ආරක්ෂකඋණුසුම් පුවත්දේශපාලන

ඩොක්යාර්ඩ් ඉඩම් කුණුකොල්ලයට විකුණාලා?

පර්චසය රුපියල් 62,250 දී ඇති බවට පුබුදු ජාගොඩ චෝදනා කරයි

ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යාංශය (MOD) මගින් කළමනාකරණය කරනු ලබන මැසගන් ඩොක් (MDL) සමාගමට කොළඹ ඩොක්යාර්ඩ් සමාගමේ කොටස්වලින් සියයට පනස් එකක් (51%)  ලබා දී ඇත්තේ පර්චසයක් රුපියල් 62,250 ට යැ යි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.  

 ‘‘මෙවැනි කටයුත්තක් කොළඹ සහ ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව සිදුවීම ලංකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්. ඒ වගේම භූ දේශපාලන උගුලක අප පැටලෙනවා. මීට අදාළ ගිවිසුම අත්සන් කර තිබෙන්නේ ජුනි 27 වැනිදා. මෙය මුළුමනින්ම හොර ගිවිසුමක්. අප දන්නා තරමින් මේ සඳහා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය විධිමත්ව අරන් නැහැ. සේවකයන්ට ගිවිසුමේ පිටපතක් පෙන්වා තිබෙනවා. නමුත්, සාකච්ඡාවකට ඉඩක් දී නැහැ. මේ ආකාරයට හොර ගිවිසුම් අත්සන් කරන්නේ ඉන්දියාව සමග හොර ගිවිසුම් හරහා ඇති කරගත් එකඟතා නිසා බව ද හේ අවධාරණය කළේ ය.

කොළඹදී මාධ්‍ය හමුවක දී ජාගොඩ මහතා ඉහත දැක්වෙන කරුණු අනාවරණය කළේ ය.

මේ වගේම හොර ගිවිසුමක් වන 2025 අප්‍රේල් 5 වැනිදා අත්සන් කළ ඉන්දු – ලංකා ආරක්ෂක සහයෝගිතා ගිවිසුමේ 2.2.8 වගන්තියේ තිබෙනවා නැව් ඉදිකිරීම, නැව් අලුත්වැඩියාව, ජල ශාස්ත්‍රීය මිනුම් කටයුතු සහ සමුද්‍රීය මිනුම් කටයුතු සඳහා ඉන්දියාවට ඉඩ දෙනවා කියලා"

''ආණ්ඩුව බොරුවට ජපන් සමාගම පෙන්වා කර ඇරියාට කොළඹ ඩොක්යාඩ් සමාගම ඉන්දියාවට දෙන්නේ ආණ්ඩුවේ තීරණයකින්. නැතිනම් කොටස් වෙළෙඳපොළට නිදහස් නොකළේ ඇයි? මේ කොටස් රජය මිලදී නොගත්තේ ඇයි? ඉන්දියානු සමාගම කරන ආයෝජනය ඩොලර් මිලියන 47 යි.

එක වසරකදී නැව් අලුත්වැඩියාවෙන් පමණක් සොයන ශුද්ධ ලාභය ඩොලර් මිලියන 10 ක්. ණයක් අරන් කොටස් මිලදී ගත්තත් අවුරුදු පහෙන් ණය ගෙවන්න තිබුණා" යි පැවසූ හෙතෙම

''ඩොක්යාඩ් සමාගම සතුව කොළඹ වරාය අසල අක්කර 25 ක ඉඩමක් තියෙනවා. ඒ ඉඩම අවුරුදු 5 කට කුලියට දුන්නත් මේ ගාණට පාඩුයි. ඩොලර් මිලියන 47 – 50 කියන්නේ අවුරුද්දකට ඩොලර් මිලියන 10 යි. මාසෙකට ඩොලර් ලක්ෂ අටයි දශම තුනයි (8.3) යි. ඒ කියන්නේ අක්කරයක් මාසෙකට ඩොලර් 33,200 යි. පර්ච් එකක් දීලා තියෙන්නේ ඩොලර් දෙසිය හතයි දශම පහකට (207.50) තව තේරෙන්න කිව්වොත් පර්ච් එක රුපියල් 62,250 ගානේ දීලා තියෙන්නේ. මේ ලෝක ශ්‍රේණිගත කිරීමවල 16 වැනි ස්ථානයේ තියෙන වරායක ඉඩමක්. මේකේ ආර්ථික පාඩුව" යි කියමින්,

ඊට වඩා දේශපාලන විශාල අවදානමක් ඇති බව සඳහන් කළ පුබුදු ජාගොඩ මහතා ජනතාද්‍රෝහී  මේ ගිවිසුම පරාජය කරන්න ජනතාව වහා  පෙළ ගැසිය යුතු බව ද ප්‍රකාශ කළේ ය.