උණුසුම් පුවත්විශේෂාංගසතියේ සටහන

ටෙලිපෝනයෙන් හලෝ කියන්න අලුත් කට්ටියක් අවශ්‍යම ලු – ඇතුළෙ ජරමර

ජගත් ගේ සතියේ සටහන  -  76

 

දෙවැනි පෙළක් හදන්නෙ නැතැයි චෝදනා ලබන සජිත්

ටෙලිපෝනයට අලුත් නායකත්වයක් වහාම නෑ ලු

සමගි ජන බලවේගය එක දිගට ම ජනාධිපතිවරණ දෙකක්, මහ මැතිවරණ තුනක් සහ පළාත් පාලන  මැතිවරණයක් පරාජයට පත්වී ඇති හෙයින් පක්ෂය ආරම්භයේ සිට කටයුතු කළ නිලධාරීන් සහ නායකයින් වහා ම වෙනස් කරන්නැ යි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් 10 කු හා ආසන සංවිධායකයින් පිරිසක් පසුගිය සතියේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෞද්ගලිකව ම හමුවී ඉල්ලා ඇතැයි සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා.

එසේ දැන් සිටින නායකයින් ඉවත් කර ජනතා ආකර්ෂණය දිනාගත හැකි පුද්ගලයින් එම තනතුරුවලට පත්කරන ලෙස ද මොවුන් ඉල්ලා ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කරනවා.

පසුගිය මැතිවරණ පරාජය වීම ගැන ආසන සංවිධාකයින්ට පමණක් චෝදනා කොට ඔවුන් පමණක් එම තනතුරු වලින් ඉවත් කිරීමට පක්ෂය කටයුතු කිරීම අසාධාරණ බව ද  ඔවුන් සජිත් ප්‍රේමදාස මහතාට පවසා තිබෙනවා.

ඔවුන් පක්ෂ නායකත්වයට මෙසේ දැඩිව ප්‍රකාශ කර ඇත්තේ පක්ෂයේ පරාජයට වගකිව යුතු බව පවසමින් සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන් පිරිසක් ඉවත් කිරීමට සූදානම් වූ අවස්ථාවේ දී බව යි දැනගන්නට තිබෙන්නේ. 

පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කෙළේ නම් මහ මැතිවරණයේ දී පක්ෂයට මීට වඩා වැඩි ආසන සංඛ්‍යාවක් ජයගත හැකිව තිබු බවත් පවසා ඇති මෙම මන්ත්‍රීවරුන් හා ආසන සංවිධායකයින් පසුගි්ය ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය අතුළු සෙසු දේශපාලන පක්ෂ සමඟ පුළුල් සංධානයක් ඇති කර ගත්තේ නම් විශාල ජයග්‍රහණයකට යෑමට අවස්ථාව තිබු බව ද පෙන්වා දී තිබෙනවා.

සජිත්ට ටෙලිපෝනයේ පිරිසක යළි පොලු හරස් කරයි?

එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතා රට භාර ගැනීමට කතා කළ මුල් අවස්ථාවේ විපක්ෂ නායකයා වශයෙන් එය භාර ගත්තේ නම් යම් නමක් හදා ගැනීමට සජිත් ප්‍රේමදාස මහතාට අවස්ථාව තිබූ බව ද පැවසූ මෙම පිරිස රනිල් වික්‍රමසිංහ පසුගිය ජනාධිපතිවරණයේ දී ලක්ෂ 20 ක ඡන්ද පදනමකට ගියේ රට භාර ගැනීමෙන් යම් නමක් හදා ගැනීම නිසා බවයයි පෙන්වා දුන් බවත් වාර්තා වෙනවා.

විපක්ෂ නායකවරයාට රට භාර ගන්නා ලෙසට ගෝඨාභය ආරාධනා කළ අවස්ථාවේ දී පක්ෂයේ සිටින ඇතැම් ඔස්තාර්ලා ඒ අවස්ථාවේ රට භාර නොගන්නැ යි පවසමින් සජිත් ප්‍රේමදාස මහතා අධෛර්යමත් කළ බවත් පවසා ඇති ඇතැම් ආසන සංවිධායකයින් හා පක්ෂ ජ්‍යෙෂ්ඨයින් ආරම්භයේ සිට මේ දක්වා ම කටයුතු කරන නායකයින් හා නිලධාරීන් වහාම වෙනස් කොට නිර්මාණශීලී අදහස් ඇති තරුණ නියෝජිතයින් පක්ෂයේ මුල් පුටුවලට ගෙන ආ යුතු බව ද පෙන්වා දී තිබෙනවා.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂය 'ජනබල සේනා'  වැනි උද්ඝෝෂණ හා විරෝධතා රට පුරා පවත්වමින් එම ආණ්ඩුවට විරුද්ධව ජනතාව පෙළ ගැස්වූ අතර විපක්ෂයේ සෙසු පක්ෂ ද හවුල් කරගෙන කටයුතු කිරීම නිසා 2015 දී මහින්ද ගේ ආණ්ඩුව පරාජය කිරීමට හැකි වූ බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පවසනවා.

එහෙත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එඔහුගේ ආණ්ඩු විරෝධය පාර්ලිමේන්තුවටත්, පුවත්පත් සාකච්ඡාවලටත් සීමා වී ඇති බව සඳහන් කරන පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ප්‍රසිද්ධියට බලවත් ආසාවකින් පෙළෙන සජිත් පාර්ලිගමේන්තුවේ දී හැමදාම උදේට 27 (2) ස්ථාවර නියෝග යටතේ  ප්‍රශ්න අසන බවට පක්ෂ නායකයින්ට ලැබී ඇති අවස්ථාව යොදා ගනිමින් ප්‍රශ්න අසන්නේ රූපවාහිනියේ මුහුණ දමා ගැනීමට බවත් කියා සිටිනවා.

එසේම ඔහු පක්ෂයේ කටයුතු වලදී පක්ෂය තුළ දෙවැනි පෙළ නායකත්වයක් බිහිවීමට ඉඩ නොතබා, ඔවුන්ට තැනක් නොදීම හේතු කොට ගෙන පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කලකිරී සිටින බව සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

පක්ෂයේ සභාපතිවරුන්ව සිටි සරත් ෆොන්සේකා, ඉම්තියාස් බාකිර් මාකාර් යන මහත්වරුන් පක්ෂයේ තනතුරුවලින් ඉවත් වූයේ ද නායකයාගේ ඒකාධිපති ක්‍රියාකලාපය නිසා බව ද පවසන එම ජ්‍යෙෂ්ඨයින් පක්ෂය ඉදිරියට යාමට නම් නායකත්වයේ වෙනසක් සිදුකළ යුතුව ඇතැ යි පවසනවා.

පසුගිය ජනවාරි මාසයේ කොළඹ වරායේ පැවති බහාලුම් නිශ්කාෂණය කිරීමේ ප්‍රමාදයෙන් සිදුවූ තදබදය මඟ හැරීමට කන්ටේනර් 309 ක් රෝගු පරීක්ෂාවකින් තොරව මුදා හැරීමේ සිද්ධියේ හේතුවෙන් ආණ්ඩුවේ කීර්තියට කළු පැල්ලමක් ඇති වී තිබෙන අතර එය විපක්ෂය ආණ්ඩුවට පහර එල්ල කිරීම සඳහා ප්‍රබල ආයුධයක් කරගෙන තිබෙන බවයි පෙනෙන්නේ.

මෙම සිද්ධිය මුලින් ම එළියට ආවේ රේගුවේ වෘත්තීය සමිතියක් විසින් කරන ලද අනාවරණයක් නිසයි. වරායේ පැවති තදබදය මධ්‍යයේ රේගුවේ බලධාරීන් කන්ටේනර් 309 ක් රේගු පරීක්ෂාවකින් තොරව මුදා හැරිය බවත් ඒවා අතර අත්‍යවශ්‍යයෙන් ම පරීක්ෂා කළ යුතු බවට 'රතු ලේබල්' ගැසූ කන්ටේනර් 109 ක් හා ස්කෑන් පරීක්ෂාවට ලක්කළ යුතු බවට 'කහ ලේබල්' ගැසූ කන්ටේනර් 57 ක් ද තිබු බවත් එම වෘත්තීය සමිතිය හෙළිකොට තිබුණා. 

ඒ පිළිබඳව රේගු බලධාරීන් පැවසුවේ වරායේ තදබදයක් පැවති අවස්ථා වලදී මීට පෙරත් මෙසේ රේගු පරීක්ෂාවකට ලක් නොකොට කන්ටේනර් මුදා හැර ඇති බවයි. එසේ මුදා හරිනු ලබන්නේ නිරතුරුව ම භාණ්ඩ ආනයනය කරන විශ්වාසවන්ත සමාගම් මඟින් ගෙන්වන කන්ටේනර් බව ද රේගුව පැවසුවා.

එහෙත් මුජිබර් රහුමන්, දයාසිරි ජයසේකර ආදි විපක්ෂයේ මන්ත්‍රීවරුන් කියා සිටියේ පරීක්සාවකින් තොරව නිදහස් කළ මෙම කන්ටේනර් තුළ නීතිවිරෝධි භාණ්ඩ තිබෙන්නට ඉඩ ඇති බවයි. මෙම කන්ටේනර් අතර ප්‍රභාකරන්ගේ අවි ආයුධ සහිත කන්ටේනරයක් ද තිබු බව තමාට දෙමළ ඩයස්පෝරාව දන්වා ඇති යි රාමචන්ද්‍රන් අර්චුනා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කිරීමත් සමඟ තත්වය තවත් උණුසුම් වුණා.

මෙසේ රේගු පරීක්ෂාවෙන් තොරව මුදා හැර ඇත්තේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන බස්නාහිර පළාත් ආණ්ඩුකාර යූසුෆ් මහතාට අයත් කන්ටේනර් බවට ද විපක්ෂයේ පිරිසක් චෝදනා කළා.

 

මේ පිළිබඳව බස්නාහිර ආණ්ඩුකාරවරයා තමාට විරුද්ධව අසත්‍ය ප්‍රචාර ගෙනයෑම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමෙන් පසු එම චෝදනාව යටපත් වී ගියා.

ඉන්පසු විපක්ෂය චෝදනා කළේ ආණ්ඩුවේ ගජ මිතුරු ව්‍යාපාරිකයින් ගේ කන්ටේනර් වරායේ තදබදය අස්සේ මුදා හැර ඇති බවට යි.

මේ පිළිබඳව සොයා බැලීමට මුදල් ඇමති වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රේගුවේ හා විගණක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් යුත් පංච පුද්ගල කමිටුවක් ද පත්කරනු ලැබුවා.

එහි වාර්තාව පසුගිය ජුනි 20 දා කමිටුව විසින් ජනාධිපතිවරයාට භාර ද තිබෙනවා. එහෙත් ආණ්ඩුව එය ප්‍රකාශයට පත් කළේ නැහැ.

මේ අතර සමගි ජන බලවේගයේ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පසුගිය දා මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිගපත් කළා.

අවදානම් වාර්ගීකරණය යටතේ අනිවාර්යයෙන් ම ස්කෑන් පරීඛ්ෂාවට ලක්කළ යුතු රතු ලේබල් යටතේ වූ කන්ටේනර් 151 ක් අතුරින් කන්ටේනර් 37 ක් කිසිදු ස්කෑන් හෝ භෞතික පරීක්ෂාවකට ලක් නො‌කොට ඇතැ යි ජනාධිපතිවරයා පත් කල එම කමිටු වාර්තාවේ සඳහන් වන බව ද රහුමාන් මහතා කියා සිටියා.

මෙම කන්ටේනර් පිට කිරීමේ දී අපගමනයක් සිදුව ඇතැ යි කමිටු වාර්තාවේ සඳහන් වන බව පැවසූ මන්ත්‍රීවරයා මෙම සිද්ධියේ දී බරපතල දූෂණයක් සිදුවී ඇති බව ද ප්‍රකාශ කළා.

කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා මේ ගැන අදහස් දක්වමින් කමිටු වාර්තාවට අනුව ඒ සිද්ධියට යමෙකු වගකිව යුතු නම් අදාළ සියලු දෙනාට අවශ්‍ය පියවර ගන්නා බව කියා සිටියා.

මේ අතර මේ සිද්ධිය ගැන අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.

කන්ටේනර් මුදා හැරීම ගැන ජනපති කවරකාර තීරණයක් ගන්නේ ද?

 

පාර්ලිම්න්තුවේ දී කළ ප්‍රකාශ පිළිබඳව අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ ලබා ගැනීම මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝණය කිරීමක් බවට දයාසිරි ජයසේකර මහතා පෙරේදා පාර්ලිමේන්තුවේ දී චෝදනා කළා.

සභානායක ඇමති බිමල් රත්නායක මහතා පැවසුවේ මේ කන්ටේනර්වල මත්ද්‍රව්‍ය, අවි ආයුධ තිබෙන බවට කල ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මන්ත්‍රීන් කැඳවා ඇති බවයි. පාර්ලිමේන්තුවේ දී බොරු නොකියා සත්‍ය පමණක් ප්‍රකාශ කොට තිබේ නම් එසේ ප්‍රකාශ කළ කරුණු ඔප්පු කිරීමට සාක්ෂි තිබේ නම් අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යාමට කිසිවකු බියවිය යුතු නැති බව ද බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළා.

කෙසේ වුවද ආණ්ඩුවට කළු පැල්ලමක් එක්කොට ඇති මේ සිද්ධිය ගැන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කුමන පියවරක් ගනීවිදැ යි බොහෝ දෙනා බලා සිටින බවයි වාර්තා වෙන්නේ.

⋆⋆⋆⋆⋆   ⋆⋆⋆⋆⋆   ⋆⋆⋆⋆⋆

කතානායකට විශ්වාසභංගයක්?

හිටපු අය ලද වරප්‍රසාද 1/10 වත් වත්මන් කතානායක ගන්නෙ නැති ලු  

මේ අතර පාර්ලිමේන්තුවේ කතානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් පිරිසක් කටයුතු කරගෙන යන බව වාර්තා වෙනවා.

කතානායකවරයා සිය තනතුර යොදා ගනිමින් වැඩි වරප්‍රසාද ලබා ගැනීම හා පාර්ලිමේන්තුවේ දී ආණ්ඩු පක්ෂයට වැඩි හිතවත් කමක් දක්වමින් කටයුතු කිරීම ඇතුළු කරුණු ගණනාවක් මෙම විශ්වාසභංග යොජනාව ඉදිරිපත් කිරීමට හේතු වී ඇති බව ද පැවසෙනවා.

සමගි ජන බලවේගයේ මුජිබර් රහුමාන් හා දයාසිරි ජයසේකර යන මන්ත්‍රීවරු මෙම යෝජනාවට සෙසු මන්ත්‍රීවරුන් ගේ අත්සන් ලබා    ගැනීමට කටයුතු කරගෙන යන බවට ද දැනගන්නට තිබෙනවා.

මේ අතර හිටපු ජනාධිපතිවරයකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ පෞද්ගලික ලේකම් වරයකුව සිටි සුගීශ්වර බණ්ඩාර මහතා ද කතානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කර තිබෙන බව ද වාර්තා වෙනවා.

එහෙත් පාර්ලිමේන්තු සේවකයින් පවසන්නේ වර්තමාන කතානායක වරයා කලින් සිටි කතානායකවරුන් ලබාගත් වරප්‍රසාද වලින් 1/ 10 ක් වත් ලබා නොගන්නා බවයි.

  - ජගත් -