ජගත් ගේ සතියේ සටහන - 107
නීතිඥ සංගමය ම කැළඹූ අකුරේගොඩ ඝාතන ද්විත්වය
පැලවත්ත අකුරේගොඩ හමුදු මූලස්ථානයට නුදුරු සුපිරි වෙළද සලක රථ ගාලේ නතර කර තිබු මෝටර් රථයක සිටි නීතිඥවරයකු හා ඔහුගේ බිරිඳ සිකුරාදා (13) සවස වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය නිසා මෙරට නීති ක්ෂේත්‍රය තුළ මහත් කැළඹිමක් හටගෙන තිබෙනවා.
මේ සිද්ධිය හෙළා දකිමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිකුරාදා රාත්‍රියේ ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කොට තිබු අතර සෙනදුරාදා පෙරවරුවේ මාධ්‍ය හමුවක් ද පවත්වමින් නීතිඥ ප්‍රජාවට එල්ල වී ඇති තර්ජන පිළිබඳව කරුණු දැක්වූවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පැවසුවේ මෙම ඝාතන සිද්ධිය පිළිබඳව ගතයුතු පියවර සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් අද (ඉරිදා) පස්වරු 2. 00 ට නීතිඥ සංගම් කාර්යාලයේ දී පවත්වන බව යි.
සිකුරාදා සවස 5. 00 ට පමණ මෝටර් රියකින් පැමිණි ඝාතකයින්, මෝටර් රිය තුල සිටි නීතිඥවරයාට හා ඔහුගේ බිරිඳට T 56 ගිනි අවියකින් වෙඩි තබා පළා ගොස් තිබෙනවා. වෙඩි වැදුණු නීතිඥ බුද්ධික ගයාන් මල්ලවආරච්චි (44) සහ ඔහුගේ බිරිඳ වන ඩබ්ලිව්. ඒ. නිසංසලා (42) ඒ මොහොතේ ම මියගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගිය නීතිඥවරයා මීට පෙර දැනට ඩුබායි රටට පළාගොස් සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කරන්දෙණියේ සුද්දා නමැත්තාගේ නඩුවලට පෙනී සිට පසුව තවත් පාතාල නායකයකු වන, මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවන ලොකු පැටී නමැත්තාගේ නඩුවලට ද පෙනී සිටින නීතිඥයකු බවට තොරතුරු ලැබී ඇතැ යි පොලිසිය පවසනවා.
කරන්දෙණියේ සුද්දා පිළිබඳ තොරතුරු ඔහුගේ ප්‍රතිවාදියකු වන ලොකු පැටී නැමැත්තාට මෙම නීතිඥයා විසින් හෙළිකරැති බවට වූ සැකයක් මත කරන්දෙණිය සුද්දා ගේ පාර්ශ්වයේ පාතාලයන් විසින් මෙම ඝාතන සිදුකරන්නට ඇති බවට පොලිසිය සැකකරනවා.
මෙම ඝාතන නිසා ඉදිරියේ දී බොහෝ නීතිඥයින් පාතාල හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වෙනුවෙන් අධිකරණවල පෙනී සිටීමෙන් වළකිනු ඇතැ යි සමහරුන් පවසනවා.
තවත් අය පවසන්නේ දෙපාර්ශ්වයක් අතර පවත්නා ආරවුලක දී එක් පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටිමින් එම පාර්ශ්වයේ විස්තර හා තොරතුරු අනික් පාර්ශ්වයකට ලබා දීමෙන් නීතිඥ වෘත්තියේ ආචාර ධර්මවලට පටහැනිව කටයුතු කිරීම මෙම ඝාතනයට හේතු වී ඇති බව යි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා මෙම ඝාතන සිද්ධිය සමස්ත නීතිඥ ක්ෂේත්‍රයට ම බලපාන බැවින් වහාම පියවර ගැනීමට තම සංගමය තීරණය කළ බවත්, නීතිඥ සංගමය මෙයට 14 වසරකට පෙර, එනම් 2012 දී මේ අයුරින් හදිසි මහ සභාවක් කැඳවනු ලැබුවේ, හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ආණ්ඩුව විසින් ගෙන එනු ලැබූ අවස්ථාවේ දී බවත් ප්‍රකාශ කළා.
⋆⋆⋆ ⋆⋆⋆ ⋆⋆⋆
මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත පාර්ලිමේන්තුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත අඟහරුවාදා (17) පාර්ලිමේන්තුවේ දී විවාද කොට සම්මත කරගැනීමට ආණ්ඩුව කටයුතු යොදා තිබෙනවා.
වසර 50 ක පමණ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වන මන්ත්‍රී විශ්‍රාම වැටුප් ක්‍රමය නිසා වසර 5 ක් හෝ එයට වැඩි කාලයක් පාර්ලිමේන්තුව නියෝජන කළ මන්ත්‍රීවරුන්ට මාසික විශ්‍රාම වැටුපක් හිමි වෙනවා.
ජාතික ජන බලවේගය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශනයේ හිටපු ජනාධිපති වරුන්ගේ වරප්‍රසාද කපා හැරීම හා මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ යෝජනාවට ප්‍රධාන තැනක් දී තිබුණා.
ඒ සම්බන්ධයෙන් මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. එයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ද ඉදිරිපත් කොටතිබු අතර ඒවායේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කතානායකවරයාට එවා තිබුණා. එහි සඳහන් වුණේ මෙම පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවත් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් ය.
ඒ අනුව පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේ දී ගනු ලැබු තීරණයක් අනුව එම පනත් කෙටුම්පත පෙබරවාරි 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති. පනත කෙටුම්පත සම්මත වීමෙන් පසු හිටපු මන්ත්‍රීවරුන් හා ඔවුන්ගේ වැන්දඹුවන් 512 දෙනකුට ලැබෙන විශ්‍රාම වැටුප මාර්තු 01 වැනිදා සිට අහෝසි වන බව යි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා විශ්‍රාම වැටුප් ලබාදීම ආරම්භ වුණේ 1970 - 77 බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව කාලයේ දී. එවකට සිටි කතානායක කේ. බී. රත්නායක මහතා මෙයට මුල්වුණේ මැතිවරණයෙන් පරාජය වී හෝ දේශපාලනයෙන් ඉවත්වූ මන්ත්‍රීවරුන්ට ආර්ථික වශයෙන් මුහුණ පෑමට සිදුවූ දුෂ්කරතා සැළකිල්ලට ගනිමිනු යි.
නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සැළකෙන සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා ද ජීවිතයේ සැඳෑ සමයේ දී ආර්ථික දුෂ්කරතාවලට මුහුණ පෑ අතර තමාට ජීවත්වීම සඳහා දීමනාවක් ලබා දෙන ලෙස ඔහු පාර්ලිමේන්තුවට ලිපියක් යොමුකොට තිබුණා. එකල විශ්‍රාම වැටුප් ක්‍රමයක් නොතිබුණු බැවින් කන්නන්ගර මහතාට කරුණාසහගත දීමනාවක් මාස්පතා ලබා දීමට පාර්ලිමේන්තුව තීරණය කළා. ඒ අයුරින් ම බණ්ඩාරවෙල හිටපු මන්ත්‍රීවරයකු වන ආර්. ඇම්. අප්පුහාමි මහතාට ද මෙවැනි ම කරුණාසහගත දීමනාවක් පාර්ලිමේන්තුව විසින් ගෙවනු ලැබුවා.
එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමය පාර්ලිමේන්තුව නීතිගත කිරීමෙන් පසු 1947 පාර්ලිමේන්තුවේ සිට අද දක්වා කාලය තුළ පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් හිමි වෙනවා. පාර්ලිමේන්තුව නියෝජනය කළ ධනවත්, කෝටිපතියන්ට පවා මෙම විශ්‍රාම වැටුප හිමි වෙනවා. ඒ අතර දේශපාලනයෙන් ඉවත්වීමෙන් පසු කිසිදු ආදායම් මාර්ගයක් නොමැති මන්ත්‍රීවරුන්ට මෙම විශ්‍රාම වැටුප සිය ජීවිතය ගෙන යාමට රුකුලක් වුණා. ඔවුන් මියගියත් ඔවුන්ගේ වැන්දඹු භාර්යාවන්ට ද එම විශ්‍රාම වැටුප ලැබෙනවා.
දීර්ඝ කාලයක් අවිවාහකයකුව සිටි ගාල්ලේ හිටපු මන්ත්‍රී විජයානන්ද දහනායක මහතා, සිය සහෝදරයාගේ වැන්දඹු බිරිය විවාහ කර ගනු ලැබුවේ ඔහුගේ ඇවෑමෙන් ඇයට විශ්‍රාම වැටුප ලබාදීම සඳහා යැ යි එකල සිටි මැති ඇමතිවරුන් කතාබහ වුණා.
රජයේ ස්ථිර සේවයේ යෙදී සිටිය දී ඉන් ඉල්ලා අස්වී දේශපාලනයට පැමිණ පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් රාශියක් සිටිනවා. මන්ත්‍රී වශයෙන් පත්වීම නිසා ඔවුන්ට රජයේ විශ්‍රාම වැටුප් හිමිකම ලැබෙන්නේ නැහැ. එසේම පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජය වූ පසු ඔවුන්ට පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප ලැබුණා. නව පනත නිසා එවැනි හිටපු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් අසීරු තත්වයකට පත්වෙන බව යි දැනගන්නට තිබෙන්නේ.
මෙයට පිළියමක් ලෙස වසර 10 කට වැඩි කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ට පමණක් විශ්‍රාම වැටුප් දියයුතු යැ යි ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත් වි ඇති බව දැනගන්නට තිබෙනවා.
එහෙත් තවත් සමහරුන් පවසන්නේ මන්ත්‍රීවරුන්ට කාර්යාල දීමනා, කාරක සභාවලට පැමිණීම වෙනුවෙන් හා පාර්ලිමේන්තුවට පැමිණීම වෙනුවෙන් ලැබෙන දීමනා ඇතුළුව මසකට රුපියල් 350000 ක් පමණ ලැබෙන බැවින් ඔවුන්ට විශ්‍රාම වැටුපක් ලබාදීම අනවශ්‍ය බවයි.
අරගල සමයේ 2022 මැයි 09 වනදා නිට්ටඹුවේ දී පොදුජන එක්සත් පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහර දී කෲර ලෙස ඝාතනය කිරීම පිළිබඳ නඩුවේ තීන්දුව පසුගිය බදාදා ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබුවා.
මෙම නඩුවේ විත්තිකරුවන් 41 දෙනකුට විරුද්ධව චෝදනා පත්‍ර දී නඩු පවරා තිබුණු අතර ඉන් 12 දෙනෙකුට මරන දඬුවම නියම වුණා.
මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන හා සමහර සමාජ මාධ්‍යජාලා විසින් මරණ දඬුවම නියම වූ විත්තිකරුවන්ට සමාව දියයුතු බවට මත පළ කිරීමට පටන්ගෙන තිබෙනවා.
අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ මරණ දඬුවම නියම වූ 12 දෙනා වෙනුවෙන් අභියාචනාධිකරණය හමුවේ අභියාචනා පෙත්සම් ඉදිරිපත් කරන බව සිවිල් සංවිධාන නියෝජනය කරන නීතිඥවරුන් පිරිසක් මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කොට තිබුණා.
12 දෙනාට ජනාධිපති සමාව දෙන්න ලු
මේ අතර නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන්නේ අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයා සහ ඔහුගේ ආරක්ෂකයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ 12 දෙනා හැර ඉතිරි විත්තිකරුවන් නිදහස් කිරීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කිරීමට නීතිපතිවරයා කටයුතු කරගෙන යන බවයි.
නීතිපතිවරයා විසින් මෙම නඩුවේ විත්තිකරුවන් 41 දෙනාගෙන් විත්තිකරුවන් 31 දෙනකුට එරෙහිව මිනී මැරුම් චෝදනා නගා තිබුණා. තවත් විත්තිකරුවන් 3 දෙනකුට පොදු දේපොළ පනත යටතේ රජයේ වාහනයකට අලාභ හානි කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා නගා තිබුණා. නීතිපතිවරයා 31 දෙනකුට මිනීමැරුම් චෝදනා එල්ල කොට තිබුණත්, අධිකරණය මඟින් විත්තිකරුන් 12 දෙනකුට පමණක් මරණ දණ්ඩනය නියම කර තිබෙනවා. මෙම නඩුවේ විත්තිකරුවන් රාශියක් සියලු චෝදනාවලින් ද තවත් පිරිසක් මිනීමැරුම් චෝදනාවලින් ද නිදහස් කරමින් ලබා දුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර ඉදිරියේ දී ශේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ගොනු කිරීමට කටයුතු කරනවා" යැයි මෙම නඩුවට රජය වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළා.
ඇතැම් සිවිල් සංවිධාන හා සමාජ මාධ්‍ය පවසන්නේ මෙම නඩුවේ මිනීමැරුම් චෝදනා වලට වරදකරුවන් වී මරණ දණ්ඩනය නියම වු 12 දෙනාට ජනාධිපති සමාව ලබාදිය යුතු බව යි.
එහෙත් ආණ්ඩුව අධිකරණයේ කටයුතු වලට මැදිහත් නොවන අතර ස්වාධීනව කටයුතු කරගෙන යාමට අවශ්‍ය පහසුකම් සපයන බව ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් ප්‍රකාශ කළා.
- ජගත් -
