උණුසුම් පුවත්දේශපාලන

නීතියේ විධානයේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට අධිකරණ අමාත්‍යාංශයට විශාල වගකීමක් තිබෙනවා.

'මම ඇමති වුනත්, ගෙදර ගියාම තාත්තා කෙනෙක්, සහෝදරයෙක්.  පවතින සමාජ තත්ත්වය වෙනස් කරන්න පුළුවන් අපිටමයි - අධිකරණ ඇමති හර්ෂෂණ

''වසර ගනණාවක් ජනතාව අපේක්ෂාවෙන් සිටි වෙනස සිදුව දැන් නව රජයක් බලයට පැමිණ තිබෙනවා. නව රජය බලයට පැමිණ නව අමාත්‍ය මණ්ඩලයක් පත් වුණා. නව මන්ත්‍රිවරුන් පත් වුණා. නමුත් රාජ්‍ය සේවය අලුතින් පත් වුණේ නැහැ. නමුත් මේ රජය බලයට පත් කිරීමට රාජ්‍ය සේවකයින් විශාල ලෙස කැප වුණා. තැපැල් ඡන්ද ප්‍රතිඵලවලින් එය පැහැදිලි වුණා. ඔබ ඉල්ලු වෙනස සිදු කිරීම මේ රජයේ වගකීමයි . ඒ වෙනස සිදු කිරීමේදී විශාලම කාර්යභාරය පැවරෙන්නේ රාජ්‍ය සේවකයින් වන ඔබටයි. ඔබ මෙහි යම් තනතුරු දරනවා. නමුත් නිවසට ගියාම ඔබ යම් පුරවැසියෙක් . මම ඇමති නමුත් මෙතනින් ඉවත් වෙලා නිවසට පැමිණි පසු  මම සාමාන්‍ය  පුද්ගලයෙක්. ''

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා නව වසරේ රාජකාරි අරඹමින් එසේ සඳහන් කළේ ය මෙම අදහස් කළේ 2025 නව වසරේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් අද පෙරවරුවේ ( 01) අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති උත්සවය අමතමිනි.

''මම ඇමති වුණත්, ගෙදර ගියාම තාත්තා කෙනෙක්, සහෝදරයෙක්.  පවතින සමාජ තත්ත්වය වෙනස් කරන්න පුළුවන් අපිටමයි. අපිට මෙතන තනතුරක් තිබෙනවා. අපට  වගකීමක් තිබෙනවා. තනතුරු තිබිය යුතු වන්නේ මහජනතාව වෙනුවෙන් වගකීමක් හැටියටයි. මේ අමාත්‍ය ධුරය මට අයිති දෙයක් නෙමෙයි. ඒක මේ රටේ මිනිස්සුන්ට අයිති දෙයක්. මෙම තනතුර ඔටුන්නක් නොවෙයි. මේ අමාත්‍ය ධුරය වගකීමක් . අපි මහජනතාව වෙනුවෙන් මේ වෙනස සිදු කළ යුතුයි. පුරුදු වු ඇතැම් දේ වෙනස් කරන්න වෙයි. දුෂණය නාස්තිය නැති කිරීමේ ආදර්ශය අමාත්‍යවරයා වශයෙන් මම ලබා දෙනවා. මේ ගොඩනැගිල්ලේ අනවශ්‍ය විදුලි බල්බයක් දල්වා තිබුණොත් අපි එය නිවා දැමිය යුතුයි. වතුර කරාමයක් විවෘත කර තිබුණොත් එය වසා දැමිය යුතුයි. ඒක මගේ රාජකාරියක් නොවේ  කියා හිතන්න එපා. නීතියේ විධානයේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට අපේ අමාත්‍යාංශයට විශාල වගකීමක් තිබෙනවා. මේ අමාත්‍යාංශයේ අමාත්‍යවරයා, ලේකම්, අතිරේක ලේකම් විවිධ තනතුරු තිබෙනවා. ඒ සියල්ල ඔබට පැවරුනු වගකීම් මිස ඔටුනු නොවෙයි"

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති Clean Srilanka ජාතික වැඩ සටහනේ සමාරම්භක උත්සව විකාශය නැරඹීමේ අවස්ථාවට අමාත්‍යාංශයේ නිලධාරීන් එක් වු අතර, Clean Srilanka  පුරවැසි ප්‍රතිඥාව ප්‍රකාශ කිරීම ද මෙහිදී සිදු විණි.

අපි සියලු දෙනාටම වගකීම් තිබෙනවා. ඒවා වෙනස් වෙන්න පුළුවන්. කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේදී සියලු දෙනාගේ වගකීම් වැදගත් වෙනවා. කිසියම් කෙනෙක් දරන වගකීම් අනුව ඔහුගේ සමාජ වටිනාකම හෝ තත්වය වෙනස් විය යුතු නැහැ. ඒ නිසාවෙන්ම යහපත් අරමුණින් යුතුව ඉදිරියට යාමට සියලු දෙනාට හැකිවේවා යන්න ප්‍රාර්ථනා කරනවා යැයි ද අමාත්‍යතුමා සදහන් කළේය.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ, අයෙෂා ජිනසේන මෙනෙවිය අදහස් පළ කරමින් මෙසේ සදහන් කළාය.

අපි දරන තනතුරු තාවකාලිකයි. නමුත් අපි ගනු ලබන  තීරණ, අපි ගන්න පියවර සදාකාලික වෙන්න පුළුවන්. නව වසරේ අපි සියලු දෙනාගේම නොයෙක් යහපත් බලාපොරොත්තු තිබෙනවා. ඒ බලාපොරොත්තු සාර්ථක බලාපොරොත්තුවක් බවට අපි මේ  අවස්ථාවේ සනිටුහන් කරගමු. හැකි උපරිම ආකාරයට පසුගිය වසරට වඩා ප්‍රශස්ත අයුරින් අපේ රාජකාරි අපි ඉටු කරන්නට උත්සාහ කරමු.

ස්වයං විවේචනයක යෙදී ස්වාධීනව අවංකව ඒ විවේචනය කර ගැනීම වැදගත් වෙනවා. තවත්  අයෙක් විවේචනය කරන තෙක්  ඉන්න එපා. තවත් කෙනෙකුගේ යහපත වෙනුවෙන් පියවර තබන්න. එකාවන්ව අත්වැල් බැඳගනිමින්  අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන් එක්ව ඉදිරියට යාමට අදිටන් කර ගනිමු යැයි ලේකම්වරිය සදහන් කළාය.