උණුසුම් පුවත්කාලීනදේශපාලනසතියේ සටහන

තිහකට වැඩියෙන් ආයුබෝවන් කියනවා ?

ජගත් ගේ සතියේ සටහන  -  37

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 24 වන දා රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැති  වරණය නොවැම්බර් 14 වැනි දා පවත්වන බව අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කළා.
මහ මැතිවරණයට නාමයෝජනා භාර ගැනිම ඔක්තෝම්බර් 04 වන දා සිට 11 දක්වා සිදු කෙරනා බව ද එම /ැසට් නිවේදනයේ සඳහන් වුණා.

මේ සමඟ විපක්ෂයේ දේශපාලන පක්ෂ මහත් කලබලයට පත්ව සිටිනවා. නාමයෝජනා සඳහා සති දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත කඩිමුඩියේ අපේක්ෂකයින් තොරා ගැනීමට සිදුවී තිබීම නිසයි ඒ.

සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, පොදුජන එක්සත් නිදහස් පෙරමුණ, සර්වජන බලය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සෑම පක්ෂයක් ම මැතිවරණයට තනි පක්ෂ ලෙස නොව පක්ෂ සන්ධාන වශයෙන් තරග කිරීම ගැන මේ දිනවල සාකච්ඡා පවත්වා ගෙන යන බව වාර්තා වෙනවා.

ස්වාධීන අපේක්ෂකයකු හැටියට තරග කොට ජනාධිපතිවරණයෙන් අන්ත පරාජයක් ලැබූ රනිල් වික්‍රමසිංහ මහතා තමා ඉදිරි මැතිවරනයට තරග නොකරන බවත්  ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට යෑමේ අදහස තමන්ට නැති බවත් පසුගිය සඳුදා පැවති එක්සත් ජාතික පක්ෂ කලමනාකරණ කමිටු රැස්වීමේ දී පවසා තිබුණා. එහෙත් පක්ෂ නායකයා ලෙස සිටිමින් පක්ෂයට නායකත්ව දෙන බව ද පවසා තිබුණා. එහෙත් පක්ෂ නායකයා ලෙස සිටිමින් පක්ෂයට නායකත්වය දෙන බව ද ඔශු පවසා තිබෙනවා.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට සමගි ජන බලවේගය ඇතුළු  අනිකුත් පක්ෂ සමඟ  එක්ව තරග කිරීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා. මේ ගැන සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා පැවැත්වීමට රනිල් වික්‍රමසිංහ මහතා විසින් පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සහ තලතා අතුකෝරළ මහත්මිය පත්කළ බව ද වාර්තා වෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ මෙම යෝජනාව සමගි ජන බලවේගයේ ආසන සංවිධායකයින් ගේ රැස්විමේ දි සාකච්ඡා වූ අවස්ථාවේ ''අපට යූ. ඇන්. පි යත් එක්ක සන්ධානයකට යන්න පුළුවන්. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා පක්ෂ නායකකමේ නැත්තං පමණයි" යනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබෙනවා. මාධ්‍ය සාකච්ඡාවක් තියලා මේ බව රටට කියන්නැ යි ද ඔහු තිස්ස අත්තනායක මහතාට පැවසූ බව ද එහි සිටි අයෙක් අප සමඟ ප්‍රකාශ කළා.

''ඊළඟ මහ මැතිවරණයේ දී සජිත් ප්‍රෙමදාස නායකතුමාගේ  නායකත්වයෙන් අපි තරග කරනවා. එතුමා අගමැති කරලා අපි ආණ්ඩුවක් පිහිටුවන්න ඕනෑ" යැ යි පැවසූ සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඒ පිළිබඳව යෝජනාවක් ද ඉදිරිපත් කල අතර එය ඒකමතිකව සම්මත වූ බවයි  වාර්තා වෙන්නේ.

මේ අතර සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ දෙවැනි පෙළ නායකයින් සහ පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු බොහෝ දෙනකු ගේ අදහස වී ඇත්තේ ඉදිරි මැතිවරණයට තනිව තරග කළහොත් ජයගත නොහැකි බවයි.

''පසුගිය ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ලබාගෙන ඇත්තේ ඡන්ද 57 ලක්ෂයයි. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඡන්ද ලක්ෂ 45 ක් ද, රනිල් වික්‍රමසිංහ මහතා ලක්ෂ 22 ක් ද ලබාගෙන තිබෙනවා. සජිත් ගේ හා රනිල් ගේ ඡන්ද එකතු වූ විට ලක්ෂ 67 ක් වෙනවා. එනිසා මෙවර මහ මැතිවරණයට  සමගි ජන බලවේගයත් එක්සත් ජාතික පක්ෂයත් එකතු වී තරග කළොත් ලෙහෙසියෙන් ම ජයගන්නට පුළුවන්" යැයි සමගි ජන බලවේගයේ දෙවැනි පෙල නායකයින් බොහෝ දෙනකු පක්ෂ නායකත්වයට පවසා ඇති බව ද දැනගන්නට තිබෙනවා.

මේ පාක්ෂිකයින්ගෙන ලැබුණු බලපෑම් නිසා එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගත වී තරග කිරීමට මේ වන විට සජිත් ප්‍රේමදාස මහතා එකඟ වී ඇතැ යි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අප කළ විමසීමකට පවසා සිටියා. 

එහෙත් රනිල් වික්‍රමසිංහ නායකත්වය දරණ එක්සත් ජාතික පක්ෂය සමඟ කිසිදු ගිවිසුමකට අත්සන් නොකරන බව ද සජිත් ප්‍රේමදාස මහතා අවධාරණයෙන් පවසා තිබෙනවා.

පොදු සන්ධානය පිළිබඳව තවත් සාකච්ඡාවක් සිකුරාදා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ගේ නිවසේ දි පැවති බවත් එයට සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර හා සජිත් ප්‍රේමදාස මහතා ගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලක්ෂ්මන් ෆොන්සේකා යන මහත්වරුන් සහභාගි වූ බවත් සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තා වෙනවා.

මේ අතර ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, කාංචන විජේසේකර, ෂෙහාන් සේමසිංහ, ප්‍රේම්නාත් සී දොළවත්ත, ඇතුළු හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් මල්පාරේ පිහිටි වික්‍රමසිංහ මහතා ගේ මෙහෙයුම් කාර්යාලයේ දි පසුගිය අඟහරුවාදා වික්‍රමසිංහ මහතා හමුවී ඉදිරි මැතිවරනය පිළිබඳ ව සාකච්ඡා කල බව ද දැනගන්නට තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මැතිවරණයට අලියා ලකුණින් තරග කළ යුතු බව පවසා ඇති අතර අනෙක් පිරිස පවසා ඇත්තේ කුසලානය ප්‍රමුඛ අලියා ලකුණ හැර පොදු ලකුණකින් තරග කළ යුතු බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය එක් පැත්තකින් සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා කරන අතර පොදු පෙරමුණෙන් කැඩි ආ පිරිස සමගත් සාකච්ඡා කිරීම දේශපාලන විචාරකයින්ට ප්‍රශ්නයක් වී ඇති බවයි පැවසෙන්නේ.

සජිත්ගෙන් කොන්දේසි 3 ක්  

රුවන් විජයවර්ධන අලියා පිටේ නැංවිය යුතු යි

මේ අතර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදු කෙරන සාකච්ඡා සඳහා  කොන්‌දේසි තුනක් ඉදිරිපත් කර ඇති බව ද දැනගන්නට තිබෙනවා.

එම කොන්දේසි මේ අකාරයෙනි.

රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණයට තරග නොකරන්නේ නම් එක්සත් ජතික පක්ෂයේ නායකත්වය රුවන් විජයවර්ධන මහතාට ලබා දිය යුතු ය.

එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයින් සමගි ජන බලවේගයේ දුරකතනය ලකුණින් තරග කළ යුතු යි.

සමගි ජන බලවේගයා හා එක්සත් ජාතික පක්ෂය පිහිටුවීමට යන සන්ධානයට පොදුජන පෙරමුණේ දූෂණ චෝදනා තිබෙන අයට නාමයෝජනා නොදිය යුතු යි.

එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් නොවන බැවින් සජිත් ගේ කොන්දේසි ක්‍රියාත්මක කළ නොහැකි වෙනවා එනිසා යෝජිත සමගි ජන බලවේගයේ හා එක්සත් ජාතික පක්ෂයේ සන්ධානය සිදු නොවනු ඇති බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙනවා.

මේ අතර තවත් ආරංචි මාර්ගයකින් දැන/න්නට තිබෙන්නේ විවිධ ක්ෂේත්‍රවල ව්‍යාපාරිකයින් හා සමගි ජනවේගයේත් එක්සත් ජාතික පක්ෂයේත් හිටපු මැති ඇමතිවරුන් පිරිසක් ද යෝජිත මැතිවරණයේ දී එම පක්ෂ දෙක එකතු කර නව සන්ධානයකින් තරග තරග කරන ලෙසට පක්ෂ නායකත්වයට දැඩි ලෙස බලපෑම් කරන බවයි.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් පසුගිය කාලයේ දූෂණ වංචා පිළිබඳව පරීක්ෂණ පවත්වා වගකිව යුත්තන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවට ප්‍රතිඥා දි ඇති හෙයින් පසුගිය ආණ්ඩුවල සිටි බොහෝ හිටපු මැති ඇමතිවරුන් මෙසේ සමගි වී තරග කිරීමට උනන්දු වන්නේ මැතිවරණයේ දී ආණ්ඩු බලය ලබාගෙන තමන්ට එල්ල වන දූෂණ චෝදනාවලින් බේරීම සඳහා බව විශ්‍රාමික විගණකාධිපතිවරයකු වන සරත මායාදුන්නේ මහතා පෙරේදා ජාතික රූපවාහිනයේ වැඩ සටහනක දී ප්‍රකාශ කළා. ඔවුන්ට අවශ්‍ය ඡන්දය දිනා ගැනීමට නොව දඬුවම්වලින් ගැලවීමට බව ද ඔහු සඳහන් කළා.

මේ අතර පසුගිය ජනාධිපතිවරණයේ දී පොදුජන පෙරමුණෙන් ඉවත් වී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකළ මැති ඇමතිවරුන් පිරිසක් විසින් පිහිටුවා ගෙන තිබෙන 'පොදුජන එක්සත් නිදහස් පෙරමුණ' මෙවර මැතිවරනයේ දී ශ්‍රීලංකා නිදහස් පක්ෂය, අනුර යාපා හා නිමල් ලංසා ගේ නව සන්ධානය, ඇතුළු පක්ෂ කිහිපයක් සමඟ එක්වී නව පුළුල් සන්ධානයක් පිහිටුවිම සඳහා මේ දිනවල සාකච්ඡා කරගෙන යනවා.

තම පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු නොවී ප්‍රබල සන්ධානයකින් තරග කරන බව එහි නායකයකු වන ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළා.

දිලිත් තරුව අතහරී  දිලුම් දිලිත්ට එක්වෙයි - තෑග්ගක් ජාතික  සංවිධායක කම

ජනාධිපතිවරණයට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ 'තරුව' ලකුණෙන් තරග කොට ඡන්ද 122396 ක් ලබාගෙන අපේක්ෂකයින් 38 දෙනකු අතරින් 6 වැනි ස්ථානයට පත් වූ 'මව්බිම ජනතා පක්ෂයේ' නායක දිලිත් ජයවිර මහතා මෙවර මැතිවරණයට 'සර්වජන බලය සංවිධානයෙන් තරග කරන බවට පවසනවා. මෙවර මැතිවරණයට තරුව වෙනුවට වෙනත් ලකුණකින් තරග කරන බව ද ඔහු සඳහන් කළා. පොදුජන පෙරමුණෙන් ඉවත්වී රනිල් වික්‍රමසිහ මහතා ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කළ දිලුම් අමුණුගම මහතා ද  දිලිත් ජයවීර මහතා ගේ මව්බිම ජනතා පෙරමුණට පෙරේදා එක්වුණා. ඔහු එම පක්ෂයේ ජාතික සංවිධායක ලෙ පත්කොට තිබෙනවා.

මනාප ඉල්ලන්‌නේ නෑ - ජාතික ජන බලවේගයේ ප්‍රධානියෙක් කියයි

විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙසේ මහ මැතිවරණයට තරග කිරීම ගැන සාකච්ඡා පවත්වමින් සූදානම් වෙද්දි ආණ්ඩු බලයේ සිටින ජාතික ජන බලවේගය ඒ සඳහා පූර්ණ සූදානමකින් සිටින බවයි එහි ආරංචි මාර්ග පවසන්නේ.

"ජනාධිපතිවරණයට මාස ගණනාවක සිට ම ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මැතිවරණයට සූදානම් වුණා. සෑම දිස්ත්‍රික්කයකට ම ඉදිරිපත් කරන අපේක්ෂකයින් තෝරා ඔවුන් ගේ ලැයිස්තු සකස් කොට අවසන්. දැන් තිබෙන්නේ නියමිත දිනට නාමයෝජනා භාරදීම පමණයි'' යනුවෙන් ජාතික ජන බලවේගයේ ප්‍රධානියකු අප කළ විමසුමක දි ප්‍රකාශ කළා.

ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයේ දී ගෙනගෙට යමින් ප්‍රචාරක කටයුතු සිදු කිරීම පක්ෂය විසින් භාර දි තිබුණේ එසේ මැතිවරණයට තෝරා ගෙන සිටින අපේක්ෂකයින් ප්‍රධාන පිරිසකට බව ද ඔහු ප්‍රකාශ කළා.

මහ මැතිවරණයේ දී ජාතික ජන බලවේගය අපේක්ෂකයින් සඳහා මනාප ලකුණු කරන සේ ඉල්ලා සිටින්නේ නෑ. ඔවුන් ඉල්ලන්නේ පක්සයේ ලකුණ වන මාළිමාව ට ඡන්දය දෙන ලෙසයි. මැතිවරණයෙන් ජයගත් විට ඒ ඒ දිස්ත්‍රික්කවලට තරග කළ අපේක්ෂකයින් අතරින් මන්ත්‍රීවරුන් නම් කරන්නේ ජාතික ජන බලවේගයේ නායකත්වය විසින් බව ද එම ප්‍රධානියා තව දුරටත් කියා සිටියා.

පසුගිය ජනාධිපතිවරණයේ දී දිස්ත්‍රික්ක 15 ක් ජය ගැනිමට ජාතික ජන බලවේගය සමත් වූ බැවින් මෙවර මහ මැතිවරණයෙන් මන්ත්‍රී ධූර 125 කට වැඩි සංඛ්‍යාවක් තම පක්ෂයට ලැබෙනු ඇති බව ජාතික ජන බලවේගයේ නායකයින් ගණන් බලා තිබෙන බව ද වාර්තා වෙනවා.

30 කට වැඩි මැති ඇමැත්තන් දේශපානයට සමු දෙන වා ලු

පොපෙ ට  මන්තිරිකං 12 ක් විතර ලැ‌බේ ලු

මෙවර මහ මැතිවරණයෙන් ජයගන ආණ්ඩු බලය ලබා ගැනිමේ අදහසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැහැ. පසුගිය දා පැවති ජනාධිපතිවරණයෙන් පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ලබා ගත්තේ ඡන්ද 342781 ක්. එය 2. 57% ක ප්‍රතිශතයක්. මේ තත්ත්වය යටතේ ඉදිරි මැතිවරණයේ දී අවම වශයෙන් මන්ත්‍රී ධූර 12 ක් වත් ලබා ගැනීම තම පක්ෂයේ බලාපොරොත්තුව බව පොදුජන පෙරමුණේ නායකයකු වන හිටපු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා පවසනවා.

ජනාධිපතිවරණයේ දි පක්ෂයෙන් ඉවත් වී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දුන් පොදුජන පෙරමුණේ පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරුන්ටත් ආසන සංවිධායකයින්ටත් නැවත පක්ෂයට එකතු වන ලෙස එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ඉල්ලා තිබනවා.

මේ අතර දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුවේ ඇමති තනතුරු දැරූ ජ්‍යෙෂ්ඨයින් ගණනාවක් ඉදිරි මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කොට ඇති බව ද වාර්තා වෙනවා. හිටපු අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා තම හිතවතුන් සමඟ පසුගිය සතියේ පවසා තිබුණේ මෙවර මහ මැතිවරණයට තමන් ඉදිරිපත් නොවන බවයි. තමා අලුත්කඩේ අධිකරණයට ගොස් නීතිඥ වෘත්තියේ යෙදිමට අදහස් කොට ඇති බව ද ඔහු පවසා තිබෙනවා.

ජෝන් සෙනෙවිරත්න, බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර යන මහත්වරුන් ද සෞඛ්‍ය හේතුන් මත තරග නොකරන බව පවසා ඇති බව ද වාර්තා වෙනවා.

මේ අතර යාපනය දිස්ත්‍රික්කයේ සී . වී. විග්නේෂ්වරන්  මහතා පසුගිය සතියේ ප්‍රකාශ කළේ තමන් ඉදිරි මැතිවරණයට ඉදිරිපත් නොවන බවයි.

මේ තත්වය යටතේ හිටපු මැති ඇමතිවරුන් 30 කට අධික සංඛ්‍යාවක් දේශපාලන භූමියෙන් ඉවත්විමට අදහස් කොට ඇති බවයි පැවසෙන්නේ.

  -  ජගත්  -