උණුසුම් පුවත්කාලීනදේශපාලනවිශේෂාංගසතියේ සටහන

ටැංසානියා ගිහින් ඇවිත් කතානායක ඉල්ලා අස්වේවි !??

ජගත් ගේ සතියේ සටහන -  136

කතානායකවරයාට එරෙහි විශ්වාස භංගයක් ළඟදීම

උපරිමාධිකරණ විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා වූ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත හා අධිකරණ සේවා සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත සිකුරාදා පස්වරු 7. 00 ට පමණ පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී වරුන්ගේ 2/3 ක බහුතර ඡන්දයෙන් සම්මත වුණා. පනත් කෙටුම්පත් දෙකට පක්ෂව ඡන්ද 158 ක් ද, විපක්ෂව ඡන්ද 63 ක් ද ලැබීමෙන් එය වැඩි   ඡන්ද 95 කින් සම්මත වූ බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා නිවේදනය කළා.

පාර්ලිමේන්තුවේ දී සම්මත වන පනතක් නිත්‍යානුකුල වන්නේ එයට කතානායකවරයා අත්සන් තැබීමෙන් පසුවයි. එවැනි පනතකට කතානායක වරයා අත්සන් තබන්නේ දින කිහිපයක් ගතවීමෙන් පසුව වුවත් මෙම පනත් දෙක සම්මත වී පැයපැය භාගයකට අඩු කාලයක දී කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඒවාට අත්සන් තැබීම විශේෂ සිද්ධියක්. දැන් මෙම පනත් දෙක සම්මත වූ දිනයේ සිටම ක්‍රියාත්මකයි.
22 වැනි ආණ්ඩුක්‍රම (සංශෝධන) පනත් කෙටුම්පතට එරෙහිව සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රමුඛ සිවිල් සංවිධාන රාශියක් සති ගණනක් තිස්සේ පුවත්පත් සාකච්ඡා, උද්ඝෝෂණ, පිකටිං ආදිය පැවැත්වූවා.
විපක්ෂය හා නීතිඥ සංගමය මෙම විරෝධතා ආරම්භ කළේ 22 වැනි සංශෝධනයගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමටත් පෙර සිටයි.  වර්තමාන අග්‍ර විනිශ්චයකාර ප්‍රීති පද්මන් සුරසේන මහතා වයස අවුරුදු 65 සම්පූර්ණවීම නිසා ලබන දෙසැම්බරයේ විශ්‍රාම යෑමට නියමිතයි. විපක්ෂය හා සමහර පිරිස් ආණ්ඩුව අග විනිසුරුගේ විශ්‍රාම වයස අවුරුදු 02 කින් දීර්ඝ කොට ඔහු ලවා තමන්ට අවශ්‍ය පරිදි අධිකරන තීන්දු ලබා ගැනීමට යන බවට චෝදනා කළා.
ඉන් සති කිහිපයකට පසු ආණ්ඩුව සියලුම උපරිමාධිකරණ විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වා දීර්ඝ කිරීම සඳහා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත  ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළා. ඒ අතරම මහාධිකරණ, දිසා අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන් ගේ විශ්‍රාම වයස ද වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා වූ අධිකරණ විධිවිධාන (සංවිධාන) පනත් කෙටුම්පත ද ප්‍රකාශයට පත් කළා.
මෙම පනත් කෙටුම්පත් දෙකට දැඩි විරෝධය පාමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ පක්ෂ ප්‍රකාශ කළේ මෙමඟින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කොට ආණ්ඩුව ඒකාධිපති පාලනයකට යන බවයි. ආණ්ඩුව විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමෙන් සිදුකරන්නේ ඔවුන්ට අල්ලස් දීමක් බවත්, මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම බවත් මහාචාර්ය ජී. එල්. පීරිස්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ නායකයින් කියා සිටියා.
මෙම පනත් කෙටුම්පත් දෙක පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ආරම්භ වන 23 වැනිදා පෙරවරුවේ පාර්ලිමේන්තු වටරවුම අසල පොල්දූව මංසන්ධියේ දී විරෝධතා ව්‍යාපාරයක් සියලුම පක්ෂවල සහභාගිත්වයෙන් පැවැත්වීමට මෛත්‍රී ගුණරත්න මහතාගේ නායකත්වයෙන් යුත් ''ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා වන නිදහස් සටන් මධ්‍යස්ථානය'' කටයුතු කළා.  ඒ සඳහා ඔවුන් කොළඹ 'ජානකී' හෝටලයේ දී සියලුම පක්ෂ හා සිවිල් සංවිධාන, වෘත්තීය සමිති කැඳවා සාකච්ඡාවක් ඉකුත් 22 දා පැවැත්වූවා. මෙම සාකච්ඡාවට සමගි ජන බලවේගයේ අජිත්. පී. පෙරේරා, මුජිබර් රහුමාන් යන මන්ත්‍රීවරුන් ද සහභාගි වී සිටියා. මෙහිදී ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් ගත් අතර සජබෙ වෙනුවෙන් පැමිණ සිටි මන්ත්‍රීන් දෙදෙනා ම එයට අත්සන් කළා.
එම මන්ත්‍රීවරුන් දෙදෙනා මෙම සාකච්ඡාවේ දී ගනු ලැබූ තීරණ සමගි ජන බලවේගයේ නායකත්වයට වාර්තා කළා. සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ 24 වනදා විරෝධතා සමගි ජන බලවේගයේ නායකත්වයෙන් පැවැත්විය යුතු බවයි. අනිත් පක්ෂ හා සංවිධානවලට ද එයට එක්විය හැකි බවත් ඔහු කියා සිටියා.
සජිත් ප්‍රේමදාස මහතා ගේ මෙම තීරණය නිසා මෛත්‍රී ගුණරත්න ඇතුළු පිරිස පසුවුණේ මහත් අසීරු තත්වයකට යි.

අප පසුගිය සතියේ මෙම තීරුවෙන්  සජිත් විපක්ෂයේ විරෝධය 'හයිජැක්' කළ වාර්තා කළා.

එසේ වුවද රාජිත සේනාරත්න මහතාගේ මැදිහත් වීමෙන් 24 වනදා පැවැත්වෙන විරෝධතාවට සහභාගිවීමට 'ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා වන නිදහස් සටන් මධ්‍යස්ථානය තීරණය කළා.
එහෙත් සජබ මන්ත්‍රී එස්. එම්. මරික්කාර් හා සජබ ආසන සංවිධායකයනු වන මහේෂ් සේනානායක යන මහත්වරුන් විසින් මාධ්‍යවලට කළ ප්‍රකාශ නිසා 'සටන් මධ්‍යස්ථානය' ඇතුළු සෙස පක්ෂ මහත් අසීරු තත්වයකටයි පත්වුණේ.
සමගි ජන බලවේගයේ විරෝධතාවයට සහභාගි කර ගත්තේ එක්සත් ජාතික පක්ෂය පමණක් බවත්, සියයක, දෙසියයක පමණ කුඩා කණ්ඩායම රැගෙන විරෝධතාවයේ පෙරමුණ ගැනීමට කිසිවකුටත් ඉඩ නොදෙන බවත් මරික්කාර් මහතා පැවසුවා. එසේම දූෂණ වංචා පිළිබඳ නඩු තිබෙන්නන් ද මෙයට එක්කර නොගන්නා බව ද ඔහු සඳහන් කළා.
මරික්කාර් මහතා ගේ මෙම ප්‍රකාශය සජිත් ප්‍රේමදාස මහතාගේ අවශ්‍යතාවය මත එකක් බවයි විපක්ෂයේ සෙසු පක්ෂ ප්‍රකාශ කළේ.
ඔවුන් 23 වනදා ටිරාන් අලස් මහතාගේ නිවසේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් පසු 24 වනදා සජබ නායකත්වයෙන් පැවැත්වීමට යන විරෝධතාවයට එක් නොවීමට තීරණය කළා.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කලින් පවසා තිබුණේ මෙම උද්ඝෝෂණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ සියලුම පක්ෂ එක්කර ගත යුතු බවයි. එහෙත් සජබ මන්ත්‍රී මරික්කාර ගේ ප්‍රකාශයෙන් පසු එක්සත් ජාතික පක්ෂය ද එයට එකතු නොවන බව සාගල රත්නායක මහතා ප්‍රකාශ කළා.
මේ අනුව ඒකාබද්ධ විපක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සර්වජන බලය, ඉලංගෙයි තමිල් අරසු කච්චි ඇතුළු දෙමළ පක්ෂ ද කිසිවක් 24 වනදා විරෝධතාවයට එක්ව සිටියේ නැහැ.
24 වැනිදා විරෝධතාවයට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු 25 දෙනකු ද මන්ත්‍රීවරයකු සියයක් බැගින් ද ගෙන ආ යුතු බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩර මහතා දැනුම් දී තිබුණා.
24 වැනිදා උදේ මහවැසි මැද පොල්දූව මංසන්ධියට එකතු වූ සමගි ජන බලවේගයේ පාක්ෂිකයින් සහ ආධාරකරුවන්, පාර්ලිමේන්තු වට රවුම අසල සිට සටන් පාඨ කියමින් විරෝධය ආරම්භ කොට ටික වෙලාවකට පසු පාර්ලිමේන්තුව දෙසට ගමන් කරන්නට වුණා.

මෙම පිරිස පෙළපාලියකින් පැමිණෙන විට පොලිසිය පාර්ලිමේන්තුවේ ප්‍රධාන ගේට්ටුවේ දමා තිබුණු බාධක ඉවත් කොට ඔවුන්ට ඇතුළට යාමට ඉඩ සලසා තිබුණා.

එහෙත් ඒ අසලට පැමිණි විරෝධතා කරුවන් පාර්ලිමේන්තුව දෙසට නොගොස් ආපසු පොල්දූව මංසන්ධිය කරා ආපසු ගිය අන්දම රූපවාහිනී නාලිකා මඟින් මුළු රටේ ම ජනාතවට දැකගන්නට ලැබුණා.

සමගි ජන බලවේගය බලාපොරොත්තු වුණේ පාර්ලිමේන්තුව දෙසට යන විට පොලිසිය මාර්ග බාධක යොදා ගමන අවහිර කරනු ඇති බවයි. එහිදී පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වුණේ එයින් විශාල ප්‍රවෘත්තියක් නිර්මාණය කර ගැනීමට යි.

අන්තිමට ආපහු පොල්දූව මංසන්ධියට පැමිණි විරෝධතා කරුවන් විසිර ගියා. එහෙත් විරෝධතාවයට සෙනඟ ‌ගෙන ආ සමහර සංවිධායකයින් පසුව පාර්ලිමේන්තුව ඇතුළ‌ට ගොස් දිවා භෝජනය ගත් බව වාර්තා වුණා.

සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ 24 වැනිදා පැවැත්වූ විරෝධතායට විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාඨලී චම්පික රණවක ආදී කුඩා පක්ෂවල නායකයින්  පැමිණ මාධ්‍යවලට 'වොයිෂ් කට්' දී කැපී පෙනීමට කටයුතු කරනු ඇති බැවින් සජබෙ තනිවම විරෝධතාවය පැවැත්වීමට තීරණය කළ බවයි.තමන්ට ඉහළින්  පෙනෙන අය නැඟී සිටීමට සජිත් ප්‍රේමදාස මහතා කිසිදාක ඉඩ දෙන්නෙ නැහැ. සරත් ෆොන්සේකා, පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්නආදීන් පක්ෂය හැර ගියේ ඔහුගේ මෙම ප්‍රතිපත්තිය නිසා බවයි සජබ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

මේ තත්වය යටතේ සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර කිසිදාක එකතුවක් ඇති නොවන බව විචාරකයින් පවසනවා.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට විරුද්ධව පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා විසින් සිදුකරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇති අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ නිලධාරීන්ගෙන්, සේවකයින්ගෙන් සහ කතානායක නිල නිවාසයේ භාරකාර තැනැත්තන්ගෙන්ද ප්‍රශ්න කොට තිබෙනවා.  ‍

ටැංසානියා ගිහින් ඇවිත් කතානායක ඉල්ලා අස්වේවි !??

 දැනට සති කිහිපයක සිට මෙම පරීක්ෂණ පැවැත්වෙන අතර එම චෝදනා ආණ්ඩුවේ ප්‍රතිරූපයට හානිදායක බව ආණ්ඩුවේ නායකයින් සාකච්ඡා කොට ඇතැ යි වාර්තා වෙනවා.

කතානායක වරයා නිල නිවාස දෙකක් පාවිච්චි කිරීම හා ඔහුගේ පෞද්ගලික ලේකම්ට ද රජයේ නිවසක් ලබාදීම, නියමිත ප්‍රමාණයට වඩා වාහන සඳහා ඉන්ධන පාවිච්චි කිරීම ඇතුළු චෝදනා රැසක් පිළිබඳව මෙම පරීක්ෂණ සිදු කෙරෙන බව ද දැනගන්නට තිබෙනවා.

මේ තත්වය යටතේ කතානායක ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ආණ්ඩුවේ ඉහළ තැන්වලින් ජගත් වික්‍රමරත්න මහතාට දන්වා ඇති බවත්, ඔක්තෝම්බර් මස මුල් සතියේ ටැංසානියාවේ පැවත්වෙන කතානායක සමුළුවට සහභාගි වී පැමිණීමෙන් පසු තමා ඉල්ලා අස්වන බව ඔහු දැනුම් දී ඇති බවත්  ආරංචි මාර්ග පවසනවා.

මේ අතර කතානායකවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීම සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී තීරණය වූ බවද වාර්තා වෙනවා.

කරුණු 40 කින් යුත් එම විශ්වාස භංග යෝජනාව ළඟදීම භාරදෙන බව සජබෙ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහකා මාධ්‍ය වෙත පවසා තිබුණා.

එයට පෙර කතානායකවරයා සිය තනතුරෙන් ඉල්ලා අස්වනු ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.

    -ජගත් -