ආර්ථිකඋණුසුම් පුවත්

නවසීලන්ත කථානායකගෙන් සිරිලකට පැසසුම්

1958 කොළඹ ක්‍රමය ප්‍රදානයක් යටතේ මහරගම ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය විද්‍යාලය පිහිටුවීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා නවසීලන්තයට ස්තූතිය පිරි නැමීය

1893 දී නවසීලන්තය ට සහ 1931 දී ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලබාදෙමින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ පරම කැපවීම පිළිබඳ සාඩම්බර වාර්තාවකට දෙරට හිමිකම් කියන බව අග්‍රාමාත්‍යවරයා සිහිපත් කළේය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ නවසීලන්ත පාර්ලිමේන්තුවේ කථානායක ගෙරී බ්‍රවුන්ලී (Gerry Brownlee) මහතා අතර හමුවක් ඊයේ (2024.07.10) අරලියගහ මන්දිරයේදී පැවැති අවස්ථාවේ දිනේෂ් ගුණවර්ධන මහතා ඒ්  සිහිගැන්වීම කරන ලද්දේ ය.

දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳ ව මෙහිදී සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා, නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව ඉහළ නංවන ලෙසත්, කොළඹ ක්‍රමය යටතේ වැඩිදුර සහය ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය.

1958 දී කොළඹ ක්‍රමය ප්‍රදානයක් යටතේ මහරගම ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය විද්‍යාලය පිහිටුවීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා නවසීලන්තයට ස්තූතිය පළ කළ අතර එය වැඩිදියුණු කිරීම සඳහා සහාය ඉල්ලා සිටියේය. නවසීලන්ත කථානායකවරයා ශ්‍රී ලංකාවේ ඉක්මන් ආර්ථික ප්‍රකෘතිමත් වීම පිළිබඳ ව ප්‍රශංසා කළ අතර තම රටෙහි අඛණ්ඩ සහයෝගීතාව සහතික කළේය. සංචාරක, වරාය සහ නාවික, ධීවර හා කෘෂිකර්මය ඇතුළු ක්ෂේත්‍ර රැසක විශාල විභවයක් ශ්‍රී ලංකාවට ඇති බව ඔහු පැවසීය.

කිරි නිෂ්පාදන අංශය, රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ සහ ඉඩම් ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඇති විය හැකි සහයෝගීතාව පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට ලක් කෙරිණි.

නවසීලන්ත දූත පිරිසට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාලෝස් වියුන්ග්, (Carlos Cheung),  ඇන්ඩි ෆොස්ටර් (Andy Foster), කුෂ්ලා ටැන්ගරී - මැනුවල් (Cushla Tangaere - Manuel), ලෝරන්ස් ෂු-නැන් (Lawrence Xu-nan), නිකෝ හෙනෙවෙල්ඩ් (Nico Henneveld), නවසීලන්ත පාර්ලිමේන්තු උපදේශක සහ මහ කොමසාරිස් ඩේවිඩ් පයින් ද ඇතුළත් විය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදර්ශන දෙනිපිටිය , යදාමිණි ගුණවර්ධන,  අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක එක්ව සිටිය හ.