උණුසුම් පුවත්දේශපාලනසතියේ සටහන

නිපුණආරච්චිට ලොක්කන්ගෙන් දොස්පරොස්

ජගත් ගේ සතියේ සටහන  -  42

රුපියල් 2000 යි කෑම පාර්සගෙයි නුදුන් රංජන් ගේ ප්‍රජාතන්ත්‍රවාදයේ හඬ 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා ජනප්‍රිය රංගන ශිල්පියකු වන රංජන් රාමනායක මහතා පසුගිය සතියේ දේශපාලන ක්ෂේත්‍ර‌ෙය් පුවත් මවන්නකු බවට පත්වී තිබුණේ ඔහු මෙවර මහ මැතිවරණයට "එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ" පක්ෂයේ නායකයා ලෙස ගම්පහ දිස්ත්‍රික්කයට තරග කිරීම නිසයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී වසර 4 කට හිරේ ගිය රංජන් රාමනායකට, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් ජනාධිපති සමාව නිසා එළියට ඒමට හැකිවුණා. බන්ධනාගාර ගතවීම නිසා ඔහුගේ ප්‍රජා අයිතිය, අවුරුදු 7 කට අහිමි වුණා. ප්‍රජා අයිතිය අහිමි වූ කෙනකුට මැතිවරණයකට ඉදිරිපත් වීමේ හැකියාවක් ලැබෙන්නේ නෑ.

මැතිවරණයට නාමයෝජනා බාර ගැනීමට පෙර රංජන් රාමනායක මහතා ජනාධිපති කාර්යාලයට ගොස් තමාගේ ප්‍රජා අයිතිය යළි ලබා දෙන ලෙස, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන් ඉල්ලා තිබූ නමුත්, එයට කිසිදු ප්‍රතිචාරයක් ජනාධිපතිවරයාගෙන් ලැබී නැති බව ද වාර්තා වෙනවා.

මහ මැතිවරණයට නාමයෝජනා භාරගැනීම අවසන් වීමට පෙර, මාධ්‍ය හමුවක් පැවැත්වූ රංජන් රාමනායක මහතා, තමා ''එක්සත් ප්‍රජාතන්ත්‍රවාදීහඬ" නම් අලුත් පක්ෂයක් පිහිටුවා ගත් බව ප්‍රකාශ කළා. තමා එම පක්ෂයේ සභාපති බවත්, හිටපු ක්‍රිකට් නායකයකු වන තිලකරත්න ඩිල්ෂාන් පක්ෂයේ ජාතික සංවිධායක බවත්, උප සභාපතිවරයකු ලෙස වඩිවෙල් සුරේෂ් මහතා පත්කර ගත් බවත් පැවසූ, රංජන් රාමනායක මහතා කොළඹ, ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවකට තරග කරන බව ද කියා සිටියා.       

- ප්‍රසන්නගේ බාල්දිය -

 එම පක්ෂයේ 'ජාතික සමුළුව' නමින් රැළියක් පසුගිය 26 වැනි දා, කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවති අතර විශාල පිරිසක් එයට සහභාගි වී සිටියා.  එහෙත් රැළිය අවසානයේ දී එයට පැමිණ සිටි පිරිස, කෑකෝ ගසන්නට වුණේ රැළියට සහභාගිවීම වෙනුවෙන්, තමන්ට පොරොන්දු වූ මුදල් නොගැබුණු බව පවසමින්.

මෙම රැළියට තමන් පැමිණියේ එක් අයකුට රුපියල් 2000 ක් හා, කෑම පැකැට්ටුවක් ලබා දෙන බවට වූ පොරොන්දුව නිසා බවත්, රැළිය අවසන් වූ පසු සංවිධායකයින් පිටවී ගිය අතර තමන්ට පොරාන්දු වූ මුදල නොලැබුණු බවත්, විශ්වවිද්‍යාලයී ය සිසුන් පිරිසක් උද්ඝෝෂණය කරන්නට වුණා.

එහෙත් රංජන් රාමනායක මහතා ඔවුන් ගේ මේ චෝදනා ප්‍රතික්ෂේප කළේ, තමන් මුදල් දෙන පොරොන්දුව මත කිසිවකු රැළිය නොගෙන්වූ බව පවසමින්.

මේ අතර 'එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ' පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කරන අපේක්ෂකයකු වූ, ප්‍රසන්න අධිකාරී මහතා පසුගිය 27 වැනි දා, කොළඹ දී මාධ්‍ය හමුවත් පවත්වමින් කියා සිටියේ, රංජන් රාමනායක ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ නායකයා නොවන අතර, තිලකරත්න ඩිල්ෂාන් මහතා එහි ජාතික සංවිධායක  ද නොවන බවයි. 

එහි නිලධාරි මණ්ඩලය ලෙස දෙමළ හා මුස්ලිම් පිරිසකගේ නාම ලේඛනයක් දකින්නට ලැබෙනවා. රංජන් ගේ හෝ දිල්ෂාන් ගේ හෝ නම් එහි කිසිදු තැනක සඳහන් වන්නේ නැහැ. පක්ෂයේ ලේකම් වශයෙන් දක්වා ඇත්තේ ජෙයසීලන් නැමැත්තකුගේ නමයි. ඔහු සුභාෂ් අලිරාජාගේ ලයිකා මොබයිල් ආයතනයේ ප්‍රධානියෙක්. පක්ෂයේ ලිපිනය ලෙස තිබෙන්නේ බොරැල්ලේ පිහිටි ලයිකා මොබයිල් ආයතනයේ ලිපිනය යි" යනුවෙන් පැවසූ ප්‍රසන්න අධිකාරි මහතා මේ ගැන තමා ඔවුන්ගෙන් විමසුවත් පිළිතුරු නොදුන් බව ද කියා සිටියා.

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ' දෙමළ ඩයස්පොරාවේ රූකඩයක් බව ද ඔහු තව දුරටත් සඳහන් කළා.

මේ පිළිබඳව 'එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ' පක්ෂය පවසන්නේ, ප්‍රචාරක ව්‍යාපෘතියක් සඳහා අධිකාරි මහතා, රුපියල් ලක්ෂ 200 ක මුදලක් ඉල්ලා වාර්තාවක් ඉදිරිපත් කළ බවත්, පක්ෂයේ නිලධාරි මණ්ඩලය එම මුදල ලබාදීම ප්‍රතික්ෂේප කළ නිසා, දැන් ඔහු මෙසේ පක්ෂයට පහර ගැසීමට පටන්ගෙන ඇති බවයි.   

ඔවුන් එසේ පැවසුව ද පක්ෂයේ නිලධාරි මණ්ඩලය හා, පක්ෂ ව්‍යවස්ථාව පිළිබඳව ප්‍රසන්න අධිකාරි මහතා නැඟූ චෝදනාවලට, මෙතෙක් කිසිදු පිළිතුරක් දී නැහැ.

මේ අතර රංජන් රාමනායක මහතා මෙවර මැතිවරණයට තරග කිරීම වළක්වාලමින්, ඔහුගේ නාමයෝජනා පත්‍රය බල රහිත කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා, ඉදිරිපත් කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම, විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය බදාදා ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ඒ නීතිපතිවරයා විසින් මහ මැතිවරණය සඳහා 'එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ' ලෙස පෙනී සිටිය ද එම පක්ෂය මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි කොට ඇත්තේ 'එක්සත් කොන්ග්‍රසය පක්ෂය' යනුවෙන් බවට සිදුකළ කරුණු දැක්වීමකින් පසුව යි. නාමයෝජනා පත්‍රයක් බල රහිත කිරීම සඳහා ඉල්ලුම් කළ යුත්තේ රීට් ආඥාවක් ලබා ගැනීමෙන් මිස මූලික අයිතිවාකම් පෙත්සමකින් නොවන බව නීතිපතිවරයාපෛන්වා දී තිබුණා.

එම විරෝධය පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කොට තිබූ පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කළා. 

රංජන් ගේ රංගනය

 එම පෙත්සම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු අධිකරණ පරිශ්‍රයේ දී මාධ්‍ය වෙත අදහස් දැක්වූ රංජන් රාමනායක මහතා දැන් තමාට මැතිවරණයට තරග කිරීමේ කිසිදු නීතිමය බාධාවක් නොමැති බව කියා හිටියා.

එසේ වුවද නීති විශාරදයින් පවසන්නේ රංජන් රාමනායක මහතා මැතිවරණයෙන් ජයගෙන මන්ත්‍රී ධූරයට පත්වුවහොත් මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීම සම්බන්ධයෙන් ගැටලුවක් මතුවෙන බවයි. ඒ ප්‍රජා අයිතිය අහෝසි වූ අයකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරිය නොහැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නිසයි.

යම් හෙයකින් රංජන් රාමනායක මහතා මැතිවරණයෙන් ජයගත හොත් ඔහුගේ පත්වීමට විරුද්ධව අධිකරණය හමුවට පෙත්සම් රාශියක් ඉදිරිපත් වනු ඇති බවයි දේශපාලන නිරීක්ෂකයින් පවසන්නේ.

><><><><><><><><><><><>< 

රජයේ සේවක වැටුප් වැඩි නොකිරීම ගැන රනිල්ගෙන්  අනුර ට දොස්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති පදවියට පත්වී තවම ගතවී ඇත්තේ සති හයකට ආසන්න කාලයක්.

ජනාධිපතිවරණ රැස්වීම්වල දී දුන් පොරොන්දු වහාම ඉටු කරන ලෙස සමගි ජන බලවේගය, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, ආදි විපක්ෂයේ පක්ෂ දැන් සිටම ආණ්ඩුවට බලපෑම් කිරීමට පටන් ගෙන තිබෙන්නේ ආණ්ඩුව පොරොන්දු කඩකළ බව පවසමින්.

තමන් ජනාධිපතිව සිටිය දී රජයේ සේවක වැටුප් වැඩි කිරීම සඳහා කැබිනට් තීරණයක් ගත් බවත්, එය ලබන ජනවාරියේ සිට ක්‍රියාත්මක කළ යුතු බවත් හිටපු ජනාදිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඡන්ද රැස්වීම්වල දී දිගින් දිගට ම ප්‍රකාශ කිරීම පටන් ගෙන තිබෙනවා.

එහෙත් එයට පිළිතුරු වශයෙන් අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය රැස්වීමක දී පවසා තිබුණේ රජයේ සේවක වැටුප් වැඩි කිරීමට කැබිනට් තීරණයක් ගෙන තිබුණත් ඒ සඳහා මුදල් තිබෙන බවට භාණ්ඩාගාරයෙන් හෝ මුදල් අමාත්‍යාංශයෙන් හෝ අනුමැතියක් ලබා ගෙන නැතිබවයි. ආණ්ඩුව රජයේ සේවක වැටුප් වැඩිකිරීමට කටයුතු කරන්නේ ඉදිරි අයවැය මඟින් බවද අගමැතිනිය ප්‍රකාශ කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන හරිනිට ටියුෂන් දෙන්න රනිල් කැමති ලු

එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ කැබිනට් තීරණයක් ගත් පසුව එය ක්‍රියාත්මක කිරීමට භාණ්ඩාගාරයේ හා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ගත යුතු බව අගමැතිනිය ප්‍රකාශ කරන්නේ ඇය ව්‍යවස්ථාව නොදන්නා නිසා බැවින් ඇයට ව්‍යවස්ථාව ඉගැන්වීමට තමා සූදානම් බවයි.

නිපුණආරච්චිගේ කයියට ලොක්කන්ගෙන් දොස්

මේ අතර ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ධූරාපේක්ෂක ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා තම පක්ෂය යටතේ ඇති වෘත්තීය සමිති අකුලා දමන බවට පසුගිය 31 වැනි දා පිළියන්දල දී කරන ලද ප්‍රකාශයක් දේශපාලන පක්ෂ වෘත්තීය සමති අතර මහත් ආන්දෝලනයකට හේතු වී තිබෙනවා.

''අද මං කිව්වා කියලා හිතේ තියාගන්න ඒ ස්ට්‍රැයික් ඉතිහාසය නැති වෙනවා ඉස්සරහට. කාට විරුද්ධව ද ස්ට්‍රැයික් කරන්නේ. තව කාලයක් යනකොට අපි ඉස්සෙල්ලා ම අපේ පක්ෂයේ වෘත්තීය සමිති විසුරුවා හරිනවා" යි නිපුණආරච්චි මහතා පවසා තිබුණා.

කුමක් හෝ ප්‍රශ්නයක් තිබෙනවා නම් ආණ්ඩුව සමඟ කතා කර බේරා ගත හැකි බවත්, ඉදිරියේ රටේ දරුවන්ට වැඩ වර්ජන සහ ඇඳිරි නීතිය යනු කුමක්දැ යි කියා දීමට සිදුවනු ඇති බවත්, ඔහු තව දුරටත් කියා තිබුණා.

ජනතා විමුක්ති පෙරමුණ මෙතෙක් කාලයක් ඔවුන් ගේ වෘත්තීය සමිති පාවිච්චි කර තිබෙන්නේ සේවකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් නොව රජය කඩා වට්ටවා ජන ජීවිතය අඩාල කර බලය ලබා ගැනීම සඳහා යැ යි නිපුණාරච්චි මහතාගේ ප්‍රකාශය ගැන සඳහන් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලෙක්ම් සාගර කාරියවසම් මහතා පවසනවා.

වෘත්තීය සමිති මූලික අයිතිවාසිකම් අතරට ගැනෙන එකක් බවත් වෘත්තීය සම්බන්ධයට යෝජක අයිතිය ශ්‍රී ලංකාවේ නීතිය මගින් ආරක්ෂා කර තිබෙන කරුණක් බවත් පැවසූ සාගර කාරියවසම් මහතා ලක්ෂ්මන් නිපුණආරච්චි මහතාට ඒ සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය පිළිබඳ අවබෝධයක් නැති බවත් ප්‍රකාශ කළා.

මේ අතර ජාතික ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබෙන්නේ මේ පිළිබඳව පක්ෂ නායකත්වය ලක්ෂමන් නිපුණආරච්චි මහතාට දොස් පවරා ඇති බවයි.

එමෙන්ම පක්ෂ නායකයින් රූපවාහිනී සාකච්ඡා, මාධ්‍ය සාකච්ඡා ආදියට සහභාගි වන්නේ නම් ඒ ගැන පක්ෂයෙන් කලින් අනුමැතිය ලබා ගත යුතු බවට ද ජාතික ජන බලවේගය විසින් දැනුම් දී ඇති බව ද දැනගන්නට තිබෙනවා.

මේ තත්ත්තවය යටතේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයින් හා නායකයින් ගණනාවක් ම රූපවාහිනී සාකච්ඡාවලට සහභාගි වීමෙන් වැළකී සිටින බව ද වාර්තා වෙනවා.

><><><><><><><><><><><>< 

සජිත්  ගැන  පිට පළාත්වල අපේක්ෂකයෝ කණස්සල්ලෙන්

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙවර මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයට තරග කරන අතර ඔහු තම ජයග්‍රහණය සඳහා දින පතාම කොළඹ දිස්ත්‍රික්කයේ සෑම ආසනයකම කුඩා රැස්වීම පවත්වමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරගෙන යනවා.

පක්ෂයේ නායකයා කොළඹ දිස්ත්‍රික්කයට පමණක් සීමාවීම ගැන සමගි ජන බලවේගයේ පිට පළාත්වල අපේක්ෂකයින් කණස්සල්ලට පත්වී ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ ගැන බොහෝ සමගි ජන බලවේගයේ අපේක්ෂකයින් පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා හමුවී දොස් පවරා ඇති අතර ''නායක තුමා ලබන සතියේ සිට පිට පළාත්වලට යනවා " යැයි ඔහු ඔවුන්‌ට පිළීතුරු දී තිබෙනවා.

සමගි ජන බලවේගයේ අපේක්ෂකයින්ට බලවත් ප්‍රශ්නයක් වී තිබෙන්නේ 'නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ' නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට පුරා යමින් තම පක්ෂයේ අපේක්ෂකයින් ගේ ජයග්‍රහණය සඳහා කටයුතු කිරීම යි.

රනිලුත් හැම පළාතකට ම යයි

රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ මීගමුවෙන් මැතිවරණ ප්‍රචාරක රැස්වීම් ඇමතිමට පටන් ගත් අතර දැන් කුලියාපිටිය, දඹුල්ල ආදි පිට පළාත්වලට යනවා. මේ හේතුවෙන් එම ප්‍රදේශවල අපේක්ෂකයින් හා ආධාරකරුවන් අතර මහත් ප්‍රබෝධයක් හා උනන්දුවක් ඇති වී තිබෙන බව මල්පාරේ  නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මෙහෙයුම් කාර්යාලයෙන් වාර්තා වෙනවා.

ඡන්ද රැස්වීම්වලට යන අනුර ගෙ ඉන්ධන ගාස්තු පක්ෂයෙන් ගෙවනවා ලු

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසාකායක මහතා ද සෑම ප්‍රදේශක ම පැවැත්වෙන එම පක්ෂයේ ප්‍රචාරක රැළිවලට සහභාගි වෙනවා.

දිනකට රැස්වීම් දෙකකට පමණ ජනාධිපතිවරයා සහභාගි වෙනවා. ඔහුට ඡන්ද රැස්වීම්වලට යාමට වැයවෙන ඉන්ධනවලට වැයවෙන මුදල් ජාතික ජන බලවේගය විසින් ගෙවන බව එහි ප්‍රකාශකයෙක් සඳහන් කළා.

   -  ජගත්  -