උදිත හිමි

අපි දේශපාලන, ආර්ථික, සමාජමය, සංස්කෘතික වශයෙන් අපේ රට වනසලා. ඒ වැනසීමේ වේදනාව ශ්‍රී ලංකාව පුරාම ජාති, ආගම්, කුල භේදයකින් තොරව අපට සෑම තැනින්ම ඇහෙනවා. හාමුදුරුවරු කියනවා අපේ අට පිරිකරටත් බදු ගහලා. පාත්තරේටත් වැට් ගහලා. පොඩි ස්වාමීන් වහන්සේලාට අධ්‍යාපනය ලබාදෙන්න අමාරුයි කියනවා. අනුන්ගේ දානයෙන් යැපෙන අපටත් ජීවත් වීම අමාරුවෙලා තිබෙනවා. විදුලි බිල, ජල බිල, ගෙවන්න, බෙහෙත් ටික ගන්න, ඉස්ලාම්, කතෝලික, හින්දු ඔවුන්ගේ ආගමික මධ්‍යස්ථාන පල්ලි, කෝවිල් පවත්වාගෙන යන්න අමාරුයි. ඒ වගේම තමයි රටේ සියලුම දෙනාම වසර 133ක සුද්දාගේ පාලනයත්, වසර 76ක කළු සුද්දාගේ පාලනය යටතේත් කරන ලද විනාශය තමයි අපට හැම තැනින්ම ඇහෙන්න තිබෙන්නේ.

කාටද අපි බණ කියලා තිබෙන්නේ. කරඬුව ඔලුවෙ තියලා ගෙනාව පාලකයෝ රට හැදුවාද? මෙවැනි විනාශකාරී තත්වයකට ඇද දමා තිබෙන රට ගොඩනැගීමට වාරියපොල හිමියන්ගේ ශක්තිය, ධෛර්යය, අධිෂ්ඨානය, කැපකිරීම අපට නැගීසිටීමට උකහා ගැනීමට අපි මේ කන්ද උඩරට මහ සඟ සමුළුව පවත්වනවා. එදාට වඩා අද දහස් ගුණයකින් වැදගත්. “ජාතික පුනරුදයට මග කියන කන්ද උඩරට මහ සඟ සමුළුව” මේක තමයි අපේ තේමා පාඨය. මේ සැමට නායකත්වය දීම සඳහා මඟ පෙන්වීම සඳහා මේ සැම දෙනා පෙළගස්වා ගන්න මේ තේරී පත්වුණු සියලු දෙනා සුවිශාල මෙහෙයක් ඉටුකරාවි. දැල්වූ බලාපොරොත්තුවෙන් අපේක්ෂා සහගත චේතනාවෙන් මේ ඓතිහාසික දිනය නූතන තත්වයට යටතේ නැවත වතාවක් ඓතිහාසික දිනයක් බවට පත්කළා. ඒ වෙනුවෙන් අපි ශීර්ෂ ප්‍රණාමය ඔබ වහන්සේලාට පුද කරනවා. මේ සමුළුව සංවිධානය කරන්න අපි විශාල සාකච්ඡා ප්‍රමාණයක් මැතිවරණ ආසනවල කළා. පන්සලෙන් පන්සලට ගියා. 1100ක් වුණු පන්සල්වලින් 800කට ආසන්න පන්සල් ප්‍රමාණයකට ආරාධනා පත්‍ර අගෙන වැඩම කළා. ආරාම 60කින් මෙහෙණින්නාන්සේලා 219ක් මෙතන වැඩ සිටිනවා. මෙහෙණින් වහන්සේලාගේ ආරාමවලට ගොස් මුහුණට මුහුණ සාකච්ඡා කළා. සංවාදයක යෙදුණා. මල්වතු මහා විහාරයේ මහානායක හිමියන් බැහැ දකින්න පෙබරවාරි 14දා වැඩම කළා. අස්ගිරි මහා විහාරයේ මහානායක හාමුදුරුවන්, අනුනායක හාමුදුරුවන්, ලේඛකාධිකාරී හාමුදුරුවන් වහන්සේ සහ නියෝජ්‍ය ලේඛකාධිකාරී හාමුදුරුවන් වහන්සේ හතර නමම, කාරක සංඝ සභාව වෙනුවෙන් අපට අවස්ථාව ලබා දුන්නා. අපි මුණ ගැසී සාකච්ඡා කළා. අපි කරන්න සූදානම් වෙන්නේ මොකක්ද? අපේ සංඝ මූලස්ථාන ඇතුළු කොට ඇති “ජාතික පුනරුදයට පෙරමග කියන මහා සංඝ රත්නය කළ යුත්තේ කුමක්ද?” කියන එක ගැන අදහස් හුවමාරු කර ගත්තා. උන්වහන්සේලා ඉතාමත් ආශීර්වාදාත්මක සතුටු සහගත සිතින් සුබ පැතුවා. “ඔබ වහන්සේලා තමයි මේ වෙලාවේ මේ රට ජාතික පුනරුදයක් කරා ගෙන යන කාර්යයට නිසි නායකත්වය, අනුශාසකත්වය, මග පෙන්වීම කරන්න ඕනෙ” යනුවෙන් ආශීර්වාද කළා.
එකම ක්‍රියාත්මක භික්ෂු සංවිධානයයි රටේ තිබෙන්නේ. ඒ ‘ජාතික භික්ෂු පෙරමුණ’. අද එය මුළු භික්ෂූන් වහන්සේම බල ගන්වමින් රට පුරා යනවා. අපි පවත්වන පස්වෙනි සමුළුව. එළඹෙන 09වැනිදා බදුලු දිසා සමුළුව, 10දා කළුතර දිසා සමුළුව, මාර්තු 29 පොළොන්නරු දිසා සමුළුව, 30දා ගම්පහ දිසා සමුළුව 31 හම්බන්තොට දිස්ත්‍රික් සමුළුව, අප්‍රේල් මාසේ අනුරාධපුර සමුළුව, මැයි අම්පාර සමුළුව පවත්වනවා. මුළු රටේම ජාතික භික්ෂු පෙරමුණ යටතේ භික්ෂුන් වහන්සේලා එක පෙරමුණකට එක බලවේගයක් ලෙස බල ගන්වමින් යනවා. ඒ “ජාතික පුනරුදයකට පෙරමග කියන්න”. අද ගොවි ජනතාව, කම්කරු ජනතාව, කාන්තා බලවේගය, ව්‍යාපාරිකයන්, බැංකු ක්ෂේත්‍රයේ අය, බලවේගයන් ලෙස ගොඩනැගෙනවා. වාරියපොල සුමංගල හිමි ආරම්භ කළ නිදහස් අරගලය නිමා වුණේ නැහැ. මෙදා යුගයේ එය අපේ අතින් නිමා කරන්න සිදුවී තිබෙනවා.

නව පන්නයේ ජාතික නිදහස් අරගලයට අපි පෙරමග කියන්නේ ජාතික ජන බලවේගයටයි. මේ නිදහස් අරගලය ජයග්‍රහණය කළ හැක්කේ අනුර දිසානායක නායකත්වය දෙන ජාතික ජන බලවේගයට පමණයි. අපි හැමෝටම තිබෙන්නේ එකම අරමුණක්. 76 වසරක් හප කරපු මේ දේශය නව ජාතික නිදහස් අරගලයක් තුළින් ජයග්‍රහණය කොට සකලාකාරයෙන් විනාශ කළ දේශය පුනරුදයකට ගෙන යාම අපි හැමෝගෙම වගකීමක්. අපි අනාගතයේදී සියලුම ආගමික නායකයන්ගෙන් සමන්විත ආගමික සමුළු පවත්වමු. සියලු ඥානයන්ගෙන් පෝෂණය වෙලා තමයි ජාතික පුනරුදයට යන්න ඕනවෙලා තිබෙන්නේ. ජාතික ජන බලවේගය වටා ඒකරාශී වෙලා තිබෙන සියලු බලවේගත්, අපි, ඔබ වහන්සේලාත් ඒකරාශී වෙලා මේ නිදහස් අරගලය අපේ අතින් අවසන් කරනවා කියන අධිෂ්ඨානය අපේ හදවතේ ගැඹුරින් සටහන් කරගනිමු. මේ සමාජයක් විළිරුදාවෙන් පෙළෙන්නේ. නව උපතකට තමයි මේ විළි ලාන්නේ. අපි කැමතියි ඒකට “භවතු සබ්බ මංගලම් ” කියා ආශීර්වාද කරන්න; ඒකට ශක්තියක් වෙන්න; පෙරමග කියන්න අපි සූදානම්.

බිඳ වැටුණු සමාජය ගොඩනැගීමට මහා සංඝරත්නයෙන් මඟපෙන්වීමක් අපේක්ෂා කරනවා
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල් කාන්ත

වර්තමානය වන විට අපේ රට දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික යන කරුනු හතරාකාරයෙන්ම බිඳ වැටිලා. 1815 දේශපාලනය බිඳ වැටුණා. එතැන් සිට ආර්ථික, සමාජීය, සංස්කෘතික වශයෙනුත් බිඳ වැටුණා. අපට පුනරුද යුගයක් බිහි කිරීමට සිදුවෙන්නේත් මේ කරුණු හතර මූලික කරගෙන. ජාතික ජන බලවේගයේ දැක්ම තමයි බිඳ වැටුණු දේශපාලනය නැවත ගොඩ නැගීම. 1815 බිඳ වැටුණු සමාජය ආරම්භක කළ හැකි වන්නේ දේශපාලන පුනරුදය ආරම්භ කිරීමෙන්. අපි තවමත් නිදහස ලබා නැහැ. අපට සැප්තැම්බර් 17 ඔක්තෝබර් 17 අතර කාලය තුළ ජනාධිපතිවරණයක් ලැබෙනවා. ඒ ජනාධිපතිවරණයේදී අපි බලාපොරොත්තු වන්නේ දේශපාලන පුනරුදයේ ආරම්භක ජයග්‍රහණය ගැනීමටයි. අද රටේ බහුතරයක් විවිධ සමාජ ස්ථරයන් ඔස්සේ පෙළගස්වමින් සිටිනවා. ජයග්‍රහණයෙන් පසුව ආර්ථිකය, සමාජය, සංස්කෘතිය ගොඩනැගීමට තිබෙනවා. ඒ සඳහා අනුශාසනය කරන ලෙසට මේ මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටිනවා. ඒ සඳහා මඟ පෙන්වන්න. එය මහා සංඝරත්නයෙන් ලැබෙන විශාල ශක්තියක් හා ධෛර්යයක්. අපේ භික්ෂූන් වහන්සේලාගේ, මව්ලවිතුමන්ලාගේ, අනෙකුත් ආගමික පූජකතුමන්ලාගේ මග පෙන්වීම, අනුශාසනය ලබන්න සූදානම්. ඔබ වහන්සේලාගේ මේ සමුළුවේ අරමුණු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා.

පුනරුදයේ දේශපාලන ගමන මේ වසරේ ආරම්භ කළ හැකියි
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මහාචාර්ය ලියනගේ අමරකීර්ති

මේ සූදානම් වෙන්නේ, අපි ගමින් ගම බොහෝ පන්සල්වලට යමින් භික්ෂූන් වහන්සේලා ඇසුරෙන්, ගිහි බෞද්ධයන් ඇසුරෙන්, ලංකාවේ නොවන භික්ෂූන් වහන්සේලා සමගත් කළ ප්‍රගතිශීලි සංවාද ඇසුරෙන් මා දැනගත්, ජාතික විද්වත් සංවිධානයට, ජාතික ජන බලවේගයට වැදගත් යැයි මම සිතන දේ ඔබට ඉදිරිපත් කිරීමටයි

දේශපාලන, ආර්ථික, සමාජයීය, සංස්කෘතික වශයෙන් බිඳ වැටුණු සමාජයක බොහෝ ගැමි පන්සල්වල තරුණ, මහලු භික්ෂුන් වහන්සේ අපට කියා සිටියේ මේ මේ කරුණු නිසා අපේ ගම් විනාශයි කියලා. ඒ සියලු කරුණුවල විනාශයට හේතුව උන්වහන්සේලා හඳුනාගනිමින් සිටින්නේ, 1815 අධිරාජ්‍යවාදීන්ට මේ රට භාරවීමත් ඉන් වසර සියයකට වැඩි කාලයකට පසුව තවත් පිරිසකට වසර 76ක් මේ රටේ පාලනය බාරවීමත් ඇතුළු ඒ දීර්ඝ කාලය තුළ සිදුවුණු හා සිදුවෙමින් ඇති දේශපාලනමය, සමාජමය, සංස්කෘතිකමය, ආර්ථිකමය ඛාදනය බවයි.

අපේ ගමනෙදි මුණ ගැසුණු භික්ෂූන් වහන්සේගේ ලක්ෂණ කිහිපයක් ඔබට පෙන්වා දෙන්නම්. එවැනි භික්ෂූන් වහන්සේලා පිරිසක් තමයි මෙහි වැඩ සිටින්නේ. ප්‍රගතිශීලී භික්ෂුන් වහන්සේ, ආගමික අනන්‍යතාවය සම්බන්ධයෙන්, ලංකාව ගොඩනැගීම සම්බන්ධයෙන්, අනෙකුත් ආගමික කණ්ඩායම් සමග වැඩ කිරීම සම්බන්ධයෙන් මධ්‍යස්ථයි.