ඉපැරණි
මායිම් ගල් වල
කෙටූ
නිධන් ලකුණ අම්මා
මලට හැඩය දී
පාට හදා
කිරි සුවඳ බෙදු
අම්මා
විලක සියපතව
මඩින්
ගොඩට ආ
අම්මා
හීල් බත ට වුව
ආදරයේ රස
තවරාලු
අම්මා
ළය මත ඇවිලෙන
සෙනේ ගින්දර
පෙම්මාදර
අම්මා
දළු ලන
ළදරු පැලෑටි
අතින් වඩා
පොහොර යෙදු
අම්මා
දිව මතුරක් වන්
නැළවිලි ගී කී
සම්මා සම්බුදු
ගුණ පිරි
අම්මා
සසර දුකම විඳ
බුදු බව
කිසිදා
නොපතන
අම්මා
දරු දුක නාමෙන්
සිතින් අනේක වූ
දහදුක ඉසිලු
අම්මා
ගතට විවේකය
කිසිදා නොලැබූ
මහගිරි දඹ වේ
අම්මා
සතුට ළඟදී වුව
පංගු පේරු නැති
සම්මා සම්බුදු
අම්මා
සමහර දරුවන්
ඇය පැතු සතුටේ
ණය බර
හිස මත දැම්මා
**සිතුවම හා මව් ගුණ වැනුම
– රඹුක්කන –
කීර්ති එස් කුමාර