ජගත් ගේ සතියේ සටහන - 56
ලබන අප්‍රේල් මාසයේ පැවැත්වීමට යන පළාත් පාලන මැතිවරණවලට සමගි ජන බලවේගයත්, එක්සත් ජාතික පක්ෂයත් එක්ව තරග කිරීම සඳහා පසුගියදා පැවති සාකච්ඡා අසාර්ථක වී ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.
සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගේ සහ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරාළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම සමගි සාකච්ඡා පැවැත්වුණා.
මෙම සාකච්ඡා මාලාවේ පළමු සාකච්ඡා තුන හෝටලයක පැවැති අතර සිව්වැනි සාකච්ඡාව පැවැත්වුණේ සමගි ජන බලවේගයේ හර්ෂණ රාජකරුණා මහතා ගේ කොළඹ පිහිටි නිවසේ දී. මෙම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂයේ හරීන් ෆ්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා ද පැමිණ සිටියා. එහෙත් ඔහු එක්සත් ජාතික පක්ෂ සාකච්ඡා කණ්ඩායමේ මුල සිට ම සිටියේ නැහැ.
එදා සාකච්ඡාවෙන් පසු පක්ෂ දෙකේ කණ්ඩායම් නායකයින් දෙදෙනා සාකච්ඡා සාර්ථක ලෙස පැවති බව කියා සිටියා. එහෙත් මෙම සාකච්ඡා අවසානයේ හරීන් ෆ්‍රනාන්දු මහතා මාධ්‍යවලට ප්‍රකාශ කළේ ඉදිරි පළාත් පාලන මැතිවරණවලට ටැලිපෝනය හෝ අලියා ලකුණින් හෝ නොව වෙනත් ලකුණකින් තරග කරන බවයි. කලින් පැවති සාකච්ඡාවලට සහභාගි නොවූ හරීන් ෆ්‍රනාන්දු මහතා මෙවැනි ප්‍රකාශයක් කිරීම සමගි ජන බලවේගයේ නායකත්වයේ දැඩි දැඩි විරෝධයයට හේතු වුණා. සමගි ජන බලවේගයේ ඇතැම් නායකයින් පැවසුවේ හරීන් ෆ්‍රනාන්දු මහතා සාකච්ඡා කඩාකප්පල් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා විසින් එවා ඇති පිල්ලියක් බවයි.
එහෙත් ඉන්පසු පක්ෂ දෙක අතර සමගි සාකච්ඡා ඇණ හිටියා. සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජික ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණවලට තම පක්ෂය තරග කරන්නේ ටැලිපෝනය ලකුණින් බවත් ඒ ගැන කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කොට ඇති බවත් පවසනවා. මේ අතර කොළඹ, ගාල්ල, මහනුවර, කඩුවෙල, නුවරඑළිය ආදි මහනගර සභාවලට එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් තරග කිරීමටත්, අනිත් පළාත් පාලන ආයතනවලට ටැලිපෝනයෙන් තරග කිරීමටත්, පසුගියදා පැවති සාකච්ඡාවල දී යෝජනා කොට තිබුණා. එහෙත් සමගි ජන බලවේගයෙන් ඉල්ලීම්වලට ප්‍රතිචාර ලැබී නොමැති බවයි වාර්තා වෙන්නේ.
සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා ඇරඹීමත් සමඟ සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය නායකයින් එම සමගියට එරෙහි ව අවි අමෝරා ගෙන සිටිනවා.
සමගි ජන බලවේගයේ කඩුවෙල සංවිධායිකා හිරුණි ප්රේමචන්ද්රමහත්මිය පක්ෂ දෙක අතර සමගියක් ඇති වෙනවාට විරුද්ධව පසුගියදා ප්‍රසිද්ධියේ අදහස් දැක්වූවා.
''සමගි ජන බලවේගයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 40 ක් තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයට ඇත්තේ එක ආසනයක් පමණයි. එක්සත් ජාතික පක්ෂය නන්නත්තාරවෙලා. එහෙව් එකේ අපි මොකට ද ඔවුන් සමඟ එකතු වෙන්නේ" ඇය මාධ්‍ය හමුවක දි පැවසුවා.
එසේම හරීන් ෆ්‍රනාන්දු වැනි විවිධ චෝදනා තිබෙන අයකු පක්ෂ දෙකේ සන්ධානයට කැඳවා ගත හොත් එය සමගි ජන බලවේගවේ කීර්තා කාමයට බලවත් පහරක් බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිම්න්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසා තිබුණා.
මේ තත්වය යටතේ සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡා කිසිදු තීරණයකින් තොරව අවසන් වනු ඇතැ යි දේශපාලන නිරීක්ෂකයින් පවසනවා.
මේ අතර විපක්ෂයේ දේශපාලන පක්ෂ ගණනාවක ප්‍රධානීන් පසුගිය බ්‍රහස්පතින්දා සවස කොල්ලුපිටිය 'අමාරි' හෝටලයේ දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා. මෙහි විශේෂත්වයක් වන්නේ හිටපු ජනාධිපතිවරයකු වූ මෛත්‍රිපාල සිරිසේන මහතා ද මෙම සාකච්ඡාවට සහභාගි වීමයි. අනුර ප්‍රියදර්ශන යාපා, චම්පික රණවක, දොස්තර රාජිත සේනාරත්න, උදය ගම්මන්පිල, සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රමිත බන්ඩාර තෙන්නකෝන්, ෂෙහාන් සේමසිංහ, ප්‍රේමනාත් සී. දොළවත්ත, සුගීෂ්වර බණ්ඩාර, රුවන් විජේවර්ධන, වජිර අබේවර්ධන, වීරකුමාර දිසානායක ඇතුළු පක්ෂ ගණනාවක නායකයින් දඊට සහභාගි වීම යි. ආණ්ඩුවේ යෝජනා ඇතුළු ක්‍රියාදාමයන්ට එරෙහිව කටයුතු කිරීම හා ඉදිරියේ දී එන පළාත් පාලන මැතිවරණවලට මුහුණ දීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව ද වාර්තා වෙනවා.
ඉන්දියාවේ අදානි සමාගම සුළං බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත්වීම ගැන ද මෙහිදී සාකච්ඡා වී ඇති අතර ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණවලට විපක්ෂයේ පක්ෂඑකතු වී පොදු සන්ධානයක් ගොඩනැඟීම පිළිබඳව ද මෙහි දී සාකච්ඡා වී තිබෙනවා.
මෙම සාකච්ඡාවට සමගි ජන බලවේගයේ නියෝජනයට කිසිදවකු සහභාගි ව නැහැ.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ඉවත් වී පසුගිය මැතිවරණයේ දී වෙනත් පක්ෂ සමඟ සිටි පිරිසක් යළිත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමට සාකච්ඡා කොට තිබෙනවා. ඔවුන් නාමල් රාජපක්ෂ මහතා සමඟ දැනටමත් සාකච්ඡා අරඹා ඇති බව ද වාර්තා වෙනවා.
එහෙත් පසුගිය ආණ්ඩුවේ ඇමති තනතුරු දැරූ පොදුජන පෙරමුණේ පිරිසක් එයට එක් නොවීමට තීරණය කොට තිබෙන බව ද දැනගන්නට තිබෙනවා.
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, වෛද්‍ය රමේෂ් පතිරණ, කාංචන විජේසේකර, කනක හේරත්, මහින්දානන්ද අලුත්ගමගේ, පවිත්‍රා වන්නිආරච්චි, මධුර විතානගේ, ප්‍රේම්නාත් සී. දොළවත්ත, කෝකිලා ගුණවර්ධන, සහන් ප්‍රදීප් යන අය එම පිරිසට අයත් වෙනවා.
ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවමත් පවතින්නේ පැරණි අදහස් මත බවත් ප්‍රතිපත්තිමය වශයෙන් කිසිදු වෙනසක් නොකොට පොදුජන පෙරමුණ දිගින් දිගට ම මේ අකාරයෙන් කටයුතු කිරීම මේ පිරිස විරෝධය එල්ල කරන බව ද වාර්තා වෙනවා.
මේ අතර ඊයේ සමගි ජන බලවේගය පළාත් පාලන මැතිවරණවලට ඉදිරිපත් කිරීමට යන අපේක්ෂක ලැයිස්තු සකස් කොට තිබෙනවා.
ඒ සඳහා සමගි ජන බලවේගයේ මූලස්ථානයට පිට පළාත්වලින් ප්‍රාදේශීය නායකයින් ද කැඳවා තිබුණා.
