උණුසුම් පුවත්කාලීනවිශේෂාංගසාහිත්‍යය හා කලාව

ටෙනිසන් පෙරේරා සූරීන් දිවිසැරිය හමාර කරයි

දෙටු සොවුර සුබ ගමන්!

හෙළ සාහිත කෙත අස්වද්දමින් ලාංකේය පාඨකයා නව මං ඔස්සේ කැන්දන් යෙමින්, සිය කෘතහස්ථ නිර්මාණශීලීත්වයෙන් බස් වහර පොහොසත් කරමින්, අද්විතීය මෙහෙයක නිරත වූ, සම්මානනීය ගත්කතුවර, ටෙනිසන් පෙරේරා මහතා, අභාවප්‍රාප්ත වූ බව හෙළදිව සාතිශය සංවේගයෙන්, දැනුම් දෙනු ලබන්නේ ය.

ටෙනිසන් පෙරේරා මහතා කෙටිකතා, නවකතා සහ පරිවර්තන ඇතුළුව රචිත කෘති සංඛ්‍යාව 100 කට අධික ය.

1958 වසරේදී “උත්තරීතර සඳඑළිය” නමැති කෘතියෙන් සිය සාහිත්‍ය ගමන නමෝවිත්තියෙන් ඇරඹූ  ටෙනිසන් පෙරේරා මහතා, අනතුරුව නිමහම් කළ “දුට්ඨගාමිණී නොමළ වගයි”,සක්වළ දඩයම, එකොළොස් ගිනි, දණ්ඩභූමි, සසර දිගන්තය ඇතුළු  නිර්මාණ කෘති පාඨකයා වෙත තිළිණ කළේ ආන්දෝලනාත්මක ලේඛකයකු සේ සාහිත්‍ය ලෝකය එකලු කළ සාහිතවේදියෙකු ය.

1967 වසරේදී  ටෙනිසන් පෙරේරා පළ කළ “දැති රෝදෙන් උපන් බුදුන්” නමැති කෙටිකතා සංග්‍රහය ඔහුගේ ලේඛන දිවියේ වඩාත්ම ආන්දෝලනාත්මක නිර්මාණය සේ දැක්විය හැකි ය.

බෞද්ධ සමිති සම්මේලනය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, රජය විසින් එම ග්‍රන්ථය තහනම් කරන ලදී.

කාර්මික බුදුවරයෙකුගේ අවශ්‍යතාවය යෝජනා කරමින් ධනේශ්වර සමාජය සහ ආගමික ආයතන විවේචනයට ලක් කළ එම කෘතියෙන් බුදු දහමට අපහාස වන බව පවසමින් එකී පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබිණි

ශ්‍රී ලංකාවේ තහනමට ලක්වූ ප්‍රථම ග්‍රන්ථය ලෙස “දැති රෝදෙන් උපන් බුදුන්” නම් පෙරේරා සහෘදයාගේ නිර්මාණ කෘතිය සේ සඳහන් කළ යුත්තේ ය එකී පැමිණිල්ලට අනුව,  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) මූලස්ථානයට ඔහු ගෙන ගොස් ප්‍රශ්න කළ බව ද සටහන් කළ යුත්තේ ය. කෙසේ වුව ද එම නිර්මාණ කෘතිය පසුකාලීනව නැවත මුද්‍රණය ද්වාරයෙන් පාඨක ප්‍රජාව අත පත් කෙරිණි.

ඔහු විසින් රචිත “භවාන්තරය” සහ “අබිරහස් ජීවිත තරණය” යන කෘති ස්වර්ණ පුස්තක සම්මානය සඳහා ද නිර්දේශ විය.

1940 වසරේ පෙබරවාරි මස 02 වැනිදා කැලණියේ, කුඩා බුත්ගමුව ප්‍රදේශයේ දී, ජන්මදායාදය ලද ටෙනිසන් පෙරේරා මහතා, මියයන විට 86 වැනි ජීවන ගමන්මඟේ පිවිස හුන්නේ ය. ඔහු සමාජයට පිවිසෙන්නේ රජයේ මුද්‍රණාලයේ ආධුනිකයකු සේ වෘත්තීය පුහුණු ලබමිනි.

කෙටිකතා

උත්තරීතර සඳඑළිය (1958)

දැති රෝදෙන් උපන් බුදුන් (1967) - වාරණය වී ඇත.

රතු බැනරය

නිදහසේ දරුවාගේ උමතු කතාව

ඔව් නගරයෙන් නෑ නගරයට

මහගෙදර නිධානය

ඉන්ද්‍රජාල කතන්දර

වෛවර්ණ

අසිරිමත් වැඩබිම (රාජ්‍ය සාහිත්‍යය සම්මාන)

වීරබිමේ කළබැගෑනිය (2012)

නවකතා

දුට්ඨගාමිණී නොමළ වගයි (1968)

සත්‍යවාදීන්ගේ මරණ මංචකය

අග්නි කල්පය

සක්වල දඩයම

මම චක්‍රවර්ති

මම වෙස්මාරු කරගෙන

රාජාභරණ

ගින්නෙන් නැගෙන දුම්

භවාන්තරය (ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශ විය)

අබිරහස් ජීවිත තරණය (ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශ විය)

සසර දිගන්තය

මහා රාවණා (ෆෙයා වේ සම්මානය)

එකොලොස් ගිනි

දණ්ඩභූමි

සූරිය කන්ද පාමුල

පරිවර්තන

නඩු යන්නෝ (ෆ්‍රාන්ස් කෆ්කාගේ the Trial නවකතාවේ සිංහල පරිවර්තනයකි)

රූපාන්තරණය (ෆ්‍රාන්ස් කෆ්කාගේ metamorphosis නවකතාවේ සිංහල පරිවර්තනයකි)

අරාබි නිසොල්ලාසය

ප්‍රේමය සහ තවත් යක්කු