උණුසුම් පුවත්කාලීනවිශේෂාංගසාහිත්‍යය හා කලාව

පත්තරකාරයකුගේ කටු සටහන් හෙවත් කුරුටු ගී – ඇත්ත පළවැනි කලාපය

ගාල්ලේ ‘හෙලෝ ලලනාවෝ’ හා ඇත්තකාරයා

ඇත්ත පත්තරකාරයා ගේ කල්පනාව, තමන් අත රැඳි තොරතුර, කෙළඹ 08, බොරැල්ලේ කොටා පාරේ, අංක 95 පිහිටි ඇත්ත පත්තරේට යොමු කිරීම. ඕං ඉතින් දැන් මෑන් හෙවත් ඇත්ත වාර්තාකාරයා, ගිනි ගහන අව් කාෂ්ටකේ, ‘ලෙෆ් රයිට්’, ‘ලෙෆ් රයිට්’ ගමනෙන් යන්නෙ ගාල්ලේ කොටුවට. කොටුව ය කියන්නෙ, ඕලන්ද නැත්තං ලංදේසි කොටු පවුර අස්සට.
පරිසරය වෙළා ගත්තු අව්ව, සක්වල ගල ම, දවා උණුකර හරින්නට තරං රස්නෙ යි. ඒත් මේ යෝදයාට ඒ ගැන වගේ වගක් නැති ගාණ යි. මෑන් ගෙ සිරිතක් තියෙනවා, ඉස්සරහට දන්න කියන කවුරුන් මුලිච්චි වුණත්, මිනිහගෙ කහට පාට පනාව දාන එක. ඒක කළා කියල පොකැට්ටුවෙන් කිසිම වියදමක් යන එකක් යැ. එයින් කිසිම පාඩුවක් වෙන්නෙ නෑ නේ.
“හලෝ මචං, කොහෙද බං උඹ මේ දුවන්නෙ.. දුවන්නෙ දාඩිය මුගුරකතුත් පෙරාගෙන?”
කෙනෙක් විමසනවා. ඒත් තමන් යන්නේ කොයිබකට දැ යි, එක එල්ලේ කියන්නෙ නෑ, ඇත්ත වාර්තාකාරයා.
ඇත්ත කාරයා ඇත්ත මිස බොරු කියන එකෙක් නොවිය යුතු යි.
“මචං මං හිතන් ආපු දිහාවට නෙවෙයි හැරුණෙ. සවුත්ලන්ඩ් එක ළඟට” වචනයක් දෙකක් හුවමාරු කර ගෙන, තමන් ඉලක්ක කර ගත්තු කන්තෝරුවකට, රිංගන්න හිතා ගෙන කෙටි ම කෙටි, සංවාදය හමාර කරනවා.
ලයිට් හවුස් වීදිය දිගේ ඉක්මන් ගමනේ යෙදෙන පත්තරකාරයා, වයි. එම්. බී. එක හෙවත් ගාල්ලේ තරුණ බෞද්ධ සංගම් ගොඩනැගිල්ල ඉස්සරහ දි වමට හැරිලා යන්නෙ, ගුණේරිස් සහෝදරයා මුලිච්චි වීමේ අරමුණ හිතේ එල්ලං.
ගුණේරිස් සහෝරයා හෙවත් ගුණේරිස් අයියා, වෘත්තීය සමිති සම්මේලනයක, මධ්‍යම කාර සභීකයෙක්. ගම බූස්සේ, කළුබාලගේ වත්තෙ. ඇත්තකාරයාගේ බොහොම හිතවතෙක්.
පියදාස ආදිපොළ සහෝදරයා ප්‍රධාන ලේකම් වූ, රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ, ගාල්ල දිස්ත්‍රික්කයේ එක් නියෝජිතයෙක්, අපේ ගුණේරිස් අයියා. උසට සරිලන මහතකින් හෙබි, ඔහුගේ උඩු රැවුල යට නිතර ම පාහේ හීන් හිනාවක් පිරී තිබුණු හැටි.....
ගුණේරිස් අයියා හෙවත් ගුණේරිස් සහෝදරයා රස්සාව කරන්නෙ, විදුලි සංදේශ සේවා දෙපාර්තමේන්තුවේ (අද ශ්‍රී ලංකා ටෙලිකොම්) හි. ඒ කාර්මික ශිල්පියකු හැටියට. ඔහු ඒ අංශයෙන් පරතෙරට දැන කියා ගත්තෙක්.
ඉතින් මා නෙත ගැටුණු සැණින්,
“ආහ්... එන්න... එන්න... සහෝදරයා ” යි පවසා මා ඉතා සුහදව පිළිගන්නා ගුණේරිස් සහෝදරයා, කෙළින් ම මා කැන්දන් යන්නේ, ඔවුන්ගේ ආයතනයේ පිහිටි කැන්ටිමට. ඒ වෙලාවට සරිලන දෙයකින් සංග්‍රහ කොට, සිගරැට්ටුවක් ද බුලත් හපයක් ද දෙන ඔහු, මා කැටිව විදුලි සංදේශ ඉංජිනේරු මහත්වරුන් සිව් දෙනකු, විරාජමානව හිඳින කාමරයට ගොඩ වදිනවා.
ඒ දෙමහල් ගොඩනැගිල්ලේ උඩ තට්ටුවේ, ඔවුන්ගේ අධිකාරි ඇතුළු කාර්ය මණ්ඩලය යි. යට මහලේ කාර්මික අංශයට අදාළ පිරිස යි.
කරුණානායක, ඩබ්ලිව්. පී. ද සිල්වා, කේ. සමරජීව හා පලඟසිංහ යන ඉංජිනේරු මහත්වරුන් ගේ කාමරයේ දැන් මා කැටිව සිටින ගුණේරිස් අයියා, ඔවුන් හා කදේ වැටේ. මා දකින ඔවුන්ගෙන් කෙනකු දුරකතනය අතට ගෙන ‘හලෝ ගර්ල්ස්’ ලා ඉන්න තැනට ඇමතුමක් ගනී,
හලෝ ගර්ල්ස්ලගේ කන්තෝරුව තියෙන්නේ, ගාල්ල විiාලෝක පිරිවෙනට ඉදිරිපස පහිටි ‘සරසවි’ පික්චර් හෝල් එක පිටුපස තියෙන පාරේ ගොඩනැගිල්ලක. අද වන විට සරසවි සිනමා ශාලාව වෙනුවට ඔබට දැකිය හැක්කේ දැවැන්ත මහල් සහිත වෙළඳ සංකීර්ණයක්. අනිත් පස මහජන බැංකුව හා එහි උඩු මහලේ වූ ආචාර්ය රිචඩ් පතිරණ පුස්තකාලය. ඒ ගොඩනැගිලි දෙක අතරේ මඳක් ඇතුළට වෙන්න ‘ටෙලිකොම්’ ආයතනය යි.
එකල මෙකල මෙන් ඍජු දුරකතන සබඳතා නොතිබුණි. ඉංජිනේරු මහත්තුරුන්ගේ දුරකතන ඍජු සම්බන්ධතා ඇති ඒවා වුවද, ඔවුන් කෝල් එකක් බුක් කර ගන්නේ මන්දැයි, කියන්නට හේතු කාරණා ඇවැසි නොවේ යයි මගේ කල්පනාව.
කෙනකුට හදිසියකට හෝ ගාල්ලෙන් පිට (එය රට හැටියට ගත්තත් එහෙම ය) අදාළ අංකය දක්වා, වරු ගණනක් බලං ඉන්නෝනැ. කතාකළ යුත්තාට ඇමතුමට සම්බන්ධ කර ගන්න, කතා බහේ යෙදෙන්න, ‘හෙලෝ ගර්ල්ස්’ ලා වෙතින් ඇමතුම් සබඳතාවයක්, (ට්‍රන්ක් කෝල්) ලබා ගන්න, බොහොම වෙලාවක් කල් මර මරා, සිටිය යුතු වුණත් ඉතින්, වෙන මොනවා කරන්න ද?
ඉතින් ඇත්ත පත්තරකාරයාට, ඍජු සබඳතාවයක් ලබා ගත හැකි වෙන්නේ, අර ඉංජිනේරු සගයන්ට පින් සිද්ධ වෙන්න යි. පත්තරකාරයා මුව පුරා හිනාමලකින්, අර මිතුරන් හැමට සංග්‍රහ කොට, වැඩේට බහිනවා.
ලියාගෙන හචා මල්ලේ බහාගෙන තියෙන, ප්‍රවෘත්තිය හෝ දෙක හෝ තුන, 95 කෝට්ටේ පාරේ ඇත්ත පත්තර කන්තෝරුවට, ටැලිපෝන් කම්බිය දිගේ මුසු කරනවා.
සමහර අවස්ථාවල ඒ ඉංජිනේරු සගයන් ද, පත්තරකාරයා සමඟ කැන්ටිමට යන බව ද, නොකියා ම බැහැ.. ඊළඟට කතා බහ රටතොටේ වංහුං.
ගුණේරිස් අයියාගේ සම්බන්ධීකරණයෙන් හිතවත්කම් ඇති කෙරුණු, විදුලි සංදේශ සේවා කාර්යාලයේ පොඩි මිනිහාගේ පටන්, අධිකාරීවරයා දක්වා ම මිතුදම්, වගා දිගා වූයේ අප කාට කාටත් ඇත්තකාරයාටත්, ඒ නිලධාරීන්ට රහසිනි. නොදැනීම ය.
ඇත්තකාරයාගේ ඉස්කෙළියාව දැක්ක සැණින, පහල උදවියගේ දුරකතන බලා හිඳින්නේ, තොරතුරු බෙදා හදා ග න්න සූදානමින් වගේ.
ගාල්ලේ ‘හෙලෝ ලලනාවෝ’
කොළොම්පුරේ කොළඹ අටේ, කොටා පාරේ හෙවත්, කෝට්ටේ පාරේ, අංක අනූපහේ (95) පිහිටි ඇත්ත පත්තර කන්තෝරුවේ ඇත්තන් හා, රුහුණු රටේ අග නගරේ, ගාලු පුරේ ඇත්තකාරයාට සන්නිවේදනයට, ඍජු පහසුකම් ඉතා ඉක්මනින් සලසා දෙන්නට, ‘හෙලෝ ගර්ල්ස්’ ලා කෙතරම් සේවා කාර්ය බහුලත්වයක් තිබුණ ද, කිසිදු විටෙක මැලිකමක් දැක්වූයේ නෑ.
එහිලා වඩාත් සබැඳියාවක් පෑවේ, ශාන්ති. ඊළඟට මානෙල්. රෝහිණී. තියරි. කමලා, කන්ති. ඒ හැම දෙනාට ඉහළින් සිටිය, හේවාවසම් නෝනා. මේ දැන් ඇත්ත කාරයා ගේ මතකයට, නැඟී එන හෙලෝ ලලනාවන් කීප දෙනකුගේ නම්. තවත් පස් හය දෙනෙක්, ඇත්ත වාර්තාකාරයාට බොක්කෙන් ම උදව් කළ වග, මේ වෙලාවේ හෙවත් අඩසිය වසරකට පසුව හරි, අප කියා පාන්නට ඕනෑ. නොකියුවොත් ඇත්තකාරයා කෘතවේදීත්වයක්, නොදන්නා හාදයෙක් මිස, යහපත් මිනිහෙක් නෙවි.
ඇත්ත පත්තරකාරයාගේ කටහඬ, ඔවුන් හොඳින් දනී. ඒ හඬ කනට හසුවූ සැණින්,
“ආන්... හ්ග්.... ඕන්න අපේ යාළුවා ඇවිල්ලා” රීසිවර මෙවලම කනේ රඳවන්, ඒ ලලනාව සිය බළඇණියේ සෙස්සන්ට කියනවා. මෙහා කෙළවරේ කනට ඒ කීම ඇහෙන්නත්, ඉඩ හසර ගෙනයි ඈ එසේ කියා කට ගන්නටත් කලින්, එකිනෙකා අතර කෙරෙන උසුළු විසුළු ද, පත්තරකාරයාගේ කනේ තැවරෙනවා.
“ඇහෙනවා නේ ද අපේ කට්ටියගෙ කතා!!”
“හ්ම් මොකද නොඇහෙන්නෙ? පත්තරකාරයකුට හොඳ කන් දෙකකුයි, හොඳ ඇස් දෙකකුයි, තියෙන්න එපා යැ” ඇත්තකාරයා පිළිතුර බඳී.
“අද මොනවද හොට් නිවුස් එක”
“තව පොඩ්ඩක් ඉවසන්නකෝ. කොපිය අතට ගන්නකං. මගේ නිවුස් එක අහන්නෙ, දැන ගන්නෙ, මුළින් ම ඔයා නේ... ශාන්ති, නැතිනං මානෙල්, තියරි, හේවාවසම්.....!!”
සමහර දවෙසක ඔවුන්ට ඇත්තේ, දුරකතන මඟ අවහිරිය. ඒ කියන්නේ ‘ලයින් බිසි’ ය.
“පොඩ්ඩක් ඉන්න.... පොඩ්ඩක් ඉන්න....” යි මා අමතන එලඳගේ මුවෙන්, ඊළඟට ගලා යන හඬ ඇත්තේ ඇත්තන්ට ය.
“මේ ගාල්ලෙන්. ගාල්ලෙන්.... කෝල් එකක් තියෙනවා” යි පවසනවා. ඒ ඇමතුම පත්තරකාරයාගේ දෙසවනට ද එක්වෙනවා.
ගුණේරිස් අයියා විසින් ගොඩනංවා දුන,් ඒ සියලු සබඳතා අඛණ්ඩව, හවුරුදු විසි පහක, තිහක තරම් කාලයක් සුරැකිව, අප අතරේ පැවතියා. ඕන් ඔය අතරෙ හෙලෝ ලඳුන්ට ස්ථාන මාරුවීම්. හැබැයි ඉතින් ඊළඟට එන ලලනාවන් හා, සුහද බවක් වගා දිගා කර ගන්නට, ඇවැසි පසුබිම ඔවුන් මැනවින් සකසා දුන් බව ද සිහිපත් වෙනවා. සිහිපත් කරන්නෝනැ.
අද ශාන්තිලා, මානෙල්ලා, හේවාවසමලා, තියරිලා, රෝහිණීලා, ශ්‍රී ලංකා ටෙලිකොම් හි නෑ. ඉසුඹු ලබා ගෙදොර වැඩ රාජකාරි කරගෙන ඉන්නා බබලතුන් ය. ඒ ඇත්තියින් තුළ පැවති ගුණ යහපතකම්, පත්තරකාරයාට අමතක නෑ. ජාතික පුවත්පත් හි ගාල්ලේ හුන්, දයා මුතුකුමාරණ, ඩී. ඒ. සිල්වා, ජයසේන විජේරත්න, ජේ. ටී. ද සිල්වා වැන්නන්ට, එවන් සහායක් මේ ලඳුන්ගෙන් ලැබුණේ නැති වග, හෙවත් ඔවුනොවුන් අතරේ හිතමිත්‍රකම් තිබුණේ නැති වග, ඇත්තකාරයාට හොඳටෝ ම විශ්වාසය.