ජගත් ගේ සතියේ සටහන - 45
පසුගිය මහ මැතිවරණයේ ප්‍රතිඵල අනූව තම පක්ෂවලට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර වලට මන්ත්‍රීවරුන් පත්කර ගත නොහැකි වීමෙන් පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන සන්ධානය හා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ මහත් අර්බුදයකට මුහුණ පා සිටිනවා. සෙසු පක්ෂ තමන්ට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර වලට මන්ත්‍රීන් පත්කොට ඇතත්, සමගි ජන සන්ධානය හා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ වෙනුවෙන් පත්වී සිටින්නේ, රංජිත් මද්දුම බණ්ඩාර හා රවි කරුණානායක යන මන්ත්‍රීවරුන් පමණයි.
පසුගිය මැතිවරණ ප්‍රතිඵල අනුව සමගි ජන සන්ධානයට මන්ත්‍රීධූර 35 ක් හා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 5 ක් ලැබුණා. නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට මන්ත්‍රීධූර 3 ක් හා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 2 ක් හිමිවුණා.
මෙම මන්ත්‍රී ධුර පුරප්පපාඩු සම්පූර්ණ කිරීම සඳහා, පක්ෂ දෙකේ අභ්‍යන්තර සාතච්ඡා පැවැත්වෙමින් තිබුණා.
සමගි ජන සන්ධානයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා නායක, සජිත් ප්‍රේමදාස මහතාට ද දන්වා තමාගේ නම මැතිවරණ කොමිෂන් සභාවට යවා තිබූ අතර, කොමිෂන් සභාව ඔහුගේ නම මන්ත්‍රී වරයකු ලෙස ගැසට් මඟින් ප්‍රකාශට පත් කළා.
මෙම පත් කිරීමත් සමඟ සමගි ජන සන්ධානයේ අනිකුත් හවුල්කාර පක්ෂ, තමන්ට ද මන්ත්‍රීධුර අවශ්‍ය බව පවසමින් පක්ෂ නායකත්වයට බලපෑම් කිරීමට පටන් ගෙන තිබුණා.
මේ අනුව ඉම්තියාස් බාකීර් මාකර්, ඩලස් අලහප්පෙරුම, ජී. ඇල්. පීරිස්, සුජීව සේනසිංහ, එරාන් වික්‍රමරත්න, තිස්ස අත්තනායක යන මහත්වරුන් ගේ නම් ද, මුල සිට ම යෝජනා වී, තිබුණා.
සමගි ජන සන්ධානයේ හවුල්කාර පක්ෂ වනා, ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණේ මනෝ ගනේෂන්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බද්උද්දීන්, කම්කරු ජාතිත පෙරමුණේ පලනි දිගම්බරන් යන මහත්වරුන් හා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ද, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා තරග වැද සිටිනවා.
මන්ත්‍රී පුරප්පාඩු 4 ක් සඳහා දස දෙනකු පමණ ඉදිරිපත්වීම හේතුවෙන්, සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා බරපතල ප්‍රශ්නයට මුහුණ දී සිටිනවා.
මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පසුගිය 19 වනදා සහ 21 වනදා, සමගි ජන සන්ධානය රැස් වූ නමුත් අවසන් තීරණයක් ගෙන තිබුණේ නැහැ.
මේ අතර සජිත් ප්‍රේමදාස මහතා රිෂාඩ් බද්උද්දීන්, පලනි දිගම්බරන්, රවුෆ් හකීම්, ඉම්තියාස් බාකීර් මාකාර් යන පක්ෂ නායකයින් ගේ, කොළඹ පිහිටි නිවෙස්වලට පෞද්ගලිකව ගොස් ඔවුන් සමඟ සාකච්ඡා කළ බව ද වාර්තා වෙනවා.
පසුගිය සිකුරාදා සජිත් ප්‍රේමදාස මහතා ඉම්තියාස් බාකිර් මාකාර් මහතා ගේ නිවසට ගොස් පැය 2 ක් පමණ කාලයක් සාකච්ඡා කළ බව ද ආරංචි මාර්ග පවසනවා.
''පක්ෂයේ සභාපති මම යි. මහ ලේකම් ගෙ නම ජාතික ලැයිස්තුවෙන් නම් කොට මැතිවරණ කොමිසමට යැවු අවස්ථාවේ පක්ෂයේ සභාපති වන තමාගේ නම එයට ඇතුළත් නොකළේ ඇයි දැ" යි ඉම්තියාස් බාකීර් මාකාර් මහතා, ප්‍රශ්න කොට ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා එයට පිළිතුරු දී නැහැ.
මෙවර මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කොට පරාජය වූ, එරාන් වික්‍රමරත්න මහතා පවසන්නේ තමා මෙවර මැතිවරණයට, ඉදිරිපත් නොවීමට තීරණය කොට තිබූ බවයි. එහෙත් මැතිවරණයට තරග කරන ලෙසත්, තේරී පත් වූයේ නැති නම් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන බවත්, සජිත් ප්‍රේමදාස මහතා පොරොන්දු වූ නිසා, තමා තරග කළ බව ද එරාන් වික්‍රමරත්න මහතා පවසනවා. ඒ නිසා දැන් තමා ජාතික මන්ත්‍රීවරයකු ලෙස පත් කරන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.
සුජීව සේනසිංහ මහතා ද පවසන්නේ මෙවැනි ම කතාවක්. ''මම පසුගිය මැතිවරණයේ දී මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට බලාපොරොත්තු වුණා. මහනුවරින් ලක්ෂ්මන් කිරිඇල්ලගේ දියණිය හා තිස්ස අත්තනායක මහතා ද ඉදිරිපත් වන නිසා, ඔයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගන්නම් කියා නායකතුමා පැවසුවා. ඒ අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් මටත් ඕනෑ යැ යි, ඔහු පිටකෝට්ටේ පැවති සමගි ජන බලවේගයේ විධායක සභා රැස්වීමේ දී ප්‍රකාශ කළ බව දැනගන්නට තියෙනවා.
මේ අතර ජාතික ජන බලවේගය එම පක්ෂයේ රණවිරු එකමුතුවේ ප්‍රධානියකු වන, හිටපු හමුදා ප්‍රධානියකු වූ අරුණ ජයසේකර මහතා, ජාතික ලැයිස්තුවෙන් පත් කොට ඔහුට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධූරය ද ලබා දී ඇති බැවින්, සමගි ජන සන්ධානයේ රණවිරු සංවිධානයේ ප්‍රධානි හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතාට ද, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් අනිවාර්යයෙන් ම ලබා දිය යුතු යැ යි සමගි ජන බලවේගයේ පිරිසක් තදින් ම කියා සිටිනවා.
මේ පිළිබඳව සමගි ජන සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී, මුජිබන් රහුමාන් මහතා ඊයේ ප්‍රකාශ කළේ, පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්රීඅර්බුදය සඳුදා විසඳෙනු ඇති බව යි.
මේ අතර පසුගිය ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා තරග කළේ, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ගෑස් සිලින්ඩරය ලකුණෙනි.
මෙම නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ පිහිටුවා ගෙන තිබෙන්නේ, රවි කරුණානායක මහතා විසිනු යි. එම පක්ෂයේ නිලධාරි මණ්ඩලයේ සිටින්නේ, රවි කරුණානායක මහතා ගේ දියණිය, ඔමෙලා කරුණානායකයි. එහි මහ ලේකම් කරුණානායක මහතා ගේ හිතවතියක වන, ෂාමිලා පෙරේරා මහත්මිය යි. මහ මැතිවරණයෙන් එම පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 2 ක්, ලැබීමත් සමඟ එම තනතුරු දෙක ද පෙරමුණේ හවුල්කාර පක්ෂ ද ඉල්ලා සිටීම නිසා තරගයක් ඇති වුණා.
මේ තත්ත්වය යටතේ පක්ෂය සාකච්ඡා කොට තීරණයක් ගැනීමට පෙර, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ලේකම් ෂාමිලා පෙරේරා මහත්මිය, එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට රවි කරුනානායක මහතා ගේ නම, මැතිවරණ කොමිසමට නම් කොට යවා තිබෙනවා.
ඒ ගැන පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කිසිවක් දැන සිට නැහැ යි, එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මතා ප්‍රකාශ කරනවා.
එහෙත් රවි කරුණානායක මහතා පවසන්නේ, මැතිවරණයට තරග කිරීම සඳහා එක්වූ පක්ෂ සමඟ ඇති කරගත් ගිවිසුම අනුව, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දිය යුතු බව සඳහන් වන බවත්, ඒ අනුව එහි මහ ලේකම් ෂාමිලා පෙරේරා මහත්මිය තමාගේ නම, මැතිවරණ කොමිසමට දන්වා යැවු බවත් ය.
මේ අතර නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ඉතිරි මන්තී ධුරය සඳහා, කංචන විජේසේකර මහතා, තලතා අතුකෝරාළ, දිනේෂ් ගුණවර්ධන, චන්දන කත්‍රිආරච්චි, රෝහණ ලක්ෂ්මන් පියදාස, නිමල් ලංසා, යන අයගේ නම් ද ඉදිරිපත් වී තිබෙනවා.
මේ පිළිබඳව පසුගිය 21 වනදා මල්පාරේ පිහිටි, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී, දිනේෂ් ගුණවර්ධනට මන්ත්‍රී ධුරය ලබා දීමට බොහෝ දෙනකු, විරුද්ධත්වය පළ කොට ඇත්තේ, මැතිවරණයේ දී ඔහුගෙන් කිසි සහයෝගයක් නොලැබුණු බව පවසමින්.
බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ පළපුරුදු ජ්‍යෙෂ්ඨයින් සිටිය යුතු බැවින්, දිනේෂ් ගුණවර්ධන මහතාට මන්ත්‍රී පදවිය ලබා දෙන ලෙස පවසා ඇතත්, එයට වැඩි දෙනාගේ එකඟතාවය ලැබී නෑ.
පසුව වෛද්‍ය රමේෂ් පතිරණ, කංචන විජේසේකර, පවිත්‍රා වන්නිආරච්චි, කෝකිලා ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන, ඇතුළු පිරිසක්, දිනේෂ් ගුණවර්ධන මහතා හමුවීමට ගොස්, පක්ෂයේ තීරණය ඔහුට දැනුම් දී තිබෙනවා. එම දැනුම් දීමෙන් පසු පක්ෂයේ තීරණය ගැන, නොසතුට පළ කළ ගුණවර්ධන මහතා, ඕනෑම තීරණයක් ගන්නැ යි ඔවුන්ට දැනුම් දුන් බවයි වාර්තා වන්නේ.
මේ අතර නිමල් සිරිපාල ද සිල්වා මහතා ගේ නායකත්වයෙන් යුත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හා දේශපාලන මණ්ඩලය ඊයේ රැස්වුණා. එහිදී තීරණය වී ඇත්තේ, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබී ඇති, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාදිය යුතු බව යි.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා සිකුරාදා ඉන්දියාව බලා පිටත්ව ගියා.
ඔහු යළි පැමිණීමට නියමිතව තිබෙන්නේ නෙවැම්බර් 30 වැනිදා යි. මෙයට පෙර එම පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය, කාංචන විජේසේකර මහතාට ලබාදීමට පහුගිය 21 වැනිදා පැවති රැස්වීමේ දී තීරණය කොට තිබුණා. එහෙත් ඊයේ වන තුරුත්, ඔහුගේ නම නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ලේකම්, ෂාමිලා පෙර්රා මහත්මිය විසින් මැතිවරණ කොමිසම වෙත යවා තිබුණේ නැහැ.
සමගි ජන බලසන්ධානයේ පුරප්පාඩු වී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 4 ට, මන්ත්‍රීවරුන් පත් කිරීම ටික කලකට කල් දැමීමට, සජිත් ප්‍රේමදාස මහතා අදහස් කොට ඇතැ යි, එම පක්ෂයේ ආරංචි මාර්ග වලින් වාර්තා වෙනවා.
කෙසේ වුවද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සම්බන්ධයෙන්, සමගි ජන බල සන්ධානය තුළ හටගෙන ඇති අර්බුදය, පුපුරා ගොස් පක්ෂය දෙදරා යාමට ඉඩ ඇති බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ හා සර්වජන බලය පක්ෂවලට ගොස් සිටින, හිටපු මැති ඇමතිවරුන් යළි පක්ෂයට එක්කර ගැනීමට, එහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා කටයුතු කරගෙන බව නෙළුම් මාවතේ එම පක්ෂ කාර්යාලයෙන් දැන ගන්නට තිබෙනවා.
පසුගිය මහ මැතිවරණයේ දී සමගි ජන බලවේගය හා, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් තරග කොට පරාජය වූ හිටපු මන්ත්‍රීන් ගණනාවක්, යළි පොදුජන පෙරමුණට එක්වීම සඳහා කැමැත්ත පළ කරමින් නාමල් රාජපක්ෂ මහතාට පණිවුඩ එවා ඇතැයි, නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ ප්‍රකාශකයෙක් කියා සිටියා.
එසේ වුව ද පෙදුජන පෙරමුණට ද්‍රෝහී වී, පක්ෂය පවා දීමට කටයුතු කළ අය, කිසිසේත් ම යළි පක්ෂයට නොගන්නා බව ද ඔහු සඳහන් කළා.