උණුසුම් පුවත්කාලීනදේශපාලනසතියේ සටහන

නීතිඥවරුන් 1000 ක් කොළඹ විරෝධතාවයක!?

ජගත්‌ගේ  සතියේ සටහන - 98

සමසමාජයට 90 යි

දිට්වා සුළි කුණාටුවෙන් හා ගංවතුරෙන් විනාශ වූ ජීවිත හා ගොඩනැගිලි, නිවාස ඇතුළු දේපොළ හානි පිළිබඳව සොයා බලා විපතට පත්වූවන්ට සහන සැලසීමේ කටයුතු ගැන සොයා බලා නිලධාරීන්ට උපදෙස් දීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය සතියේ ආපදාවට පත් වී ඇති දිස්ත්‍රික්ක රැසක සංචාරය කළා.

එහිදී ජනාධිපතිවරයා දිස්ත්‍රික් ලේකම් වරුන් ඇතුළු නිලධාරීන්ගෙන් හානි පිළිබඳව විමසා විපතට පත්වූවන්ට කඩිනමින් උපදෙස් ලබාදී, හානියට පත් මහාමාර්ග, දුම්රිය මාර්ග කඩිනමින් පිළිසකර කිරීමට ද විධිවිධාන යෙදුවා. මේ වන විටත් හානියට පත් මහාමාර්ග හා පාලම් ප්‍රතිසංස්කරණය සන්නද්ධ හමුදා වල ද මැදිහත්වීමෙන් සිදි කෙරෙමින් පවතිනවා.

මේ අතර මෙම හානියට පත් ජනතාවට සහනාධාර හා විනාශවී ඇති මාර්ග හා පාලම් ප්‍රතිසංස්කරණය සඳහා ලෝකයේ රටවල් රැසකින් ශ්‍රී ලංකාවට ගුවන්යානා හා නැව් මඟින් ආධාර ගලා එමින් පවතිනවා.

මෙම ආධාර බාර ගනිමින්  විදේශ රාජ්‍ය නායකයින් හමුවී ඔවුන්ට ස්තුති කිරීම් ආදිය නිසා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත් මහතා ද කාර්ය බුහලවී සිටිනවා.

ආණ්ඩුවේ අනිත් මැති ඇමතිව වරුන් ද, හානියට පත් ප්‍රදේශවලට ගොස් ජනතාව හමුවී සහන සැලසීමේ කටයුතුවල නිරත වී සිටින අයුරු දක්නට ලැබෙනවා.

නීතිඥවරුන් දහසක් විරෝධතාවකට  කොළඹට

මේ අතර 'දිට්වා' සුළි කුණාටුව පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ඉන්දීය කාලගුණ විද්‍යායතනය හා බීබීසී  වැනි ජාත්‍යන්තර මාධ්‍ය ආයතන නිකුත් කළ අනතුරු හැඟවිම් නොතකා හැරීමෙන් මෙම ආපදාවට ලක්වූ පිරිස සිය ගණනක් විනාශ වූ බව පවසමින් විපක්ෂය ආණ්ඩුවට විරුද්ධව අධිකරන ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බව ද වාර්තා වෙනවා.

සමගි ජන බලවේගයේ මහාචාර්ය ජී. එල්. පීරිස්, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න හා ගුණරත්න වන්නිනායක ඇතුළු නීතිඥයින් පිරිසක් විසින් පිහිටුවා ගෙන ඇති 'නිදහසේ නීතිඥයෝ' (FREE LAWYERS) සංවිධානය මඟින් පසුගිය සතියේ රැස්වී ආණ්ඩුවට එරෙහිව නඩු පැවරීම පිළිබඳව සාකච්ඡා කොට තිබුණා. ඔවුන් ජනවාරි මාසයේ දී නීතිඥවරුන් දහසක් කොළඹට කැඳවා ආණ්ඩුවට විරුද්ධව විරෝධතාවක් පැවැත්වීමට ද තීරණය කොට ඇති බවයි වාර්තා වෙන්නේ.

මහා සංඝරත්නය, පූජකවරුන් හා වැදගත් පුරවැසියන් ලවා ආණ්ඩුවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායක හා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එම පක්ෂයේ කළමනාකරණ කමිටුව කැඳවා මේ ගැන සාකච්ඡා කොට ඇති අතර ආණ්ඩුවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමේ කටයුත්ත ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතාට පවරා ඇති බව ද මල් පාර කාර්යාලයේ ආරංචි මාර්ග පවසනවා.

මේ අනුව ආපදා සිදුවුණු ප්‍රදේශවල මහා සංඝරත්නය, පූජකවරුන් ඇතුළු වැදගත් පුරවැසියන් එක්කොට ඔවුන් ලවා මෙම මූලික අයිතාවාසිකම් පෙත්සම ගොනු කිරීමට යන බව ද දැනගන්නට තිබෙනවා.

හිටපු මැති ඇමතින් ගණනාවක් නාමල් එක්ක කතාබහෙක

මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පසුගිය බදාදා පාර්ලිමේන්තුවේ දී හදිසි ආපදාව ගැන කලි ඇතිව දැනුම් දී තිබිය දීත් විනාශය අවම කර ගන්නට පියවර නොගැනීම ගැන වගකිය යුත්තන් සොයා ගැනීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා සිටියා.

පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා, උද්ගතවී ඇති තත්වය ගැන සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවන ලෙස ඉල්ලා පසුගිය සතියේ අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය වෙත ලිපියක් යවමින් ඉල්ලා තිබුණා.

ඒ අනුව පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් දෙසැම්බර් 18 වැනිදා පෙරවරු 9. 30 ට පැවැත්වෙන බව දන්වමින් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (12) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.

මෙහිදී හදිසි ආපදාවන් සඳහා වැය කිරීමට අවශ්‍ය රුපියල් බිලියන 500 ක පරිපූරක ඇස්තමේන්තුව සම්මත කර ගැනීමට ආණ්ඩුව බලාපොරොත්තු වන බව ද පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග පවසනවා.

හිටපු කැබිනට් අමාත්‍යවරයකු හා පසුගිය ජනාධිපතිවරණයට තරග කළ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වි සිටිනවා.

පසුගිය කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය පිළිබඳව අධිකරණය හමුවේ ඔහු විසින් නඩු 6 ක් ගොනු කොට තිබුණා. මේ නඩු හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද අසීරු තත්වයකට පත්වී තිබූ අතර පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී එම පක්ෂයට එකදු ආසනයක්වත් ජය ගැනීමට හැකි වුණේ නැහැ.

මේ තත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නඟා සිටුවීම සඳහා පක්ෂයෙන් කැඩී ගිය කණ්ඩායම් හා පක්ෂ නායකයින් අතර සාකච්ඡා ගණනාවක් පැවැත්වී තිබෙනවා. පක්ෂයේ නායකයා වශයෙන් සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම තනතුරෙන් ඉවත්වීම නිසා දැන් පක්ෂය එකතු කිරිමේ කටයුතු පහසු වී ඇති බව එහි එක් නායකයෙක් අප හා පැවසුවා.

ශ්‍රීලනිපයේ මහ ලේකම්කම දයාසිරි ට!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ලේකම් දුමින්ද දිසානායක, උප සභාපති මහින්ද අමරවීර ඇතු ළු පිරිසක් පසුගිය දිනවල විජේදාස රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කොට යළි පක්ෂයට එන ලෙස ඔහුට ආරාධනා කොට තිබෙනවා. ඊට පෙර ඔහු විසින් පවරා ඇති නඩු ඉල්ලා අස්කර ගන්නා ලෙස ද ඔවුන් ඉල්ලා තිබුණා. ඒ අනුව විජේදාස රාජපක්ෂ මහතා පක්ෂයට එරෙහිව පවරා තිබු නඩු හය ම ඉල්ලා අස්කර ගෙන ඇතැ යි එම නායකයා අප සමඟ තවදුරටත් ප්‍රකාශ කළා.   

ඇති කරගෙන ඇති එකඟතා අනුව විජේදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායකයා ලෙසත් මහරගම ආසන සංවිධායක ලෙසත්, පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයකු ලෙසත්, පක්ෂ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා විජේදාස රාජපක්ෂ මහතාට පත්වීමේ ලිපි බාරදීමෙන් පසු මාධ්‍ය අමතමින් කියා සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක මණ්ඩලය ළඟදී රැස්වීමට නියමිත බවත් එහිදී විජේදාස රාජපක්ෂ මහතා පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපතිවරයකු ලෙස පත් කිරීමට තීරණය කොට ඇති බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කොට ඉන් ඉවත්වී පසුගිය මහ මැතිවරණයට  සමගි ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග කොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්වි සිටින දයාසිරි ජයසේකර මහතා ද යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමේ සූදානමින් පසුවන බවත් වාර්තා වෙනවා. ඔහු ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂට විරුද්ධව අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබෙනවා. තමා පක්ෂයට නැවත බඳවා ගෙන මහ ලේකම් තනතුර දෙන්නේ නම් නඩුව ඉවත් කර ගැනිමට සූදානම් බව ජයසේකර මහතා පක්ෂ නායකයින්ට දැනුම් දී ඇති බව ද ආරංචි මාර්ග පවසනවා.

මේ අතර පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් නොවූ හා පොදුජන පෙරමුණෙන් ඉවත් ව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ 'සිලින්ඩරය' ලකුණෙන් තරග කළ හිටපු මැති ඇමතිවරුන් ගණනාවක් ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණට එක්වීම සඳහා නාමල් රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කොට ඇති බව ද නෙළුම් මාවත පක්ෂ කාර්යාල ආරංචි මාර්ග පවසනවා.

රෝහිත අබේගුණවර්ධන, කාංචන විජේසේකර, ෂෙහාන් සේමසිංහ හා වෛද්‍ය රමේෂ් පතිරණ ඇතුළු පිරිසක් යළි පොදුජන පෙරමුණ ළඟදී ම එක්වනු ඇතැ යි ද එම ආරංචි මාර්ග සඳහන් කළා.

 

 

 

 

 

⋆⋆⋆    ⋆⋆⋆   ⋆⋆⋆    ⋆⋆⋆

සමසමාජයට 90 යි

ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය හා එහි ප්‍රථම දේශපාලන පක්ෂය වන ලංකා සමසමාජ පක්ෂය ආරම්භ වී දෙසැම්බර් 18 දාට වසර 90 ක් සම්පූර්ණ වෙනවා.

පිලිප් ගුණවර්ධන, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, ඇම්. ජී. මැන්දිස් වැනි නායකයින් විසින් ඇරඹූ සමසමාජ පක්ෂය න්‍යායික මතභේද හේතුවෙන් 1942 දී දෙකඩ වීය.

පසුව 1943 ජූලි 03 වනදා දොස්තර වික්‍රමසිංහ මහතා ගේ නායකත්වයෙන් ලංකා කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා ගැනුණා.

''ලාංකීය වමේ ව්‍යාපාරයේ දොළොස් මහ යෝධයෝ''  ගත එළිදැක්ම

මෙම පක්ෂ දෙක යටතේ පැවති වෘත්තීය සමිති විසින් ගෙන ගිය සටන්වල ප්‍රතිඵලයක් වශයෙන් මේ රටේ වැඩ කරන ජනතාවට  ඉල්ලම් රැසක් දිනාගත හැකි වුණා.

මොහාන්ගෙන් හා ධම්ම ගෙන් දෙසුම් දෙකක්

මේ අනුව ලංකාවේ වමේ ව්‍යාපාරයට හා කම්කරු සමිති ව්‍යාපාරයට වසර 90 ක් සම්පූර්ණ වීම සැමරීම සඳහා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය විසින් දෙසැම්බර් 15 වැනිදා (හෙට) පස්වරු 3. 00 ට කොළඹ මහජන පුස්තකාල ශාලාවේ දි සැමරුම් රැස්වීමක් පැවැත්වීමට ද කටයුතු කොට තිබෙනවා.

මෙම රැස්වීමේ දි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩීව් ගුණසේකර මහතා විසින් රචිත ''ලාංකීය වමේ ව්‍යාපාරයේ දොළොස් මහ යෝධයෝ''නම් ග්‍රන්ථය එළිදැක්වීම ද සිදුවෙනවා.

වමේ ව්‍යාපාරය ඇරඹීමට පුරෝගාමී වූ ලංකා සමසමාජ පක්ෂයේ නායකයින් පස්දෙනකු හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයින් පස් දෙනකු ගැන ලියා ඇති මෙම ග්‍රන්ථයේ වමේ ව්‍යාපාරයට අනුග්‍රහ දැක්වූ විද්‍යාලංකාර පිරිවෙණේ මහා යතිවරයාණන් වහන්සේලා ගැන ද සඳහන් වෙනවා.

මෙම සමරු රැස්වීමේ දී ප්‍රවීණ විදෙස් විත්ති විචාරක මොහාන් සමරනායක හා විශ්ව විද්‍යාල කථිකාචාර්ය ධම්ම දිසානායක මහත්වරුන් විසින් විශේෂ දේශන පැවැත්වීමට නියමිත බව ද දැන ගන්නට ලැබෙනවා.

මේ අතර ලංකා සමසමාජ පක්ෂයේ 90 වැනි සංවත්සර රැස්විම එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා ගේ ප්‍රධානත්වයෙන් කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි සමසමාජ පක්ෂ කාර්යාලයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද වාර්තා වෙනවා.

 

  - ජගත් -