නිහාල් සුරංජි
කොළඹ මරියකඩේ හෙවත්, දේවානම්පියතිස්ස මාවතේ ඉපිද, ජීවත් වූ, නිහාල් සුරංජි අපූර්ව මනුස්සයෙකි.
හද්ද නාගරික කොළඹ උපන්න ද ඔහු ගමට, ගැමියන්ට බෙහෙවින් ආදරය පෑවේ ය.
කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු සිය ජීවන චාරිකාව අවසන් කළේ වයස අවුරුදු හැට හතරේදී ය.
ආනන්ද විද්‍යාල පන්ති කාමරයේ පසුපස ගැන්සියේ සාමාජිකයෙකු වූ නිහාල් සුරංජි පාසල් වියේ සිටම නාට්‍ය කලාවට නැඹුරුව සිටියේ ය.
නැසී ගිය නාට්‍යවේදී ලයනල් රංවල සූරීන්ගේ අකීකරු ශිෂ්‍යයෙකු ලෙස ඔහු සිය රංගන කුසලතා වර්ධනය කර ගත්තේ ය.
පසුව කොළඹ ජර්මන් සංස්කෘතික ආයතනය මගින් අසුව දශකයේ සංවිධානය කළ
Dr. Klaus Kusenberg,
Mr.Norbert J. Mayer
Mr.Fritz Bennewitz
විශිෂ්ට විදේශීය නාට්‍ය අධ්‍යක්ෂකවරුන්ගෙන් පුහුණුව ලැබූ නිහාල් සුරංජි සිය රංගන චාරිකාව ආරම්භ කළේ ඒ පුහුණු වැඩමුළු නාට්‍ය නිෂ්පාදනයක් වූ Every Man පරිවර්තනයක් වූ 'සකල ජන' නාට්‍ය රංගනයෙනි.
නිහාල් සුරංජි සතුව පැවති දේහ ලක්ෂණත් හඬත් නිසා, ඔහු විදේශීය නාට්‍ය අධ්‍යක්ෂකවරු, 'සකල ජන' නාට්‍යයේ ' තර මස්සිනා' චරිතය සඳහා තෝරා ගති.
ශ්‍රී ලංකාවේ වේදිකා නාට්‍ය කලාවේ දීප්තිමත් යුගයක් වූ අසූව දශකය වන විට නාට්‍ය කලාවේ චූල සම්ප්‍රදායත්, මහා සම්ප්‍රදායක් අතර ජනතාවාදී නාට්‍ය කලාවක් කෙරෙහි නිහාල් සුරංජි යොමු වන්නට ඇත්තේ බර්ට්‍රොල් බ්‍රෙෂ්ට් පරම්පරාවේ ජර්මානු පුහුණුකරුවන්ගේ බලපෑම නිසා බව, ඔහුගේ පසුකාලීන නාට්‍ය නිෂ්පාදන දෙස බැලීමේදී අවබෝධ කරගත හැක.
මේ අතර වේදිකා නාට්‍ය රංගනයේ, ශිල්පී දක්ෂතා වෙනුවට, එහි හරය සොයා යන චාරිකාවක්, ඔහු ආරම්භ කළේ ය.
ඒ මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා විසින් කොළඹදී පවත්වනන ලද 'කලාව හා ජීවිතය' නම් දීර්ඝ දේශන මාලාව නිසා ඔහුගේ ජීවිත දෘෂ්ටියත් රංගනයත් බොහෝ වෙනසකට ලක්වූ බව පෙනේ.
නිහාල් සුරංජි මට හමුවූයේ 1990 එවැනි කලක ය.
මානව සමාජය ගැන තිබුණු දයාර්ද හැඟීමත් නාගරික මූල්‍ය තණ්හාවත් වෙනුවට ඔහු තුළ වැඩි එමින් තිබුණේ මාක්ස්වාදී දේශපාලන නැඹුරුව යි.
1989 ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට පිලිපන් සුරංජිහු අද උදෑසන මිය යන තෙක්ම එම දේශපාලන වැඩපිළිවෙළෙහි රැඳී සිටියහ.
ජනතාවාදී නාට්‍ය කලාවක් ගැන බරපතළ ලෙස විශ්වාස කළ නිහාල් සුරංජි ට පසුව විශ්ව විද්‍යාලය වූයේ එවකට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි කථිකාචාර්ය හෙළයේ වීදි නාට්‍ය නිර්මාතෘ වූ ආචාර්ය ගාමිණි හත්තොටුව මහතාගේ විවෘත වීදි නාට්‍ය කණ්ඩායමයි.
නිහාල් සුරංජි ඇදහූවන් විශ්වාස කළ සමාජය නිර්මාණය කිරීමට ඔහු ඒ හරහා අති මහත් උත්සාහයක් ගත්තේ ය.
කොළඹින් බැහැර ඈත ගම්මාන වල ජනශ්‍රැති නාට්‍ය ගැන පර්යේෂණ ආරම්භ කළේ ය.වැඩ මුළු සංවිධානයට යොමු වූයේ ය.
1986 දී මහනුවර ඈත ගම්මානයක් වූ පදියපැළැල්ලට ගොස් සිංහලේ කංකාරිය නමින් ජන නාට්‍යයක් ඔහු නිෂ්පාදනය කළේය.
වයඹ ප්‍රාදේශීය නාට්‍යකරුවන් සමග අරකාවිල හටන නැමති වාර්තා රංගය නිෂ්පාදනය කළේ ය.
නාට්‍ය අත්දැකීම් වලින් ඔහු බහුල වීමත් සමඟ ඔහු ලංකා වේදිකාවේ මහා සම්ප්‍රදාය අතපත ගාන්නට විය.
ඒ යටතේ ප්‍රොමිතියස්,ප්‍රොමිතියස් බන්ධනය, හෙන්රික් ඉබ්සන්ගේ Enemy of the People විජිත ගුණරත්නගේ නාට්‍ය පරිවර්තනය ජනතා ද්‍රෝහියා නමින්ද නිෂ්පාදනය කළේය.
මේ අතර තවත් නිෂ්පාදනයක් වූහිල් වීදිය ඔහුගේ නාට්‍ය ගමන් මගේ ස්වතන්ත්‍ර නිර්මාණයකි.
රංගනයෙන්, නාට්‍ය අධ්‍යක්ෂණයටත්, ඉනික්බිති ව ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයටත් බට නිහාල් සුරංජි වට මේසයේ කතන්දර නමින් මාලා නාට්‍ය නිෂ්පාදනය කළේ ය.
වේදිකාව,රූපවාහිනී නිෂ්පාදනය නිර්මාණශීලී ලෙස සමතික්‍රමණය කළ නිහාල් සුරංජිගේ රංගන හැකියාව සිනමා නිර්මාණ කීපයකටද දායක විය.
ඉතා දීර්ඝ නිර්මාණ චාරිකාවේ දී ඔහුට - ඇය ජීවිත වේදිකාවේ සහය නිළිය හමුවිය.
ඒ නර්තනාචාරිනි පද්මා අයිරාංගනී ඔහුගේ ආදරණීය බිරිඳයි.
ඔහුගේ මුළු ජීවිත කාලයෙන් අඩකටත් වඩා ලංකාවේ නාට්‍ය කලාව වෙනුවෙන් ඔහු කැප කළේය.
ජීවිතයේ ඉතා දුෂ්කර අවදි රැසක දුර්භාග්‍ය කාලය පසු කළ නිහල් සුරංජි තරග විභාගයකින් කොළඹ නගරයේ ග්‍රාම නිලධාරියකු ලෙස රාජ්‍ය සේවයට එක්විණ. ඒ අතරතුරදී පවා ලංකාව පුරා වීදි නාට්‍ය වැඩමුළු මෙහෙයවීය.
කුරුණෑගල ජනතාව වේදිකාව වීදි නාට්‍ය කණ්ඩායම හබරාදුව සුභාවී වීදි නාට්‍ය කණ්ඩායම මහනුවර පොළොන්නරුව ත්‍රිකුණාමලය අම්පාර ආදී ප්‍රදේශවල වීදි නාට්‍ය වැඩ මුළු, වීදි නාට්‍යකරුවන් පෝෂණය කළේය.
වාණිජ අරමුණු පසෙකලා කලාව හා රසාස්වාදය මානව හිතවාදී නාට්‍ය කලාවක් කෙරෙහි ඔහු තුළ වූයේ බලවත් අභිප්‍රායෙකි.
එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු නාට්‍ය නිෂ්පාදනය සඳහා වූ ණය විශ්‍රාම ලැබීමෙන් පසුවද ගෙවා දැමීමට සිදුවූ බව කණගාටුවෙන් සටහන් කළ යුතුය.
ඔහුගේ අවමංගල්‍යය කටයුතු සිදුවන දින විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් සඳහා ඔහු සමූහ පණිවිඩයක් යවා තිබිණ.
නිහාල් ගේ සෙවණ යට හිඳ බොහෝ තරුණයෝ රංගන ශිල්පීන් නාට්‍ය අධ්‍යක්ෂකවරු බවට පත්වූහ.
