උණුසුම් පුවත්කාලීනපරිසරයසාහිත්‍යය හා කලාව

නිහාල් සුරංජිගේ අවසන් කටයුතු අද (02)

අවසන් කටයුතු බොරැල්ල පොදු සුසානයේ දී පස්වරු 3. 00 ට

සිංහල නාට්‍ය කලාව පෝෂණයට දිවි හිමියෙන් ඇපකැපව ක්‍රියා කළ නිහාල් සුරංජිත් නාට්‍යවේදියාණන් ගේ අවසන් කටයුතු අද (02) බොරැල්ල කනත්තේ දී සිදුවන බව හෙළදිව සාතිශය සංවේගයෙන් යුක්තව සටහන් කරයි.

කොළඹ 10 මරදාන ඩීන්ස් පාරේ දේවානම්පියතිස්ස මාවතේ දී උපත ලද නිහාල් සුරංජි මහතා මියයන විට හැට හතර වැනි වියේ පසුවිය. කලක් තිස්සේ රෝගීව හුන් නිහාල් සුරංජිත් මහතා අභාප්‍රාප්ත වූයේ පෙරේදා (28) කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී ය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන ඔහු නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසියේ දිවංගත ලයනල් රංවල නම් අග්‍රගන්‍ය නාට්‍යවේදියාණන් ගේ යටතේ පුහුණුව ලැබීමෙනි. 

අනතුරුව කොළඹ ජර්මන් සංස්කෘතිකායතනයෙන් නාට්‍ය කලාව පිළිබඳව හැදෑරීම් කළ ඔහු ප්‍රොමිතියස්,  ප්‍රොමිතියස් බන්ධන, හිල් වීදිය වැනි නාට්‍ය නිර්මාණය කළේ ය.

කොළඹ නාගරික මිනිසකු වූ සුරංජිත් රට පුරා යමින් ලාංකේය හෙළකලා කෙත අස්වැද්දීමට ඇවිසි නව පරපුර හොයා යෙමින් අතේ තියෙන පණම් හතර පවා වියපැහැදම් කරමින් වැඩමුළු පැවැත්වූ හිත හොඳ මානවවාදීයෙකි.

ඔහු මහැදුරු සුචරිත ගම්ලතුන් ඇසුරේ දැනුම ලබා මැනවින් පෝෂණය වී වීදිනාට්‍ය කලාවේ නිර්මාතෘ ආචාර්ය ගාමිණි හත්තොටුවගම නම් අපූර්ව මිනිසා හා එක්ව රට පුරා යමින් වීදිනාට්‍ය දර්ශනවලට දායකත්වය දැක්වූයේ ය. 

දිවංගත නිහලුන් ගේ ඉගැන්වීම් හා පුහුණුව යටතේ හැදෑරීම් කළ තරුණ පිරිසක් අද වේදිකාවේ ද, පුංචි තිරයේ ද මහ තිරයේ ද අගේට රඟපානා බව සඳහන් කළ යුත්තේ ය. 

හෙළ නාට්‍ය කලාව පිළිබඳ පර්යේෂණයන් හි නියැළුණු නිහාල් සුරංජිත් නාට්‍යවේදියා මහනුවර පදියපැලැල්ලේ ද, වයඹ පළාතේ ද යොවුනුවන්ට මඟ පෙන්වමින් 'සිංහලේ කංකාරිය' හා අරකාවිල හටන ද නිශ්පාදනය කළේ ය.

සිය ජීවිත කාලයෙන් හරි අඩකට වඩා වැය කළේ ලාංකේය නාට්‍ය කලාවේ උන්නතිය වෙනුවෙනි. 

කුරුණෑගල ජනතා වේදිකාව හා හබරාදූවේ 'සුභවි' වීදි නාට්‍ය කණ්ඩායම් දෙක ඔහුගේ අගනා මෙහෙයක ප්‍රතිඵලය යි. 

ඔහු නිබඳව ම අනෙකාට හැකි උපරිම අයුරින් උදව් කරන්න‌ෙ වෙහෙසුණු සුන්දර මිනිසෙකි. ඔහු මුදල් පසුපස හමා නොගිය උදාර මිනිසෙති. 

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල ක්‍රීයාකාරිකයකු සේ කටයුතු කළ නිහාල් සුරංජිත් ගේ ආදරණීය බිරියත්, පුතණුවනුත් දියණියනුත් ඔහු කරන කියන හැම කටයුත්තක දී ම උදව් කිරීමට පෙළඹීම මොන තරම් අගය කළ යුතු කටයුත්තක් ද?

නිහාල් සුරංජිත් ගේ දේහය මේ වන විට තැන්පත් කර ඇත්තේ බොරැල්ලේ ජයරත්න මල් ශාලාවේ 'අරලිය' හි ය. පස්වරු 3. 00 ට දේහය බොරැල්ල කනත්ත ආදාහනාගාරයේ දී ආදාහනය කෙරෙනා බව මෙසේ සටහන් කරන්නෙමු.