ආරක්ෂකඋණුසුම් පුවත්කාලීනදේශපාලන

දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතේ යෝජිත ඇප විධිවිධාන මූලික අයිතිවාසිකම්වලට බරපතල තර්ජනයක්.

බන්ධනාගාර තදබදය අර්බුදය තවත් උග්‍ර කරනු ඇත. - ෆ්‍රී ලෝයර්ස් කණස්සල්ල පළ කරයි

රජය විසින් ගැසට් කරන ලද 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය යටතේ වන ඇප සම්බන්ධයෙන් වන යෝජිත සංශෝධන පිළිබඳ ෆ්‍රී ලෝයර්ස් සංවිධානය සිය දැඩි කණස්සල්ල පළ කරයි.

යෝජිත සංශෝධන පනත මගින් ඇප පනතේ සියළු වන බහුතරයක් කරුණු ඇප ලබාදිය නොහැකි වරද ලෙස අර්ථ ගන්වයි.  මෙහිදී වඩාත්ම තීරණාත්මක වන්නේ, පුද්ගලයෙකු රු. 100,000 ට නොඅඩු අල්ලසක් ඉල්ලා සිටීම, පිළිගැනීම හෝ පිරිනැමීම ඇප ලබාදිය නොහැකි වරදක් බවට පත් කිරීමයි. තව ද, රජයට රු. 500,000 ට නොඅඩු පාඩුවක් සිදු කළ දූෂණයක් හෝ රු. 500,000 ට නොඅඩු ප්‍රතිලාභයක්, අනුග්‍රහයක් හෝ වාසියක් ලබා ගැනීම සම්බන්ධයෙන් සැක කරන සැකකරුවෙකුට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහතිකයක් මත මහෙස්ත්‍රාත් අධිකරණයකින් ඇප ලබා ගැනීමට ඇප පනත මගින් ලබාදී ඇති අවස්ථාව අහිමි කිරීමය.  එවැනි සැකකරුවෙකුට යෝජිත පනත යටතේ ඇප ලබා ගත හැක්කේ මහාධිකරණයෙන් සුවිශේෂී අවස්ථාවන්හිදී පමණි.

යෝජිත සංශෝධනයේ විධිවිධාන මහේස්ත්‍රාත් අධිකරණවල (විනිසුරුවන්ගේ) අභිමතය සැලකිය යුතු ලෙස සීමා වේ. සැකකරුවන්ට සිය නිර්දෝශීභාවය ස්වාධීන අධිකරණයට ඉදිරිපත් කර ඇප ලබා ගැනීමට ඇති අවස්ථාව අහිමි කරයි.  විමර්ශන අවධියේදී අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අතට අසීමිත හා අධිකාරිමය බලයක් පවරයි.  එම බලය ආරම්භයේ සිටම නිදහසට/නි‍‍ර්දෝෂීභාවයට එරෙහිව උපකල්පනයක් ඇති කරයි.  තව ද, ඕනෑම චෝදනාවක් ඔප්පු කිරීමේ භාරය වගඋත්තරකරු වෙත මාරු කරයි.  එමගින් පැමිණිල්ල ඔප්පු කරන තුරු නිර්දෝෂීභාවය පිළිබඳ උපකල්පනය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන වගන්තිය යටතේ සහතික කර ඇති පුද්ගලික නිදහසට ඇති අයිතිය මුළුමනින්ම පාහේ අඩපණ කරයි. ඇප ලබාදීම නීතිය විය යුතු අතර, බන්ධනාගාරය ව්‍යතිරේකය විය යුතු බවට දිගු කලක් තිස්සේ ස්ථාපිත වූ මූලධර්මය පුළුල් පරාසයක නඩු සඳහා අල්ලස් කොමිසමේ විමර්ශකයින්ගේ තනි පුද්ගල බලපෑමට නතු කරයි.

මෙම සංශෝධනය නීතියක් බවට පත්වන්නේ නම්, විශාල පිරිසක් නඩු විභාගයට පෙර දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීම අනිවාර්ය ප්‍රතිඑලයක් වනු ඇත.  මෙසේ රඳවා තබා ගන්නා බොහෝ දෙනෙකු අවසානයේ නිදොස් කොට නිදහස් වන අතරම, ප්‍රායෝගික තත්වයන් අනුව නඩු අවසන් වීමට වසර ගණනාවක් ගත විය හැකිය.

මෙය දැනටමත් දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇති රිමාන්ඩ් සිරකරුවන්ගේ අනුපාතය හා ප්‍රමාණය තවදුරටත් ඉහළ නංවන අතර, ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල පවතින අමානුෂික තත්වයන්ට වැඩි පිරිසක් නිරාවරණය කරන්නේය. එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති කෲර, අමානුෂික හෝ පහත් සැලකිලි වලින් නිදහස් වීමේ අයිතිය, නි‍ර්දෝශිභාවයේ අඩපන කරයි.  

බන්ධනාගාර තදබදය සහ පද්ධතිමය අසාර්ථකත්වයන්

මෙරට බන්ධනාගාර පද්ධතියේ පැවතිය යුතු අවම ප්‍රමිතීන් සහ ජාත්‍යන්තර පිළිගත් ව්‍යවහාරයන් ස්ථාපනය කිරීමට මේ වන විට රාජ්‍යය අසමත්වී ඇති බැවින් සැකකරුවන්ට මෙලෙස කෲර හා අමානුෂික හෝ පහත් ලෙස සැලකීම අතිශයින්ම ප්‍රශ්නකාරී වේ.

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ බීබීසී සිංහල සේවය විසින් ලබාගෙන 2026 අගෝස්තු 2 වන දින ප්‍රකාශයට පත් කරන ලද තොරතුරු වලට අනුව, අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව 2026 ජූලි 4 වන දින (මීගමුව ප්‍රචණ්ඩත්වයට පෙර දින) ලබාගත් තොරතුරු පහත දැක්වේ.

* වැලිකඩ බන්ධනාගාරය - අනුමත ධාරිතාව 839 ක් නමුත් 3,400 ක් රඳවා ඇත.

කොළඹ බන්ධනාගාරය - අනුමත 328 ක් නමුත් 2,782 ක් රඳවා ඇත.

* මැගසින් බන්ධනාගාරය අනුමත 499 ක් නමුත්, 3,046 ක් රඳවා ඇත

මීගමුව බන්ධනාගාරය අනුමත 496ක් නමුත් 2,403 ක් රඳවා සිට ඇත.

තව ද, 2025 දෙසැම්බර් 31 වන දින වන විට, අත්අඩංගුවේ පසුවන අයගෙන් ආසන්න වශයෙන් සියයට 90 ක් සැකකරුවන් ලෙස වසරකටත් අඩු කාලයක් රඳවාගෙන සිටි ඇත.

2026 මැයි 31 වන දින වන විට රජයේ රස පරීක්ෂක වාර්තා ලැබෙන තෙක් සැකකරුවන් 15,607 ක් පමණ බන්ධනාගාරයේ රැඳී සිට ඇත.  2026 අගෝස්තු 1 වන දින, තවදුරටත් නොසන්සුන්තාවයක් ඇති වූ විට, මහර බන්ධනාගාරයේ සිරකරුවන් 4,100 කට වැඩි පිරිසක් රඳවා සිටියහ.

ජාතික විගණන කාර්යාලයේ වාර්තා පදනම් කර ගනිමින්, 2026 අගෝස්තු 3 වැනි දින බන්ධනාගාර තදබදයට ප්‍රධාන හේතු ලෙස මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙසේය.

* රජයේ රස පරීක්ෂක වාර්තා ඉදිරිපත් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් සැකකරුවන් 15,117ක් දැනට බන්ධනාගාර ආයතන 22ක රඳවා සිටින අතර ඔවුන්ව නිදහස් කළ නොහැක.

* කුඩා දඩ මුදල් ගෙවීමට නොහැකි නිසා පමණක් අමතර රැඳවියන් 1,940ක් ආයතන 28ක රඳවා ඇත.

* විගණන කාර්යාලය මෙම ප්‍රමාදයන් සහ සුළු දඩ පැහැර හැරීම් සඳහා පුද්ගලයින් රඳවා තබා ගැනීම තදබදයට ප්‍රධාන හේතු ලෙස හඳුනා ගනී.

* මත්ද්‍රව්‍යවලට සම්බන්ධ රැඳවියන් වෙනත් සිරකරුවන් සමඟ දිගින් දිගටම මිශ්‍ර කිරීම නිසා බරපතළ සමාජ අර්බුදයක් නිර්මාණය කරමින්, බන්ධනාගාර තුළ පාතාල ක්‍රියාකාරකම් වර්ධනය වීමට පහසුකම් සැලසී ඇත.

මේ අනුව බන්ධනාගාරයන් හි අධික තදබදය දිගුකාලීන පරිපාලන අසාර්ථකත්වයේ ප්‍රතිඵලයක් බව පෙනී යයි.  විශ්ලේෂණ වාර්තාවල ප්‍රමාදය සහ සුළු වැරදිකරුවන් සඳහා ඵලදායී භාරකාර නොවන විකල්ප නොමැතිකම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය මූලික වගකීම දරයි.

මෙම පරිසරය තුළ සැකකරුවන්ට ඇප ලබාදීමට නොහැකි ලෙස නව විධිවිධාන හඳුන්වා දීමෙන් රිමාන්ඩ් තවදුරටත් පිරී යනු ඇත. එය තවදුරටත් කඩා වැටෙමින් ඇති අවම පහසුකම් මත පීඩනය තීව්‍ර කරනු ඇත. රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් දෙපිරිසටම ප්‍රචණ්ඩත්වය, රෝග සහ මරණ අවදානම ඉහළ නංවනු ඇත.

සංශෝධන නැවත සලකා බලන ලෙස සිදු කරන ඉල්ලීම

ඉහත පනතට යෝජිත ඇප විධිවිධාන ඉල්ලා අස්කර ගැනීමට හෝ සැලකිය යුතු ලෙස සංශෝධනය කිරීමට වහා පියවර ගත යුතුය. දූෂණය සඳහා වගවීම ශක්තිමත් කිරීම අරමුණු කරගත් ඕනෑම පියවරක් බන්ධනාගාර පද්ධතියේ ධාරිතාව සම්බන්ධයෙන් සමානුපාතික, අයිතිවාසිකම්වලට අනුකූල සහ යථාර්ථවාදී විය යුතුය. වහා පිළියම් ලබාදිය යුතු බන්ධනාගාර ගැටළු පසෙක ලා සැකකරුවන් ලෙස නම් කරන පුද්ගලයින්ගේ මානව අයිතීන් උල්ලංඝනය කරමින් අහිමි කිරීමෙන් දූෂණයට එරෙහි සටන ශක්තිමත් කළ නොහැක.

UNDP සහ ලංකාවේ සංවර්ධන සහකරුවන් වෙත කරන ඉල්ලීම

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) සහ ඒ ආශ්‍රිත අධිකරණ අංශ ආයතන ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), යුරෝපීය සංගමය (JURE ව්‍යාපෘතිය හරහා), ආසියානු සංවර්ධන බැංකුව, ජපාන රජය සහ අනෙකුත් ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික හවුල්කරුවන් සැලකිය යුතු තාක්ෂණික සහ මූල්‍යමය සහාය ලබා දී ඇත.  ෆ්‍රී ලෝයර්ස් සංවිධානය ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ,

  • RTI සහ ජාතික විගණන කාර්යාලයේ සොයාගැනීම් වැනි නිල දත්ත‍ සැලකිල්ලට ගෙන යෝජිත පනත් සංශෝධනය හරහා ඇති විය හැකි මානව හිමිකම් සීමා කිරීම පිළිබඳ පරීක්ෂා කරන්න.
  • රජයේ විශ්ලේෂක වාර්තා ප්‍රමාදය, කුඩා දඩ මුදල් ගෙවීමට නොහැකිවන්නන් සම්බන්ධ ගැටළුව, නඩු විභාගයට රිමාන්ඩ් බන්ධනාගාරයේ කෲර හා අවමන් සහගත ලෙස රඳවා තැබීම වැලැක්වීමේ හදිසි අවශ්‍යතාව අධිකරණ අමාත්‍යාංශය වෙත අවධාරණය කිරීම,
  • දූෂණ විරෝධී උත්සාහයන් සියල්ල සහ අනාගත සහයෝගය ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට, නිර්දෝෂීභාවය පිළිබඳ පූර්ව නිගමනයට සහ ආරක්ෂිත සහ මානුෂීය රඳවා තබා ගැනීමේ කොන්දේසි පවත්වා ගැනීමේ බැඳීමට අනුකූල වන බව සහතික කිරීම.
  • දූෂණයට එරෙහිව ඵලදායී ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය වේ. කෙසේ වෙතත්, ජීවිත අනතුරේ හෙළන, මූලික අයිතිවාසිකම් අහිමි කරන අශිෂ්ඨ ව්‍යවහාරයකි. පරිපාලන අසාර්ථකත්වයන් විසින් සිදු වන මනුෂ්‍ය ඝාතන හා මිනිස් අයිතීන් නොසලකා හරින පියවර අනුගමනය නොකළ යුතුය.

රජිත් කීර්ති තෙන්නකෝන්

ප්‍රධාන විධායක නිලධාරි/ෆ්‍රී ලෝයර්ස් සංවිධානය