උණුසුම් පුවත්කාලීනදේශපාලන

නාමල්ගේ නඩුව හය මාසෙකට කල් යයි

නීතිපති උපදෙස් නැති බව CID ය උසාවියට කියයි

මුදල් විශුද්ධීකරණ විරෝධී පනත යටතේ, පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවතින නඩුව ජූලි මස 30 වැනිදා දක්වා  කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (29) නියෝග කළේ ය.

රුපියල් ලක්ෂ 150 ක මුදලක් එන්. ආර්. කනසල්ටන්සි ආයතනයේ යෙදවීම හරහා මුදල් විශුද්ධිකරණ විරෝධී පනත උල්ලංඝනය කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මේ නඩුව පවරා ඇත.

නඩු කෘතියට අදාළ විමර්ශන වාර්තා නීතිපතිවරයා වෙත යොමු කර ඇතත්, මෙතෙක් ඒ සම්බන්ධයෙන් ස්ථිර උපදෙසක් ලැබී නැති බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන් පසු විනිසුරු බෝදරගම මහතා උක්ත නියෝගය නිකුත් කරන ලද්දේ ය.

නීතිපතිවරයාගේ ස්ථාවරය ලැබෙන තුරු නඩු විභාගය තාවකාලිකව නතර කරන ලද විනිසුරු බෝදාගම මහතා, ඊළඟ නඩු වාරයේ දී පරීක්ෂණවල වත්මන් ප්‍රගතිය වාර්තා කරන ලෙස ද පොලිසියට නියෝග කරන ලදි.

රාජපක්ෂ මහතා ඇතුළු සිව්දෙනෙකුට විරුද්ධව මේ නඩුව ඉදිරිපත් කර ඇත. ඔහුන් සියලු දෙනා අද අධිකරණය හමුවේ පෙනී සිටියහ.