උණුසුම් පුවත්කාලීනදේශපාලනසතියේ සටහන

තරුවෙන් තරග කළා නම් මාතර රැක ගන්න තිබුණා යැ යි අභ්‍යන්තර ගැටුමක්

ජගත් ගේ සතියේ සටහන  -  49

ආණ්ඩුවට  කොකා පෙන්නූ හාල් මෝල්ලු 

මේ දිනවල රටේ පවතින සහල් හිඟය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය ආණ්ඩුවට ජනතාවගෙන් බරපතල විවේචන එල්ල වෙමින් පවතිනවා.

මහජනයා වැඩි වශයෙන් පරිභෝජනයට ගන්නා නාඩු සහ කැකුළු සහල් වල විශාල හිඟයක් පවතින නමුත් කිරි සම්බා වැනි මිල අධික සහල් වර්ග වෙළඳ පොළේ තිබෙනවා.

ශ්‍රී ගංකාවේ සහල් ඒකාධිකාරිය පවතින්නේ ප්‍රධාන සහල් මෝල් හිමියන් පස් දෙනකු සතුව යි. වෙළඳ පොළේ සහල් මිල තීරණය කරන්නේ ඔවුන් විසින්. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ සහල් මෝල් හිමියන් කැඳවා සාකච්ඡාවක් කළ අතර සහල්වල පාලන මිල කිලෝවකට රුපියල් දහය බැගින් වැඩි කිරීමට ද එකඟ වුණා.  හිඟයකින් තොරව සහල් වෙළඳ පොළට නිකුත් කරන බවට ඔවුන් එහිදී ජනාධිපතිවරයාට පොරොන්දු වී ගිය නමුත් තවමත් නාඩු හා කැකුළු සහල් වෙළඳ පොළට සපයන්නෙ නැහැ.

මේ නිසා ආණ්ඩුව නාඩු සහ කැකුළු සහල් ඉන්දියාවෙන් ගෙන්වීමට පෞද්ගලික අංශයේ වෙළෙන්දන්ට අවසරය දුන්නා. ඒ අතර රජය සතු රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවට හා සතොසට ද සහල් ගෙන්වීමට කැබිනට් මණ්ඩලය අවසර ලබා දුන්නා. ඒ මාස දෙකකට පෙරයි.

මේ වන විට පෞද්ගලික වෙළඳුන් සහල් මෙට්‍රික් ටොන් 7200 ක් ඉන්දියාවෙන් ගෙන්වා තිබෙනවා. එහෙත් රාජ්‍ය ආයතන වන සතොස සහ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවමේ වන විට සහල් ඇටයක්වත් ආනයනය කොට නැතැ යි විපක්ෂය චෝසනා කරනවා.

මේ වන විට පිටකොටුවේ තොග වෙළඳුන් සතුව නාඩු සහ කැකුළු සහල් තොග තිබෙන අතර ඔවුන් ඒවා සිල්ලර වෙළඳුන්ට දෙන්නේ කිලෝවක් රුපියල් 225 ක් බැගින්. සහල් කිලෝවක් විකිණීමෙන් ලැබෙන රුපියල් 5 ලාභය ප්‍රමාණවත් නොවන බව පවසන සිල්ලර වෙළඳුන් පිට පිට පළාත්වලට සහල් තොග ගෙනයාම අඩු කොට ඇතැ යි තොග වෙළඳුන් පවසනවා.

මේ නිසා පිට පළාත්වල සහල් හිඟයක් පවතින අතර ඒ ගැන චෝදනා එල්ල වෙන්නේ කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට හා වෙළඳ ඇමති වසන්ත සමරසිංහ  මහත්වරුන්ට යි.

ආණ්ඩුව සහල් මෝල්ලුන්ට යටවෙලා ලු

එක දවසෙන් එක පෑන් පහරින් සහල් ප්‍රශ්නය විසඳන බව ට යි කයිවාරු කෙළලා බලය ගත්තේ 

මැතිවරණට පෙර එක දවසෙන් එක පෑන් පහරින් සහල් ප්‍රශ්නය විසඳන බවට පොරොන්දු වූ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සහල් මෝල් හිමියන්ට යටවී ඇතැ යි පවසමින් විපක්ෂය ආණ්ඩුවට චෝදනා කිරීමට පටන් ගෙන තිබෙනවා.

මේ අතර තමා කෘෂිකර්ම ඇමතිව සිටිය දී සහල් කිලෝවක මිල රුපියල් 170 ක් වූ බවත් දැන් මේ ආන්ඩුවේ අකාර්යක්ෂමභාවය නිසා එය රුපියල් 230 දක්වා ඉහළ ගොස් තිබෙන බවත් හිටපු කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා චෝදනා කරනවා.

පසුගිය නොවැම්බර් මස 14 වැනිදා පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් විපක්ෂයේ සියලු පක්ෂවලට අත්වූයේ අන්ත පරාජයක්. එහි ප්‍රතිඵලයක් වශයෙන් එම මැතිවරණයට තරඟ කළ පක්ෂ හා සන්ධාන තුළ මතභේද හටගෙන ඇති අතර දැන් එම පක්ෂ යඵි වෙනත් සාධක ඇති කර ගනිමින් ඉදිරි පළාත් පාලන මැතිවරණවලට ඉදිරිපත් වීමට කටයුකු කරගෙන යනවා.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය තුළ ද මත ගැටුම්

මහ මැතිවරණයෙන් තම පක්ෂට හිමිව තිබූ එකම මන්ත්‍රී ආසනයද අහිමි වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය තුළ ද මත ගැටුම් හටගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ රැස්වීමක් පසුගිය සතියේ පැවති අතර එහිදී කොමියුනිස්ට් පක්ෂයේ අනන්‍යතාවයට හානි වන පරිදි පක්ෂ ලේකම් වරයා ඇතුළු පිරිසක් කටයුතු කොට ඇතැ යි පවසමින් මධ්‍යම කාරක සභාවේ පිරිසක් පක්ෂයේ ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතාට විරෝධය පළ කොට තිබෙනවා.

පසුගිය ජනාධිපතිවරණයට පෙර කොමියුනිස්ට් ප න්ෂය ජාකිවාදී අදහස් දරණ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, අතුරැලියේ රතන හිමි ගෙවිඳු කුමාරගුංග ආදීන් සමග උත්තර ලංකා සභාගය නමින් නව සන්ධානයක් පිහිටුවා ගැනීම, පසුව ජනාධිපතිවරණයේ දී මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතාට ජනාධිපති අපේක්ෂකයකු ලෙස තරග කිරීම සඳහා පක්ෂයේ 'තරුව' ලකුණ ලබාදීම ද මෙහිදී මධ්‍යම කාරක සභිකයින්ගේ දැඩි විවේචනයට භාජනය වූ බව ද එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඉනපසු නොවැම්බරයේ පැවති මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය දිලිත් ජයවීර මහතා පිහිටුවා  ගෙන ඇති සර්වජන බල පක්ෂය සමඟ එක්වී තරග කළ අතර, සර්වජන බලයේ පදක්කම ලකුණින් මාතර දිස්ත්‍රික්කයට තරග කළ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පරාජයට පත්වුණා.

කොමියුනිස්ට් පක්ෂයට අතීතයේ සිට ම මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද පදනමක් පවත්නා බැවින් වීරසුමන වීරසිංහ මහතා පක්ෂයේ 'තරුව' ලකුණෙන් තරග කළේ නම් ජය ගැනීමට ඉඩ තිබුණු බව පසුගිය සතියේ පැවති පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී සාකච්ඡා වී තිබෙනවා.

කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ජී. වීරසිංහ මහතා ගේ නම සර්වජන බලයේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කොට තිබුණත් එම පක්ෂයට ලැබුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පත්වූයේ දිලිත් ජයවීර මහතා යි.

මේ තත්වය යටතේ පක්ෂයට අත්වූ දරුණු පරාජය පිළිබඳව චෝදනා එල්ල වී තිබෙන්නේ පක්ෂයේ ලේකම් වීරසිංහ මහතාට යි.

පසුගිය මධ්‍යම කාරක සභා රැස්වීමේ දි මේ පිළිබඳව උණුසුම් වාද විවාද පැවති අතර එක් අවස්ථාවක පක්ෂයේ ප්‍රධානියකු, පක්ෂයේ ජ්‍යේෂ්ඨ මධ්‍යම කාරක සභීකයකුට වතුර බෝතලයකින් පහර එල්ල කළ බව ද එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

මේ අතර මෙම මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ වැඩි පිරිසක් පවසන්නේ පක්ෂය පසුගිය කාලයේ අනුගමනය කළ ක්‍රියාමාර්ග පිළිබඳව ස්වයං විවේචනයක් කොට පක්ෂය නව නායකත්වයකින් යුතුව ඉදිරියට ගෙන යාමට කටයුතු කළ යුතු බව යි.

මහ මැතිවරණයේ පරාජයෙන් පසු පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම වෙනුවට පක්ෂ නායකත්වය ඒකාධිපති අන්දමින් කටයුතු කිරීම හේතුවෙන් සමගි ජන බලවේගයේ හවුල්කාර පක්ෂ හා සාමාජිකයින් දැඩි කලකිරීමකට පත්ව සිටින අතර සමහරු පක්ෂය හැරදමා යාමට පටන් ගෙන ඇතැයි සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

පසුගිය ආණ්ඩුව කාලයේ පොදුජන පෙරමුණෙන් ඉවත්වී ඩලස් අලහප්පෙරුම මහතා ගේ නිදහස ජනතා සභාවට එකතු වී ඉකුත් මහ මැතිවරණයේ දී සමගි ජන බලවේගයට එක්වූ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා පෙරේදා (27) එම පක්ෂයෙන් ඉවත් වුණා.

තමා දේශපාලනයෙන් සමුගක්නා බව පෙරේදා පානදුරේ දී මාධ්‍ය හමුවක් පැවැත්වූ ලලිත් එල්ලාවල මහතා එහිදී පක්ෂ නායකත්වයට චෝදනා රැසක් එල්ල කළා.

''සමගි ජන බලවේගය ඇතුළෙ තියෙන්නේ අපි බලාපොරොත්තු වෙච්ච දේ නෙවෙයි. සමගි ජන බලවේගය කිව්වට මේ පක්ෂය ඇතුළෙ කිසිම සමගියක් නැහැ. මහා ඒකාධිපති පාලනයක් තියෙන්නෙ. වැඩක් කරන්න කැමති කෙනකුට මේකේ වැඩක් කරන්න ඉඩ දෙන්නෙ නැහැ" යි එල්ලාවල මහතා කියා සිටියා.

ලලිතු යි, ජගතුයි ටෙලිපෝනය ඩිස්කනෙක්ට් කළා ලු

සමගි ජන බලවේගය තව ටික කලක් යනකොට අලියා ගිල්ල දිවුල් ගෙඩියක් වගේ වෙනු ඇති බව පැවසූ එල්ලාවල මහතා මේ නිසා තමා සමගි ජන බල‌ෙව්ගයේ සියලු තනතුරුවලින් ඉවත් වන බවත් තමාගේ දේශපාලනයට මින්මතු තිත තබන බවත් ප්‍රකාශ කළා.

මේ අතර අපි පසුගිය සතියේ අනාවරණය කළ පරිදි කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු ඇමතිවරයකු ද වන ඉම්තියාස් බාකීර් මාකාර් මහතා ද සමගි ජන බලවේගයේ දේශපාලන වැඩපිළිවෙල හා පක්ෂ නායකත්වය ගැන දැඩි කණස්සල්ලෙන් පසුවන බව වාර්තා වෙනවා.

මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙයට සති කිහිපයකට පෙර ඔහු විසින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යවා ඇති තීරණාත්මක යෝජනා ගණනාවක් සහිත ලිපියකට පක්ෂ නායකත්වයෙන් මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම නිසා බවයි දැනගන්නට තිබෙන්නේ.

ඉම්තියාස් ගේ යෝජනාවලට සජිත් නිහඬ ඇයි?

 

සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට ඉම්තියාස් බාකිර් මාකාර් මහතා යැවූ ලිපියේ සඳහන් යෝජනා කිහිපයක් මෙසේ යි.

පාර්ලිමේන්තු මන්ත්‍රී හමුවීම්, පක්ෂ සංවිධායක හමුවීම්, කළමණාකරණ කමිටු රැස්වීම්, කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම් විධිමත් ලෙස නිසි කාල වකවානුව තුළ පැවැත්වීම,

පක්ෂයේ මතය ගැන එක ස්ථාවරයක පමණක් කතා කිරීම,

පක්ෂයේ ආතයක භාර සංවිධායකවරුන්ට හා ප්‍රාදේශීය මහජන නියෝජිතයින්ට පක්ෂ නායකතුමා හා ප්‍රධාන නිලධාරීන් හමුවීම සඳහා නිශ්චිත කාලාවකාශයක් ලබාදීම,

හැකිතාක් දුරට පක්ෂයේ වගකීම් පැවරීමේ දී සාමාජික එකඟතාවය ලබා ගැනීම සහ ප්‍රාථමික  ඡනද පැවැත්වීම වැනි කරුණු තුළින් පක්ෂය තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම.

ශිෂ්‍ය හා තරුණ සංවිධාන තුළින් ජාතික සංවිධානවලට පිවිසිය හැකි අයුරින් ස්වාභාවික නායකයින්ට මඟ පාදා දෙන ක්‍රමවේදයක් හා බලාපොරොත්තු ඇති කරන වැඩපිළිවෙලක් සකස් කිරීම.

ආදී කරුණු 11 කින් යුත් මෙම ලිපියට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බව ද දැනගන්නට තිබෙනවා.

මේ අතර පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකුව සිට පසුගිය මහ මැතිවරණයේ දී සමගි ජන බලවේගයට එක් වී එම පක්ෂයෙන් තරග කළ ජගත් කුමාර මහතා ද පසුගිය දා මාධ්‍ය හමුවක් පවත්වා සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලික් ඉවත් වුණා.

සමලි ජන බලවේගයේ නායකත්වයෙන් පිහිටුවා ගෙන තිබෙන සමගි ජන සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ද ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී තනිවම තරග කිරීමට පසුගිය සතියේ රැස්වී තීරණය කළා.

පළාත් පාලන මැතිවරණයේ දී වෙන්ව තරග කළොත් පළාත් පාලන ආයතනවලට තම සභිකයින් වැඩි සංඛ්‍යාවක් පත්කර ගනු හැකි වෙතැ යි දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායකයකු වන පලනි දිගම්බරම් මහතා පවසනවා.