උණුසුම් පුවත්දේශපාලනවිශේෂාංගසතියේ සටහන

ජනතාව ආණ්ඩුවට රතු එළියක් පායි – ජුනි 2 දා පළාත් පාලන ආයතන පිහිටුවීමට හැකි වේ ද?

ජගත් ගේ සතියේ සටහන  -  68

  ඉවර වුණත් පුංචි ඡන්දෙ උණූසුම ඉවර නෑ

කොළඹ අල්ලන්න විපක්ෂය  දත කති

 

මැයි 6 වැනිදා පැවති පළාත් පාලන මැතිවරණය අවසන් වී දින 5 ක් පමණ ගතවී ඇතත් ඒ පිළිබඳ දේශපාලන ක්ෂේත්‍රයේ පැවති උණුසුම තවමත් පහව ගොස් නැහැ.

ඒ ජාතික ජන බලවේගය ජයගෙන ඇති එහෙත් ඔවුන්ට බහුතරය අහිමි පළාත් පාලන ආයතනවල බලය අල්ලා ගැනීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ ගණනාවක් ම කටයුතු කිරීම නිසයි.

පසුගිය 6 වැනිදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජන බලවේගයට ආසන 265 ක බලය හිමිවුණා. එහෙත් එම පක්ෂයට තනිව ම පාලනයක් ගෙන යා හැකි බහුතර බලයක් හිමිවී තිබෙන්නේ පළාත් පාලන ආයතන 116 ක් සඳහා පමණයි. පළාත් පාලන ආයතන 149 ක බහුතර බලය තිබෙන්නේ විපක්ෂයේ පක්ෂවලට යි.

එම පළාත් පාලන ආයතන 149 හි බලය පිහිටුවා ගැනීමට නම් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට විපක්ෂයේ පක්ෂවල හා ස්වාධීන කණ්ඩායම්වලින් පත්වී සිටින සභිකයින්ගේ සහාය ලබාගත යුතු වෙනවා. එහෙත් එය ජාතික ජන බලවේගයට අභියෝගයක් වී තිබෙන්නේ විපක්ෂයේ සියලු පක්ෂවල සිටින්නේ හොරුන් බවට ඡන්ද රැස්වීම්වල දී එම පක්ෂයේ සමහර නායකයින් ගෙනගිය ප්‍රචාරය නිසයි.

හොරුන් සහ දූෂිතයින් නොමැති පක්ෂවල හා ස්වාධීන කණ්ඩායම්වල සහයෝගය ලබාගෙන ජාතික ජන බලවේගය ජයගෙන ඇති පළාත් පාලන ආයතන 265 බලය පිහිටුවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඡන්දයට පසුදින මාධ්‍ය හමුවක් පවත්වමින් කියා තිබුණා.

මේ අතර ජාතික ජන බලවේගයේ දෙවැනි පෙළ කායකයින් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ පක්ෂවල මන්ත්‍රීන් සමඟ සාකච්ඡා කරගෙන යන බව ද වාර්තා වෙනවා.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී පැවසුවේ මෙවර තේරී පත්වී සිටින පලාත් පාලන සභිකයින් බිලි බා ගැනීම සඳහා දැනටමත් රහස් සාකච්ඡා ඇරඹී තිබෙන බවයි. පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ සභිකයකුට රුපියල් ලක්ෂ 25 ක් ද කොළඹ නාගරික මන්ත්‍රීවරයකුට රුපියල් කෝටි දෙකක් බැගින් මිල නියම වී ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කළා.

මේ අතර සමගි ජන බලවේගය ද කොළඹ මහ නගර සභාව ඇතුළු විපක්ෂයට වැඩි බලය ලැබී තිබෙන පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, පොදුජන එක්සත් පෙරමුණ ආදී විපක්ෂයේ පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් සමඟ නිල නොවන සාකච්ඡා ආරම්භ කොට ඇති බව ද වාර්තා වෙනවා.

සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ පක්ෂවල ප්‍රධාන ඉලක්කය වී තිබෙන්නේ ජාතික ජන බලවේගය මන්ත්‍රී ධූර 48 ක් ලබාගෙන ඇති කොළඹ මහ නගර සභාවේ බලය ඇල්ලීමට යි. සමගි ජන බලවේගයට කොළඹ මහ නගර සභාවේ මන්ත්‍ර ධූර 29 ක් ද එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධූර 13 ක් ද හිමිවී තිබෙනවා. සෙස පක්සවලින් තේරීපත් වී සිටින අය ඇතුළුව මන්ත්‍රී ධූර 69 ක් විපක්ෂයට හිමිව ඇති බැවින් සමගි ජන බලවේගයේ නායකත්වය යටතේ එහි බලය අල්ලා ගැනීම සජිත් ප්‍රේමදාස මහතා ගේ අරමුණ යි.

එහෙත් කොළඹ මහ නගර සභාවට සමගි ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂකය සේ ඉදිරිපත් කළ වෛද්‍ය රුවයිස් හනිෆා මොහොමඩ් මහතා ඔහු තරග කළ බොරැල්ල දකුණ කොට්ඨාසයෙන් පරාජය වී තිබෙනවා. ඒ නිසා ඔහු නගරාධිපති කිරීමේ හැකියාවක් නැහැ. මේනිසා කොළඹ මහ නගර සභාවේ බලය අල්ලන්න නම් අලුතින් නගරාධිපති අපේක්ෂකයකු  සොයා ගැනීමට ද සමගි ජන බලවේගයට සිදුවී ඇතැ යි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

ජාතික ජන බලවේගයට පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඡන්ද 6863186 (හැට අට ලක්ෂ හැටතුන් දාස් එකසිය අසූ හයක්) ක් ලැබී තිබූ අතර එහි ප්‍රතිශතය 61. 56% කි. එහෙත් මෙවර පළාත් පාලන මැතිවරණයේ දී එම පක්ෂය ලබාගෙන ඇත්තේ ඡන්ද 4503930 (හතළිස් පන්ලක්ෂ තුන්දාස් නමසිය තිහක්) ක් වන අතර එහි ප්‍රතිශතය 43. 37% කි. ආන්ඩුව පිහිටුවා ගත වූ මාස 7 තුළ ජාතික ජන බලවේගයට ඡන්ද 2359256 (විසිතුන් ලක්ෂ පනස් නමදාස් දෙසිය පනස් හය) ක් අඩු වී තිබෙනවා.

සමගි ජන බලවේගය මෙවර පලාත් පාලන මැතිවරණයේ දී ජයගෙන ඇත්තේ පලාත් පාලන ආයතන 14 ක් පමණයි. එම පක්ෂයේ ඡන්ද සංඛ්‍යාව ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලබාගත් ඡන්ද සංඛ්‍යාවට වඩා ඡන්ද 289764 ( දෙකද්ෂ අසූනම දාස් හත්සිය හැට හතර) කින් වැඩි වී තිබෙනවා.

කිසිදු පළාත් පාලන ආයතනයක් ජයගත නොහැකි වී ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඔවුන්ගේ ඡන්ද සං'ඛ්‍යාව 954517 (නමලක්ෂ පනස් හතරදාස් පන්සිය දාහත) කින් වැඩි කර ගෙන ඇත්තේ 9. 20%ප්‍රතිශතයක් ලබා ගනිමින්. පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී එම පක්ෂයට ලැබී තිබුණේ ඡන්ද 350429 (තුන් ලක්ෂ පනස් දාස් හාරසිය විසි නමය) ක් පමණි.

එක්සත් ජාතික පක්ෂය ද මෙවර අලියා ලකුණින් තරග කොට ඡන්ද 488406 (හාරලක්ෂ අසූඅට දාස් හාරසිය හය) ක් ලබාගෙන තිබෙනවා.

අලුතෙන් ම පිහිටුවා ගනු ලැබූ දේශපාලන පක්ෂය වන දිලිත් ජයවීර මහතා ගේ නායකත්වයෙන් යුත් 'සර්වජන බලය' ට පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලැබුණේ ඡන්ද 178006 (එක්ලක්ෂ හැත්තෑ අට දාස් හය) ක් සහ එක මන්ත්‍රී ධූරයක් පමණයි. එහෙත් මෙවර පළාත් පාලන මැතිවරණයෙන් එම පක්ෂය ඡන්ද 294681 (දෙලක්ෂ අනූ හතර දාස් හයසිය අසූ එක) ක් ලබා ගනිමින් ඉදිරියට පැමිණ ඇති අතර සර්වජන බලයට පළාත් පාලන ආයතනවල මන්ත්‍රී ධූර 226 ක් ද ලැබි තිබෙනවා.

තම පක්ෂයේ මන්ත්‍රීවරුන් මුදලට විකිණෙන්නේ නැති බවත් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේ දී ප්‍රතිපත්තිගරුක ජනතාවට සෙත සලසන්නේ යැ යි සිතන පක්ෂවලට සහාය දෙන බවත් දිලිත් ජයවිර මහතා ප්‍රකාශ කළා.

මෙවර පළාත් පාලන මැතිවරණයේ තවත් විශේෂත්වයක් වන්නේ කිසිදු පක්ෂයකට ඡන්දය ලබා නොදී ඡන්ද වර්ජනය කළ පිරිස 67 ලක්ෂකට අධික වීම යි.

මේ අතර පිට පළාත්වලින් පැමිණ කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල නතර වී විවිධ රැකියාවල හා වෘත්තීන් හි යෙදුණු දස ලක්ෂයකට ආසන්න පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්දය දැමීමට ඔවුන් ගේ ගම් ප්‍රදේශවලට ගොස් නැති බව ද වාර්තා වෙනවා. මෙසේ ඡන්දය දැමීමට නොගිය පිරිස අතර කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් 30000 ක් සිටින බව එහි වෘත්තීය සමිති නායකයෙක් ප්‍රකාශ කළා.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වශයෙන් ලොකු පිබිදීමක් නොතිබීම, මෙය තීරණාත්මක ඡන්දයක් නොවීම, ගම්බිම් බලා යාමට ප්‍රවාහන වියදම් දරා ගැනීමට නොහැකි වීම හා සතියේ මැද දවසක ඡන්දය පැවැත්වීම ආදි හේතූන් මෙයට බලපා ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.

කෙසේ වුවද මෙවර පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලවලින් පෙනී යන්නේ ඡන්දදායකයින් ජාතික ජන බලවේගයට, 'රතු එළියක්' දල්වා ඇති බව යි.

ආණ්ඩුව ගත වූ මාස හය තුළ ගෙන ගිය ක්‍රියාමාර්ග පිළිබඳව ස්වයං විවේචනයක යෙදී වැරදි සහ අඩුපාඩු සකස් කර නොගත හොත් 2/3 බලයක් තිබුණ ද ආණ්ඩුවේ ආයු කාලය වසර පහකට පෙර අවසන් වීමට ඉඩ ඇති බව ද ඔවුන් පෙන්වා දෙනවා.

-------------------------  ---------------------------    -------------------------

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ එළඹෙන ජුනි 2 දා වන විට සියලුම පළාත් පාලන ආයතන පිහිටුවිය යුතුව ඇති බව යි.

පළාත් පාලන ආයතන පිහිටුවීම පිළිබඳගැසට් පත්‍රය මේ මස අවසන් වීමට පෙර නිකුත් කරන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළා.

එහෙත් දේශපාලන පක්ෂවලින් ලැබෙන ආරංචි වලින් පැවසෙන්නේ පළාත් පාලන ආයතන පිහිටුවීම තවත් කල් යෑමට ඉඩ තිබෙන බවයි.

පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරදීමේ දී එක් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් හෝ අපේක්ෂක ලැයිස්තු දෙකක් ඉදිරිපත් කළ යුතු වෙනවා. ඉන් එකක එම පළාත් පාලන ආයතනයේ ඡන්ද කොට්ඨාසයවලට ඉදිරිපත් කරන අපේක්ෂකයින් ගේ නම් සඳහන් කළ යුතු යි. දෙවැනි ලැයිස්තුවට ඡන්ද ප්‍රතිඵල අනුව පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට හෝ ලැබෙන මුළු ඡන්ද සංඛ්‍යාව අනුව අනුපාත ක්‍රමයට පත්කර ගන්නා අපේක්ෂකයින් ගේ නම් ඇතුළත් කළ යුතු යි.

එක පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට එම ලැයිස්තුවේ මන්ත්‍රී ධූර කිහිපයක් ලැබෙන්නේ ඔවුන් ලබාගත් මුළු ඡන්ද සංඛ්‍යාව අනුවයි.

දෙවැනි ලැයිස්තුවෙන් පත්කරනු ලබන මන්ත්‍රීන්ගේ නම් එම දේශපාලන පක්ෂයේ ලේකම් හෝ ස්වාධීන කණ්ඩායමේ නායකයා විසින් මැතිවරණ කොමිෂන් සභාවට දන්වා යැවිය යුතු වෙනවා. එම නම් ලැබුණු පසුවයි මැතිවරණ කොමිෂන් සභාව මන්ත්‍රීවරුන් ගේ නම් ගැසට් කරන්නේ.

පසුගිය හය වැනිදා පැවති පළාත් පාලන මැතිවරණයේ දී ඡන්ද කොට්ඨාසවලින් පරාජය වූ අපේක්ෂකයින් දෙවැනි ලැයිස්තුවෙන් පත්කරන ලෙස ඉල්ලා පක්ෂ නායකයින් වෙත බලපෑම් කරනා බවත් ඒ නිසා ඒ ලැයිස්තු නිසි වෙලාවට මැතිවරණ කොමිෂන් සභාව වෙත යැවීමට නොහැකි වනු ඇති බවත් දේශපාලන පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ අතර එක්සත් ජාතික පක්ෂය ද එම පක්ෂය විසින් දෙවැනි ලැයිස්තුවෙන් පත්කළ යුතු මන්ත්‍රීන් නම් කිරීම ගැන අර්බුදයකට මුහුණ පා සිටිනවා.

ඒ පරාජිත අපේක්ෂකයින් එම ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූර ඉල්ලා සිටීම නිසා බවයි මල්පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතා ගේ කාර්යාලයෙන් දැනගන්නට තිබෙන්නේ.

දැනට ඉන්දියාවට ගොස් සිටින රනිල් වික්‍රමසිංහ මහතා ආපසු පැමිණෙන තුරු එම පත්කිරීම් සිදු නොකිරීමට පක්ෂයේ සෙසු නායකයින් තීරණය කොට තිබෙනවා.

එසේම ජාතික ජන බලවේගයට වැඩි බලය ලැබී නැති පළාත් පාලන ආයතන පිහිටුවීමට යාමේ දී නගරාධිපති, උප නගරාධිපති, සභාපති, උප සභාපති ආදී තනතුරුවලට තෝරා ගැනීම ද ගැටලු සහගත විය යැකි බවත්, දැන ගන්නට තිබෙනවා. එම තනතුරු සඳහා පැමිණ සිටින මන්ත්‍රීවරුන්ගෙන් ඡන්ද විමසන අතර දෙදෙනකුට සමාන ඡන්ද ලැබුණොත් කාසියක් උඩ දැමීමෙන් අදාළ තනතුරට කෙනකු පත්කිරීමට පළාත් පාලන කොමසාරිස්වරයාට සිදු වෙනවා.

මේ තත්වය යටතේ බොහොමයක් පළාත් පාලන ආයතන ජුනි 2 වැනිදාට පිහිටුවීමට නොහැකි වනු ඇතැ යි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා.

  - ජගත් -