පාතාලයට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට රට විනාශ කිරීමට ඉඩ දිය නොහැකියි - ජනපති
මත්ද්‍රව්‍ය පාලනය සඳහා ශක්තිමත් එක් ආයතනයක්. නව තාක්ෂණය භාවිතයෙන් සිදුවන පාතාල ක්‍රියාවන් මැඩලීමට ද නව නීති ගෙන එන බව ජනපති කියයි.
සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසු කිසිදු අයුරකින් රට තුළ ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදුවිය නොහැකි බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳ වගකීමෙන් කටයුතු කරන ලෙස ද සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ජයවර්ධනපුර විශේෂ මෙහෙයුම් විධානය කඳවුරට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොලිස් විශේෂ කාර්ය බළකා උත්තමාචාර සම්මාන පිළිගන්වමින් අභිමානවත් අයුරින් පිළිගැනිණි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ වත්මන් අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
මෙම විශේෂ මෙහෙයුම් විධානය මහජන සාමය කළමනාකරණය සහ යතුරුපැදි ධාවකයින්ගේ කණ්ඩායමේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය ලෙස කටයුතු කරනු ඇත. විශේෂ කාර්ය බලකායේ මෙම විශේෂිත ඒකකවල මෙහෙයුම් විධානය විශේෂ මෙහෙයුම් අධ්‍යක්ෂ වෙත පැවරෙනු ඇති අතර, ඔහු නියෝජ්‍ය මෙහෙයුම් අණදෙන නිලධාරියා හරහා විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක වෙත සෘජුවම වාර්තා කරනු ඇත.
මෙම මධ්‍යස්ථානයේ ස්ථානගත කර ඇති විශේෂිත කණ්ඩායම්වලට ත්‍රස්තවාදී සහ ප්‍රචණ්ඩ අන්තවාදී ප්‍රහාර, ප්‍රචණ්ඩකාරී මහජන විරෝධතා, ප්‍රාණ ඇපකරුවන්ගේ සිද්ධීන් සහ වෙනත් ඒ හා සමාන අර්බුද ඇතුළුව විවිධ හදිසි අවස්ථා වෙත ප්‍රතිචාර දැක්වීමේ වගකීම පැවරී ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය පාලනය සඳහා දැනට පවතින පොලිස්, හමුදා සහ සිවිල් ආයතන සියල්ල එකට එක් කර මත්ද්‍රව්‍ය විරෝධි විධාන පනත යටතේ එක් ආයතනයක් ස්ථාපිත කර ඊට අදාළ බලතල පැවරීමට කටයුතු කරන බවයි.
පාතාලයට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට රට විනාශ කිරීමට ඉඩ දිය නොහැකි බවද අවධාරණය කළ ජනාධිපතිවරයා නව තාක්ෂණය භාවිතයෙන් සිදුවන මෙරට පාතාල ක්‍රියාවන් මැඩලීම වෙනුවෙන්ද නව නීති හඳුන්වාදෙන බව ද ප්‍රකාශ කළේය.
එසේම ජනතාවට නීතිය හා සාමය තහවුරු වූ රටක ජීවත්වීමට ඉඩ සලසා දීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමක් බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා එයද නීතියට ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
අද මෙම විශේෂ ක්‍රියාකාරි මධ්‍යස්ථානය විවෘත කිරීම විශේෂ කාර්ය බලකායේ තවත් සුවිශේෂි පියවරක් ලෙස සඳහන් කළ හැකියි. එදා එල්ටීටීඊ ත්‍රස්තවාදය සමඟ සටන් කිරීම සඳහා මඩකලපුව ප්‍රදේශයට යැවු මෙම කණ්ඩායම අද ලංකාවේ නීතිය හා සාමය ආරක්ෂා කරන විශේෂ කාර්ය බලකායක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම ලොව පුරා ප්‍රසිද්ධියක් ලබා තිබෙනවා. අද ලෝකය එදාට වඩා වෙනස්. ඉදිරියේ දී එය තවත් වෙනස් වෙනවා. 2030 වසර වන විට මේ රටේ ආරක්ෂාවට මෙම බලකායෙන් සිදු කරන සේවය කුමක්ද කියා හඳුනගෙන එහි නවීකරණයක් කළයුතුව තිබෙනවා. එහිදී තාක්ෂණය වැඩි වශයෙන් භාවිතයට ගත යුතුයි. අද සෑම අංශයක්ම තාක්ෂණය මත ක්‍රියාත්මක වෙනවා.
සාමාන්‍ය අපරාධ සහ විශේෂ අපරාධ අතර අද වෙනසක් නැතිව ගොස් තිබෙනවා. එදා අපරාධකරුවන් ලෙස හැදින්වූයේ එකට එක් වූ කණ්ඩායමක්. නමුත් අද එය ඔවුන් අතර යුද්ධයක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය ජාවාරමද අද කණ්ඩායම් අතර යුද්ධයක් බවට පත්ව තිබෙනවා. එම නිසා මෙම නීතිවිරෝධි ක්‍රියාවන්ට එරෙහිව ගෙන යා යුතු වැඩපිළිවෙළ අප අලුතින් සිතා සකස් කළ යුතුයි.
පාතාලයේ ඕනෑම අයෙකුට අද තිබෙන නව තාක්ෂණය භාවිත කළ හැකියි. එම නිසා ඒවා පාලනය කිරීම සඳහා වෙනම නීති ගෙන ඒමට සිදු වෙනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය පාලනය සඳහා ද එක් ආයතනයක් යටතේ නව නීති ගෙන ඒමට මම බලාපොරොත්තු වෙනවා. පොලිස්, හමුදා සහ සිවිල් සියලු ආයතන එකට එක් කරගනිමින් මත්ද්‍රව්‍ය විරෝධි විධාන පනත යටතේ නව ආයතනයක් ස්ථාපිත කර ඊට බලතල පැවරීමට මා බලාපොරොත්තු වෙනවා. අවශ්‍ය නම් මෙම කණ්ඩායම දීර්ඝ වශයෙන් මෙම කටයුතුවල යෙදවිය හැකියි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සමාජය විනාශ කිරීමට ඉඩ දෙන්න බැහැ.
රටේ ජනතාවට නීතිය හා සාමය යටතේ ජීවත්වීමට ඉඩ දීම මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමක් බව කිවයුතුයි. එයත් නිතියට ඇතුළත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම ඉදිරි මාසය තුළ ඔබට තවත් විශාල වැඩකොටසක් පැවරී තිබෙනවා. මෙරට ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙනවා. පොලිස් දෙපාර්තමේන්තුවේ යුතුකම වන්නේ රට තුළ නීතිය හා සාමය තහවුරු කර නීත්‍යානුකූල ආකාරයට මෙම මැතිවරණය පැවැත්විමට අවස්ථාව සලසා දීමයි. ජනාධිපතිවරයා ලෙස එය මගේ මෙන්ම මැතිවරණ කොමිසමේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ යුතුකමක් බව කිවයුතුයි.
එපමණක් නොවෙයි, ඕනැම මැතිවරණයකින් පසු ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වෙනවා. අප ඒවා නැවැත්විය යුතුයි. මෙවර මැතිවරණයෙන් පසු කිසිඳු අයුරකින් ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවිය නොහැකියි. අප ඒ පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කළයුතුව තිබෙනවා.
අපට අද මෙම මැතිවරණය පැවැත්වීමට හැකිවී තිබෙන්නේ රට තුළ නීතිය හා සාමය ආරක්ෂා වී තිබෙන නිසයි. අපේ ව්‍යවස්ථාව ආරක්ෂා වී තිබෙන නිසයි. අපි නව ආණ්ඩුවක් පත් කර ගන්නේ ව්‍යවස්ථාව අනුවයි.
“මෙය ප්‍රජාතන්ත්‍රවායට තර්ජනයක්. ඒ නිසා මම බණ්ඩාරනායක මැතිතුමාගේ ආණ්ඩුවට සම්පූර්ණ සහාය ලබා දෙනවා. එය මම කැමති ආණ්ඩුවක් නොවුණත් ජනතාව තෝරාගත් ආණ්ඩුවක්” කියා එතුමා ප්‍රකාශ කළා. එදා සිටම අප එම ක්‍රමය ඇති කර තිබෙනවා.
1989 විරුද්ධ පක්ෂයේ නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සහ අනුරුද්ධ රත්වත්තේ මැතිතුමා ප්‍රේමදාස ජනාධිපතිවරයා හමු වී ප්‍රකාශ කළා “ඔබතුමාට අපේ සම්පුර්ණ සහාය ලබා දෙනවා” කියලා. අපේ ඉතිහාසය එයයි.
ඔබතුමන්ලා 2022 ජූලි මාසයේ මේ රටේ නීතිය හා සාමය ස්ථාපිත කළ නිසා මේ රටේ ජනතාවට 2024 සැප්තැම්බර් 21 වනදා තම ඡන්දය භාවිතා කර ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ පිළිබඳ මම ඔබ සියලුදෙනාට ස්තූතිවන්ත වෙනවා