උණුසුම් පුවත්කාලීනව්‍යාපාරික

ජාතික ඵලදායිතා ප්‍රතිපත්තියක් ළඟදීම එළිදක්වනවා

ඇමති සුනිල් හඳුන්නෙත්ති

රටේ ආර්ථික ඉලක්ක කරා ගමන්කිරීමේදී රට තුළ ඵලදායිතා සංකල්පය නිසි පරිදි ක්‍රියාවට නැංවීම අවශ්‍ය බැවින් ඒ සඳහා ඉක්මනින්ම ජාතික ඵලදායිතා ප්‍රතිපත්තියක් සකස්කර එළිදැක්වීමට කටයුතු කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.  

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (29 දා) බත්තරමුල්ල සුරුහුරුපාය ශ්‍රවණාගාරයේදී පැවති NPS day,  ඵලදායිතා  සංවර්ධන නිලධාරීන් සවිබල බලගැන්වීමේ වැඩසටහනට සහභාගි වෙමිනි.

2026 වසරේ ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති 4I ව්‍යාපෘතිය,  ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන වැඩසටහන, රාජ්‍ය අංශයේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම හා 2026 ඉදිරි සැලසුම් පිළිබඳව දිවයින පුරා සිටින ජාතික ඵලදායිතා සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරීමේ අරමුණ ඇතිව ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබු අතර මේ සඳහා ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයට අනුයුක්තව දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සේවයේ නියුතු ඵලදායිතා  සංවර්ධන නිලධාරීන්  591 දෙනෙක් සහභාගිවී සිටියහ. මෙහිදී 2026 වර්ෂයේදී ඔවුන් විසින් ළඟා කර ගත යුතු ඉලක්කයන් පිළිබඳවද දැනුවත් කරන ලදී.

ඵලදායිතා  සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීමයභාවය ඉහළ නැංවීම හා ඔවුන්ගේ නිපුණතා වර්ධනය කිරීමේ අරමුණ ඇතිව SSMI ආයතනය විසින් නොමිලේ ලබාදෙන රුපියල් මිලියන 52 ක් වටිනා Sixsigma පුහුණු වැඩසටහන සදහා SSMI ආයතනය සමඟ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය අවබෝධතා  ගිවිසුමකට එළඹීමද මෙහිදී සිදුවිය.  

2026 වසරේදී ජාතික ඵලදායිතා ලේකම් කාර්යාල විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ප්‍රජා ඵලදායිතා ගම්මාන වැඩසටහනේ නිල ෆේස්බුක් පිටුව එළිදැක්වීම, මාර්ගෝපදේශ සංග්‍රහය හා වැඩ පොත් එළිදැක්වීම  හා මෙම වසරේදී පැවැත්වෙන ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය සඳහා ඵලදායිතා සංවර්ධන නිලධාරීන් සවිබල ගැන්වීම සදහා  ඔවුන් වෙත laptop පරිගණක ලබාදීමද සිදුකරන ලදී.