ඉතිහාසයඋණුසුම් පුවත්දේශපාලන

දකුණ භාරකරු බන්දුල දිවි ගමන නිමා කරයි

අවසන් කටයුතු 18 දා ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ දී

                                    දකුණේ ආණ්ඩුකාරවරයා සේ රාජකාරි මෙසේ ඇරඹූ වග යි
දකුණු පළාත් ආණ්ඩුකාරවර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත විය. ඒ අද (16) උදේ කොළඹ  ජාතික රෝහලේ දී ය.
දිවි සැරියෙන් හරිස්චන්ද්‍ර මහතා සමුගන්නා විට හැට දෙවැනි වියේ පසු විය.
ඔහු දක්ෂ පරිපාලන නිලධාරියෙක් සේ රාජ්‍ය සේවයේ නියැළී සිට විශ්‍රාම ගැනීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් දකුණු පළාතේ ආණ්ඩුකාර ධූරයට පත් කරන ලදි. හෙතෙම ආණ්ඩුකාර ධූරයේ වැඩ අරඹන ලද්දේ 2024. 09. 28 වැනි දින ඉතා චාම් උත්සවයක් පවත්වමිනි.
රයිගම් කෝරළයේ ඉංගිරිය, හඳපාන්ගොඩ දී උපත ලද මද්දුම කංකානම්ගේ බන්දුල හරිස්චන්ද්‍ර මහතා හොරණ ශ්‍රීපාලි විද්‍යාලයෙන් අකුරු කර කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය පීඨයෙන් උපාධිය ලැබ ගුරුවෘත්තියට පිවිසියේ ය. ගුරුවෘත්තියට හේ ආයුබෝවන් කියන ලද්දේ 1991 දී ය. ඒ රාජ්‍ය පරිපාලන සේවයට ඇතුළත් වී අම්පාර දිසාවේ සහකාර මැතිවරණ කොමසාරිස් ධූරයට පත්වීමෙනි.

හරිස්චන්ද්‍ර මහතා හම්බන්තොටත් අනතුරුව ගාල්ලෙත් සහකාර දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස් තනතුරේ  සේවය කරන ලද්දේ ය. අනතුරුව ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම්වරයා සේ ද, පසුව ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් ද සේවයේ නියැළී වවුනියාව දිසාපතිවරයා සේ පත්වීම් ලැබී ය.

රත්නපුර දිසාපති සේ  වවුනියාවෙන් ස්ථාන මාරු ලැබ කටයුතු කළ බන්දුල හරිස්චන්ද්‍ර මහතා හම්බන්තොට දිසාපතිවරයා සේ ද ක්‍රියාකරමින් සිට  සමාජ සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා සේ ද බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලෙස ද පත් වී ය. හේ විශ්‍රාම ගන්නා ලද්දේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අතිරේක පාලකවරයා සේ සිටිය දී ය.

ඔහු ගේ බිරිඳ ගුරුවරියකි. දෙදරු පියෙකු වන හරිස්චන්ද්‍ර මහතා ගේ පුතණුවන් වෛද්‍යවරයකු වන අතර දියණිය උපාධිධාරියකි.

හේ ප්‍රවීණ ලේඛකයෙකි.

බන්දුල හරිස්චන්ද්‍ර මහතා ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 18 වැනිදා සැඳෑවේ ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ දී  සිදු කෙරේ.