උණුසුම් පුවත්

නෙතින් මනු හද දිනන “හෙළ දිව ” සඟරාවට සර්වාර්ථ ශුභසිද්ධිරස්තු

රාජකීය පණ්ඩිත, වැහිගල සාරද ස්වාමීන් වහන්සේ

මිහිකත තුරුලතාවන්හි මල්ඵල දරන්නේ ද ඇළ දොළ ගංගා ගලා බසින්නේ ද පරෝපකාරය වී ස්වභාව දහමේ චක්‍රය සැමදා රකින්නටය. එලෙසම අන්‍යෝන්‍ය උපකාරයකින් තොරව හො හේතුඵල දහමක් නොමැතිව ලෝකයේ පවතින්නේ නැත. එමෙන්ම උසස් මනසක් ඇති මානවයන් වශයෙන් පරාර්ථය සාධනය කිරීම මිනිසකු වශයෙන් උපන් සැමගේ කාර්යභාරයක් වෙයි. මෙහි ලා ස්වකීය අනුභූතිය ආශ්‍රයෙන් සත්‍ය ගවේෂණයෙහි යෙදෙමින් සිතිවිල්ලක් පාසා සාධාරණ සමාජයක් සඳහා සදර්ථයක් සමාජගත කිරීමට ප්‍රයත්නයක් දැරීම අතිශයින් ප්‍රශංසනීයයි.

” හෙළ දිව ” නමැතිව යථාර්ථවාදී ජන සන්නිවේදනයට විද්‍යුත් ටීකාවක් ලෙසින් සමාජ දායකත්වය සැපයීම ප්‍රශංසාර්හය. තවද, සත්‍ය වු දත්ත යථාවත් කරණු වස් උදාර දේශයක ඥාන කෝෂ්ටාගාරයක් බඳු හෙටදින හෙළදිව සංකල්පීය මතවාද සම්ප්‍රේෂණය කිරීමේ එදාමෙදාතුර ව්‍යායාමයට මාගේ ශුභාශිර්වාදය එක් කරමි.
අත්දැකීම් බෙදා හදා ගැනීම මිනිසාගේ ස්වභාවයකි.

පසිඳුරන්ගෙන් ලබාගන්නා වූ එම ස්වානුභූතීන් යථා තත්ත්වයෙන්ම සන්නිවේදනය කිරීම කළ යුත්තකි. අතිශයෝක්තිගත වර්ණනාවෙන් හා අනර්ථකාරී විෂම, නිෂ්ප්‍රයෝජන වාර්තාකරණයන්ගෙන් කිසිදා හෙට දිනට පලක් නැත. එබැවින් සදාචාරාත්මකව සන්නිවේදන ක්‍රියාදාමයක යෙදීම කාලීන අවශ්‍යතාවයකි. පාරම්පරික ඥානගත, දැනුම් පද්ධතියක් එදා හෙළදිව තිබූ බවට සැක නැත. සිංහල සංස්කෘතියෙන් හා බෞද්ධ දර්ශනයෙන් එය පිරී තිබූ බව විද්‍යමාන සාක්ෂි කොතෙකුත් ඇති අතර අතලොස්සක් දෙනා එය මනාව දනිති. නවමු සමාජයේ සමාජ ආර්ථික අභියෝගාත්මක කාලයක සැමදා අපේක්ෂාවම මිනිසා ජීවත් කරවයි. මේ සඳහා සුභවාදී මෙන්ම ප්‍රගතිශීලී වූ උපාය කෞශල්‍යයෙන් යුක්ත අදහස් වලින් මිනිසා සුපෝෂණය විය යුතුමය. අඳුරට ශාප නොකොට දීපයක් තවත් දීපයක් දල්වන්නටත්, කාලීනව ජනමන වඩන අවශ්‍යතාවයන් පූර්ණය කරන “හෙළ දිව ” ඒ සඳහා තෝතැන්නක් වනු නොඅනුමානයි. කුමක් නිසා ද යත් වැදූ මවත් ඉපිද හැදුන දේශයත් දිව්‍යලෝකයටත් වඩා සදාකල් අගී .අයෙක් දමා ගියද කවදත් සැමට එයම වටිනාම හෙයිනි.