චම්මිගෙ හිතිවිලි

අපි ජීවිතය දවසින් දවස සෝදමු.
ඒ ජීවිතය අපි ම මඩේ දමා ගන්නා බැවිනි.
සමහරවිට අපි මුලින් මඩේ වැටෙන්නේ නොදැනුවත්කමට වඩා අරයා මෙයා කියූ නිසා හා කරන නිසාත්, අරයා හොඳියි මෙයා නරකයි කියා ගැඹුරින් නොවිමසා රැල්ලට ආක්‍රමණය වෙන නිසා ය.
එහෙත් ඒ අපිම "කාලම සූත්‍රය"ද දන්නා බව කියමු.
ජීවිතය සරසන අධ්‍යාපනය, ධර්මය, සමාජ ජීවිතය,අර්ථ සම්පන්න භාවය හා ලිංගිකත්වය ද අද අප තෝරා ගන්නේ එවැනි අසම්භාව්‍ය පුරෝකථනයන් ට වහ වැටීමෙනි.
ඒ සියල්ලම අද අළෙවි ව්‍යාපාරයේ ප්රචාරාත්මක අවිය විසින් මිනිසුන්ගේ සිත් කෝව මත ප්‍රතිරෝපනය කළ දෑ වෙයි.
අපි මේ කිසි දෙයක් ගැන ගඹුරින් නොසිතමු . නොසළකමු. එහෙත් ඒ ඒ අනිසි ආගන්තුකයින් ට අපේ හිත්පොළේ නවාතැන් දෙමු.
ආගම ඇතැමුන්ගේ පාරිභෝගික භාණ්ඩයක් වූ කළ අධ්‍යාපනය, සාරධර්ම, සංස්කෘතිය හා දේශපාලනය එම භූමිකාවට පිවිසෙන්නේ උඩ පැන දුවමිනි.
ඒ ආශ්වාදනීය අළෙවි උපක්‍රමයේ උණුසුම තුරුළු වෙන්නේ අපිට ඇති ඒ ඒ උණට සමපාතව ය. එයට ගොදුරු වූවන් අද අබින් කෑ සිබිලින්ලා වෙමින්, ඒවා කරතබා ගෙන යන්නේ, ජාතියක මුරායුද පවා මායිම් නොකරමිනි.
මෙවන් අන්ධභූත දේශපාලනික සත්ත්වයා සංස්කෘතික සත්ත්වයෙකු ලෙසින් වෙස් ගන්වා ගැනීම නිසා, මිනිසාගේ මානසික භූගෝලය ඉතා තදින් අවලෝකනය කරවයි. විටෙක අධ්‍යාපන විශේෂඥයකු' ඇල්බට් නොවාක් 'කීවා සේ, "නිරන්තර ප්රතිරූපණය හා භාෂණය මතින් බොහෝ මිනිසුන්ගේ මානසිකත්වය වෙනස් කළ හැකි"ය.
ඒ අනුව අද සිදුව ඇත්තේ මොළ සේදීමකි. එයට උර දුන්නෝ ද ඊනියා දේශපාලක සහ ආගමික බඩගෝස්තරවාදීන් සමග එකතු වූ, මත සකසන්නන් ලෙස පෙනී සිටියවුන් ය. සිටින එවුන් ය. වර්තමානයේ අපගේ සිතුවිලි අතීත දේශපාලනික හා ආගමික ධූරාවලියක නටබුන් ය. එසේම වර්තමානයේ දී මේ සිදුවන්නේ ද නොදන්නා සේ හැඟෙන දන්නා වූ න්‍යාය පත්රයකට සැකසූ පටුන සපුරාලිමකි.
එය දැන දැනම" අපේ උන්" යන ගෝත්රවාදී හැඟීමට අවනතව අපි කඩේ යමින් සිටිමු.
විචාරශීලි අදහස් සංවිධානාත්මකව උගුලුවා හරිමින් සිටිමු. එය ප්රචණ්ඩත්වය අකුරුවලින් මවා සංජානනය මගින් තොගයට බෙදා හැරීමකි. ඒ සියල්ල සිදුවෙන්නේ ....,
"අසාරෙ සාරමතිතො - සාරෙවා'සාරදස්සිනො"
නැතිකමිනි.
අවසානයේ අපි එය තේරුම් ගන්නේ ස්තාලයෙන් අසු පැණ ගිය පසුය.
එතෙක් අපි ආගමික වේවා,දේශපාලනික වේවා, සමාජමය වේවා තමන් සිට ගන්නා දීන පක්ෂග්‍රාහීත්වය මත අසාර දෙයම සාර යයි පෙන්වමින් සිටිමු.
විටෙක, 'විලියම් ශේක්ෂ්පියර්' කියන්නේ "කාටත් හොඳ යැයි සිතෙන්නට කටයුතු කරන්නා යනු කිසිදු ස්ථාවරයක් නැත්තෙකු බව"යි. එසේ රැවටෙන අපි ඇතෑම් අන්‍යාගමික නායකයින් තමන්ගේ ආගමේ නායකයින් ආදර්ශයට ගත යුතුයැ කීමට පවා උත්සුක වූයෙමු.
එහෙත් ඔවුන් වඩාත් හොඳ යැයි ඒත්තු ගන්වන්නේ ඔවුන් කැප වූ දහමේ දේශපාලනික බලය රඳවා ගැනීමේ අදීන නොවු හැඟීමෙනි.
1802 සිට මෙරට එතෙත් පැවති දේශිය රාජ්‍ය පාලනය විනාශ කළ 'ජෝන් ඩොයිලි 'නම් කූට දේශපාලනික සංස්කෘතික, ආර්ථික ඝාතකයා තවමත් හඳුනා නොගත් අපි මෙවන් Digital යුගයක Artificial Intelligence රජයද්දී අද ඉන්නා ආක්‍රමණිකයන් කෙසේ නම් හඳුනා ගනිමුද?
හඳුනා ගත නොහැකි නම් එවන් අය වන්දනාමාන කරමින් තමන්ගේ අන්තේවාසික දීන බව නොපෙන්වා සිටීම වැදගත් ය.
එසේ නොහැකිනම්
සත්ත්‍යය විමර්ශනය කරන්නවුන්, දෙන්නම් බැටේ විවේචනයෙන් පරිභවයට පත් නොකිරීම වැදගත් ය.
එසේ කිරීම භාෂණයේ ප්රචණ්ඩත්වය හා දීන භාවයේ අනන්‍යතාව දැක්වීමකි.
අපි විවේකී බුද්ධියෙන් සිතමු.
14-07-2025.