ජගත් ගේ සතියේ සටහන - 50
අළු යට ගිනි පුපුරු ඇති සජබෙ
මහ මැතිවරණයෙන් පසු පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර පහට සුදුස්සන් පත් කිරීමේ දී සමගි ජන බලවේගය තුළ ආරම්භ වූ අර්බුදය දැන් දිනෙන් දින උග්‍ර වෙන බව වාර්තා වෙනවා.
අළු යට ගිනි පුපුරු මෙන් ටික දිනක් යටපත් වී තිබූ මෙම අර්බුදයේ ගිනි දැල් යළි මතුකරමින් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා සිදු කළ ප්‍රකාශත් සමාජ මාධ්‍ය ජාලා හි වේගයෙන් ප්‍රචාරය වෙමින් පවතිනවා.
සමගි ජන බලවේගයේ නායකත්වයේ ක්‍රියා කලාපය හේතුවෙන් පක්ෂයට සම්බන්ධ වී සිටි කණ්ඩායම් දැන් පක්ෂයෙන් ඉවත් වෙමින් සිටින බව තිස්ස අත්තනායක මහතා 'මීමැස්සා' නම් යූටියුබ් නාළිකාව සමඟ පැවති සාකච්ඡාවක දී ප්‍රකාශ කළා.
පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරවලට පත් කිරීම ගැන පක්ෂයේ ජාතික ලැයිස්තු පක්ෂයේ සංවිධායක වන තමා කිසිවක් දැන නොසිටි බව ද ඒ මහතා එහිදී කියා සිටියා.
සුජීව සේනසිංහ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත් කොට ඇතත් මහ මැතිවරණයේ දී ඔහු මහනුවර දිස්ත්‍රික් ලැයිස්තුවට ඇතුළත් කොට තිබූ බව පැවසූ තිස්ස අත්තනායක මහතා මෙසේ ද පැවසුවා.
''සුජීව සේනසිංහ මහනුවර දිස්ත්‍රික් නායකත්වය ඉල්ලා සිටියා. පක්ෂයේ අනෙක් අපේක්ෂකයින් එයට විරෝධය පළ කිරීම නිසා ඔහුට මහනුවර දිස්ත්‍රික් නායකත්වය දුන්නේ නැහැ. නායකත්වය නැති නම් තරග කළ නොහැකි බව පවසමින් සුජීන අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත් වුණා. ඒ නිසා ඔහු ජාතික ලැයිස්තුවෙන් පත්කිරීම වැරදියි.
පාර්ලිමේන්තුවේ ඉන්න ම ඕනැ ඉම්තියාස් බාකීර් මාකාර්, ඩලස් අලහප්පෙරුම, ජාතික ලැයිස්තුවෙන් පත් නොකළේ ඇයි දැ යි පක්ෂයේ බොහෝ දෙනා ප්‍රශ්න කරන බව ද අත්තනායක මහතා තව දුරටත් ප්‍රකාශ කළා.
පක්ෂයට අදාළව ගනු ලබන වැදගත් තීරණ කිසිවක් පක්ෂයේ ප්‍රධාන තනතුරු නියෝජනය කරන කිසිවකු හෝ නොදන්නා බවත්, ඒවා පක්ෂයේ තනතුරු නොදරන පුද්ගලයින් විසින් ගනු ලබන බවත් මෙහිදී පැවසූ තිස්ස අත්තනායක මහතා මේ තත්වය දිගට ම පැවතුණ හොත් පක්ෂයේ පිරිසක් පක්ෂයෙන් ඉවත් වී යෑමේ අවදානමක් පවතින බව ද කියා සිටියා.
එමෙන් ම සමගි ජන සන්ධානය ලෙස එක්වූ පක්ෂ සමඟ අත්සන් තැබූ බව පැවසෙන කිසිදු කිසිදු ගිවිසුමක් හෝ එකඟතා ලියවිල්ලක් පක්ෂයේ ජාතික සංවිධායක වන තමන් වත් ඉහළ නිලධාරීන් කිසිවකුවත් දැක නොමැති බව ද ඒ මහතා මෙහිදී විශේෂයෙන් සඳහන් කළා.
මේ තත්වය නිසා තිස්ස අත්තනායක මහතා ඇතුළු ප්‍රබලයින් පිරිසක් නුදුරු අනාගතයේ දී පක්ෂය හැරයෑමේ ලකුණු පහළ වී ඇතැ යි දේශපාලන නිරීක්ෂකයින් පෙන්වා දෙනවා.
මේ අතර සමගි ජන බලවේගයේ සභාපති හිටපු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මහතා විසින් මැතිවරණ පරාජයෙන් පසු පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත භාරදුන් කාරණා 11 කින් යුත් ලිපිය ගැන සජිත් ප්‍රේමදාස මහතා ගෙන් කිසිදු ප්‍රතිචාරයක් මේ දක්වා ලැබී නැතැ යි ඒ මහතා පවසනවා.
එහෙත් පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගෙන් මාධ්‍යවේදීන් ඒ පිළිබඳව විමසූ විට ඔහු පවසා තිබුණේ ඉම්තියාස් ගේ ලිපිය ගැන පක්ෂයේ කළමනාකරණ කමිටුව ඉදිරියේ දී රැස්වී සාකච්ඡා කොට එහි අඩංගු වැදගත් යෝජනා ක්‍රියාත්මක කිරීම ගැන සළකා බලන බවයි.
මේ අතර ඉන්දීය සංචාරයෙන් පසු ඉකුත් බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවට පැමිණි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතට පැමිණ පොල්තෙල් පහන් දල්වා කිරිබත් කා නව වසරේ වැඩ ආරම්භ කළා.
එහිදී ඔහුගේ ප්‍රධාන කාර්යය වුණේ පක්ෂයේ මහ ලේකම් දූරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරාළ මහත්මිය පත්කිරීමයි.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්වරයකු වූ අභාවප්‍රාප්ත ගාමිණි අතුකෝරාළ මහතා ගේ සොවුරියක වන තලතා අතුකෝරාළ මහත්මිය ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක මහ ලේකම් ධූරයට පත්වූ ප්‍රථම කාන්තාව ලෙස ඉතිහාසයට එක්වෙනවා.
පෙරේදා සිරිකොත මන්දිරයේ පැවති සාකච්ඡාවට සභාපති වජිර අබේවර්ධන, නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, සාගල රත්නායක ඇතුළු නායකයින් මෙන් ම පහුගිය මැතිවරණයට සිලින්ඩරයෙන් තරග කළ මහජන පක්ෂයේ නායක අසංක නවරත්න ද පැමිණ සිටි බවත් වාර්තා වෙනවා. එහෙත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් වශයෙන් පත්ව සිටින රවි කරුණානායක හා ෆයිසර් මුස්තාපා යන මහත්වරු පැමිණ සිටියේ නැහැ.
ඉදිරියේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ 'අලියා' ලකුණෙන් අපේක්ෂකයින් ඉදිරිගපත් කිරීමට ද එහිදී තීරණය වූ බවත් දැනගන්නට තිබෙනවා.
මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වී පොදුජන එක්සත් පෙරමුණේ 'පුටුව' ලකුණෙන් තරග කිරීමට තීරණය කොට ඇතැ යි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළා.
අප්‍රේල් මාසයට පෙර පළාත් පාලක මැතිවරණ පැවැත්වීමට ආණ්ඩුව තීරණය කොට තිබෙනවා. ඒ සඳහා 2023 වසරේ කැඳවනු ලැබූ නාමයෝජනා අවලංගු කිරීම සඳහා පළාත් පාලන ඡන්ද විමසීමේ පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම් පතක් ඉදිරි දෙසතිය තුළ ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට යන බව ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසනවා.
ජාතික ජන බලවේගයේ මැති ඇමතිවරුන් රූපවාහිනී වැඩසටහන් හා මාධ්‍ය සාකච්ඡා වලට යන්නේ නම් ඒ සදහා පක්ෂයෙන් අනුමැතිය ලබාගත යුතු බව එහි නායකත්වය විසින් සියලුම මැති ඇමතිවරුන්ට දැනුම් දී ඇතැ යි ජාතික ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. එමෙන් ම යම් යම් උත්සව රැස්වීම්වලින් පසු 'වොයිෂ් කට්' ලබා නොදෙන ලෙස ද ඔවුන්ට දන්වා ඇති බව ද පැවැසෙනවා.
ආධුනික මැති ඇමතිවරුන් මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීමේ දී සිදුවන අඩුපාඩු හා දුර්වලකම් මාධ්‍යයෙන් ප්‍රචාරය වූ විට එය ආණ්ඩුවේ ප්‍රතිරූපයට හොඳ නැති බැවින් පක්ෂ නායකත්වය මෙම දැනුම්දීම් සිදු කර ඇති බව ද දැනගන්නට තිබෙනවා. පසුගිය දා කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මිය කළ ප්‍රකාශ දෙකක් මහත් ආන්දෝලනයට හේතු වීමෙන් පසු මෙම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ.
සමහර මාධ්‍යවල තමන් පිළිබඳ අසත්‍ය හා අපහාසාත්මක පුවත් පළ වන බවට චෝදනා කරමින් ජාතික ජන බලවේග ආණ්ඩුවේ ම්න්ත්‍රීවරියන් දෙදෙනකු පසුගිය සතියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කොට තිබුණා.
ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයකු හා එම පක්ෂයේ ම මන්ත්‍රීවරියක අතර පවතින බව කියන අනියම් සබඳතාවයක් පිළිබඳව ඉකුත් සතියේ ජාතික පුවත්පතක පළවීමෙන් පසු එම සිද්ධීයට අදාළ මන්ත්‍රීවරිය ලෙස හැඟෙන අයුරින් සමාජ මාධ්‍යවල පුවත් පළ වුණා. සමහර මාධ්‍ය ඉඟිකොට තිබුණේ ඒ මන්ත්‍රීවරිය කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීනී කෞෂල්‍යා ආරියරත්න මහත්මිය බවයි. මේ නිසා ඇය පසුගිය සතියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් එම පුවත නිසා තම කීර්තිනාමයට හානි වී ඇති බවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
මේ අතර නාමල් රාජපක්ෂ මහතා නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රීවරිය වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කළේ එම පුවත් නිසා තම සේවාදායකයා වන නිලන්ත.ි කොට්ටහච්චි මහත්මියට බරපතල අපහාසයක් සිදු වී ඇති බව සඳහන් කරමින්.
මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශණ ඒකකය මඟින් පළමුදා හොරණ මිල්ලනියේ පදිංචි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගනු ලැබුවා. පසුව කොළඹ මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ඇප මත මුදා හැර තිබුණා.
මේ අතර කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා ද පසුගිය සතියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක් කරලා. ඒ තමා ගේ නමින් පෙනී සිටින කිසියම් පුද්ගලයෙක් විදේශගතව සිටින ශ්‍රී ලාජකිකයින්ගෙන් මුදල් එවන ලෙස ඉල්ලා සමාජ මාධ්‍ය මඟින් ඉල්ලීම් කරනා බව පවසමින්. මේ ව්‍යාජ පුද්ගලයා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන ලෙස ද හඳුන්නෙත්ති මහතා සිය පැමිණිල්ලේ දක්වා තිබුණා.
≈≈≈≈≈≈≈≈≈≈≈≈
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් වශයෙන් කටයුතු කළ හා එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ 20210 – 2015 කාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටි, ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා පසුගිය බ්‍රහස්පතින්දා අභාවප්‍රාප්ත වුණා. රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත වූ ඒ මහතා ගේ වයස අවුරුදු 96 ක්.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස ද සේවය කොට ඇති ඒ මහතා 'දේශපාලන දර්ශන විග්‍රහය'මාක්ස් වාදය පිළිබඳ ග්‍රන්ථයක් ද පළ කළා. එහෙත් පසුව සිය දේශපාලන මතවාදය වෙනස් කිරීමෙන් පසු ඔහු එම ග්‍රන්ථය යළි පළ කළේ නැහැ.
පසුව එක්සත් ජාතික පක්ෂයට එක්ව සිටි සූරියප්පෙරුම මහතා 1970 මහ මැතිවරණයේ දී අත්තනගල්ල ආසනයට එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට එරෙහිව තරග කළ නමුත් පරාජය වුණා.
පසුව එක්සත් ජාතික පක්ෂයෙන් ද ඉවත් වූ සූරියප්පෙරමු මහතා 1975 ජූලි මාසයේ පැවති දකුණු කොළඹ අතුරු මැතිවරණයට එක්සත් ජාතික පක්ෂ නායක ජේ. ආර්. ජයවර්ධන මහතාට එරෙහිව ස්වාධීන අපේක්ෂකයකු සේ තරග කළා. ඔහුට ලබාගත හැකිවූයේ ඡන්ද 11113 ක් පමණයි.
එයින් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වූ ඒ මහතා එම පක්ෂයේ ප්‍රධාන ලේකම් වශයෙන් 1994 දක්වා කටයුතු කළා.
ඉන්පසු රූපවාහිනී හා ගුවන්විදුලි වැඩසටහන් වලට සහභාගි වෙමින් ජනාදරයට පත්ව සිටි සූරියප්පෙරුම මහතා 2010 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කළා.
හම්බන්තොට වරායක් ඉදිකළ යුතු බවට 2000 වසරේ දී පමණ මුලින්ම යෝජනා කළේ ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා යි.
ඒ මහතා ගේ අවසන් කටයුතු 05 වන දා ඉරිදා පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කෙරුණා.
- ජගත් -