කුරුටු ගී - 02
මේ
ඇත්ත කතුවරයකු සේ ඉතා නොබියව පුවත්පත මෙහෙය වූ නිව්ටන් සෙනෙවිරත්න සොවුරා.සිය පූර්වගාමියා වූ බී. ඒ. සිරිවර්ධනයාණන් සමඟ හෙළ බස ඉතා නිරවද්‍ය ව හසුරුවමින් ඇත්තේ ඇත්තන් භාෂා විසරදුනට ද ආදර්ශයක් දෙමින් කළ මෙහෙයක තරම කෙසේ නම් වනන්න ද?
විශේෂාංග කතුවර සිරීලාල් කොඩිකාරත්, සුරත් අම්බලන්ගොඩත්, ඉතා අපූර්ව වූත් කදිම වූත් බස්වහරමින් ඇත්ත, අනිකුත් පත්තර පරයමින්, පාඨක ජනතාවගේ හදවත් ස්පර්ශ කළ අයුරු. ඒ හා සමාන හෙළ බස් විසරදයෙකි නියෝජ්‍ය කතුවර කුලසිරි රාජපක්ෂයන්.
අද දැවැන්ත දැන්වීම් ප්‍රචාරණ ආයතයක හිමිකරුවකු සේ කීර්තියක් ඇති අර්වින් වීරක්කොඩී ඇත්තේ නියෝජ්‍ය කතුවරයකුගේ භූමිකාවට පණ දුන් තවත් සුවිශේෂී දක්ෂතාවලින් පිරිපුන් වැඩ්ඩෙක්. ව්‍යාපාරික ලෝකයේ නමක් රඳවා ගෙන සිටින බුද්ධි කීර්තිසේන ද ආරම්භක ඇත්තට කර උර දුන් චරිතයක්.
ජැක්සන් සේනාරත්නයන් ආරම්භයේ ඇත්තේ නියෝජ්‍ය කතුවරයකු වග සඳහන් කියන්නට ඕනෑ. නිමල් පිටිපන ද තවත් ආරම්භක ඇත්තේ ඇත්තෙක්.
සුනිල් සී ද සිල්වා මෙන් ම රූපසිරි විද්‍යාරත්න ද උපකතුවරුන් සේ පත්තර පිටුවලට ආකර්ශනීය සිරස්තල දැමීමට ගජහපනුන්.
කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් ම ඇත්තට එකතු වුණු දයා ලංකාපුර සතුව පැවති ප්රවෘත්ති ඉව අන් කවරකුට හෝ තිබුණේ දැ යි සැකසහිත යි. අදටත් ඔහු සතු ඒ හැකියාව.... හ්ම්....
ඔහු පාසල් වියේ පටන් ම හොඳ කැමරා ශිල්පියෙක්. හැබැයි ඉතින් ඒ හැකිවන් පාඨකයනට පෙන්නන්න ලංකට හැකිවුණේ නෑ. ඒ පත්තරකාරයෙක් හැටියට පැවරුණු නේකාකාර ක්‍රියාකාරකම්වලට යෙදෙන්න සිද්ධ වෙච්ච නිසා.
ලංකාපුර පාසල් සමයේ පටන් ම මව්බිම පත්තරේට පෙම්බැඳි සකියෙක්.
ඔහු ගිංතොට හා ඒවට ගම්දනව් වල මව්බිම අලෙවි කිරීමෙහි නිරත වූවා පමණක් නොවෙයි. මව්බිම ගිංතොට වාර්තාකරුත් ලංකා. දේවපතිරාජ විදුහලේ ඉංග්‍රීසි ගුරුවරයකු වූ පී. එච්. නිමල් සිල්වා මැතිතුමා සිකුරුදා දහවල් දයා ලංකාපුර අත පත්කරන මවිබිම පත්තර තොගය සෙනසුරාදා උදේ පටන් තුනීලැලි කම්හලේ සේවකයනට විකුණා හමාර කරන්නට ඔහුට ගත වෙන්නේ මහ වෙලාවක් නොවේ. ඔහුගේ පැමිණීම දිහා ඔවුන් පුලපුලා බලා හිඳින්නේ මහා ප්රවෘත්ති පිපාසයකින් පෙළෙමින්.
ලංකා අති දක්ෂ පත්තරකාරායක්. අති දක්ෂයෙක්.
ස්ටැන්ලි සමරසිංහ ද ලංකා හා කරට කර. ලංකා පාර්ලිමේන්තු වාර්තාකරු වූ අතරේ ස්ටැන්ලි උසාවි වාර්තාකරු . බෙනට් රූපසිංහ ද ඇත්තට ම කියපු පත්තරවැඩකාරයෙක්.
රජ්ජම වාර්තාකරු වූ මා ද පාන්දර හතරට නැගිට රජ්ජම හන්දිය කරා පියඹන්නේ අබිං කන එකාට අබිං නැතුවා සේ උදේ පාන්දරින් ම ඇත්ත කියවන්නට තියෙන උණ හින්ද.
රජ්ගම හන්දියේ පත්තර අලෙවි නියෝජිතයා මැන්දිස් මුදලාලි. ඒ වෙලාව වන විට මගේ පැමිණීම අපේක්ෂාවෙන් ඉන්නෙ දොර ලෑල්ලක බාගයක් විවර කරන් පේන නොපෙනෙන විදියට. මා දොර ලෑල්ලට දෙවරකට වඩා තට්ටු කරන්නේ නෑ. හේ ඇත්ත පත්තර මිටිය මා අතට වඩම්මන්නෙ අර බාගෙට ඇරපු දොර අස්සෙන්.
පත්තර එකින්නෙක නමා පැත්තකින් තියන මා ඊළඟට ඇත්ත මුල් පිටුවේ පටන් අවසන් පිටුවේ ද සියලු ප්රවෘත්ති කියවා හමාර කරන විට පොළොවට හොඳින් එළිය වැටී අහවරයි.
ඊළඟට බයිසිකල් කටුවට පණ දී කරාවගොඩට ගොස් විල්බට් අයියාගේ ඇත්ත පත්තරේ ඔහු අතට පත්කරන්නෙ නමෝවිත්තියෙන්. ආපහු ගාලුපාරට පිවිසෙන මා අතුරු මං ඔස්සේ ද බයිසිකල් කටුවේ පිහිටාධායෙන් පැයකින් හමාරකින් ඇත්ත නිත්‍ය සාමාජිකයන්ට රටේ තොටේ ඇත්ත ප්රවෘත්ති බෙදා දෙන්නෙ එකිනෙකා එක්ක පොඩි විහිළුවක් තහළුවක් හුවමාරු කර ගනිමින්. ගෙදරට පියඹා එන මා ලකලෑස්ති වෙන්නේ රස්සාවට යන්න.
රජ්ගම ඇත්ත පත්තරකාරයා ඇත්ත පත්තරේ පාඨකයන් අතරෙ බෙදා දෙන්නකු බව කලින් කීවා මතක ඇති. එයින් එක පත්තරයක් දෙන්නෙ පරණවත්තේ තැපැල් මහත්තයට.
පරණවත්තේ තැපැල් මහත්තයා කියන්නේ රජ්ගම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඇම්. ජී. මැන්දිස් මහත්තයගේ මස්සිනා. ඇම්. ජී ගේ කාර්යාලය 1970 - 1977 පවත්වන් ගියේ තැපැල්ලගේ ගෙදර.
රජ්ගම ඇත්ත වාර්තාකාරයා ට මේ දැන් අදහසක් ඔළුවට රිංගුවා මේ බොහොම වටිනා කියන මනුස්සයා ගැන යමක් ලිව්වොත් හොඳය කියා'
හැබැයි ඉතින් මේ මනුස්පයා ලාංකේය වාමාංශික ව්‍යාපාරය උදෙසා කරන. ලද අමිල මෙහෙය ගැන ලියනවා නං කොච්චර කරුණු කාරණා ලියන්න කියන්න තියෙනව ද? ඒක නං එසේ මෙසේ වැඩක් නෙවේ. හෑබැයි ලිවිය යුතු ම යි. ඔව් සහතික ඇත්ත ලියන්න ඕනැ සැබෑ කම්කරු සටන් නියමුවා ඇම්. ජී. ඔහු කොළඹ වරායේ, බීසීසීයෙ, කේව් සමාගමේ වගේ තැන්වල වෘත්තීය සමිති ගොඩනඟන්න කරපු කැපවීම අද ඉන්න කීයෙන් කී දෙනා ද දන්නේ.
පැය අටේ වැඩ නීතිය, ජීවන අංකයට සරිලන දීමනාව, වෛද්‍ය පහසුකම්, සුදු කොම්පැණි ජනසතු කිරීම, වගේ බොහොම දේවල් කරන්න ඔහු කම්කරු පන්තිය ගොනු කර කර ඔවුන්ට අයිතිවාසිකම් ලබා දෙන්න ඇම්. ජී. කරපු කැපවීම් ලාංකේය කම්කරු පන්ති ව්‍යාපාරයේ බොරු ෂෝ කරයින් මොනවා දන්නව දැ යි හිතෙන්නේ ඔහු ඒ සඳහා විඳපු දුක් කන්දරාව ඇහීමෙන්.
ඔබ කැමති නං මං ඔහු ගැන ලාංකේය ඡනතාව දැතගත යුතු නොදන්නා දෑ කියන්නං ඉදිරියට.....
⋆ ⋆ ⋆
1977 පැවති මහ මැතිවරණයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් පැවති සමගි පෙරමුණේ තුන්හවුල් ආණ්ඩුවේ කොටස්කාර සමසමාජ පක්ෂය බිඳවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දක්ෂිණාංශකයන් කළ කුමන්ත්රණයේ හේතුවුණා. ඔවුන් ආණ්ඩුවෙන් ඉවත්වීමත්, ඒත් එක්කම පේරාදෙණිය සරසවි සිසු ගැටුමේදී වීරසූරිය සිසුවා පොලිස් වෙඩි පහරකින් ඝාතනය වීමත් නිසා කොමියුනිස්ට් පක්ෂය ද ඉවත් වුණා.
ඔයින් මෙයින් සිද්ධ වුණේ ඉතා අන්ත පරාජයකට සමගි පෙරමුණේ පක්ෂ තුන අන්ත පරාජයක වේදනා වින්දෙ එක්සත් ජාතික පක්ෂයට 5/6 ක තරම් අති දැවැන්ත බලයක් සහිතව රට කරවීමේ බලය ඩැහැගැනීමට ඉඩ හසර පාදමින්..
තමන්. ලද අසීමිත බලය මත අගමැති ජේ. ආර්. ජයවර්ධන පොලීසියට දෙසතියක් නිවාඩු දුන්නා. ඒ පරාජයට පත් විපක්ෂයේ ආධාරකරුවන්ට, හිතවතුන්ට හොඳ හැටි සලකමින් ජයග්‍රහණය රිසි සේ භුක්ති විඳීමට ඉඩහසර පාදා දෙමින්.
ධාර්මිෂ්ඨ පාලනයක් උදෙසා බලය ඉල්ලූ එක්සත් ජාතික පක්ෂ නායකයන් සිය ආධාරකරුවන් පරාජිතයන්ගේ නිවෙස් කුඩුපට්ටම් කරමින් ද, ගිනිබත් කරමින් ද, අවි ආයුධවලින් පහර දී කැපුම් කෙටීමි කරමින් ද, මිනිස් ඝාතන කරමින් ද කළ වින්නැහිය සුලුපටු නෑ. .
රජ්ගම ඇත්ත පත්තරකාරයා රජ්ගම හිටපු මන්ත්‍රී ඇම්. ජී. මැන්දිස් ගේ ජයග්‍රහණ වෙනුවෙන් බොහෝ සේ වෙහෙසුණා.
උදේ පාන්දර යාබද නිවසක තරුණයෙක් කුකුළකුගේ දෙපාවලින්, ඔසවා ගෙන එන ගමන් යාබද වත්තේ වූ පුවක්ගසක කඳෙහි ගසා ඊළඟට අපේ ඉඩම හරහා යෙමින් අර අහිංසක සතා පොල්ගහක කඳේ ගැහුවේ මට දෙන දඬුවමට ඉඟි පළ කිරීමක් හැටියට.
එන තත්ත්වයට මුහුණ දීමට අප ද අප්‍රමාද වූයේ නේකාකාර අයුරින්.
මේ අතරේ ඕවකන්ද හන්දියට පොදි ගැහුණු ජයග්‍රාහකයන් ඇත්ත පත්තරකාරයාට දියයුතු දඬුවම සාකච්ඡා කරන්නට පටන් ගත්තා.
අපේ ගෙදරට කඩාවැදී මගේ ගෙලට කඹයක් දමා, අර්නස්ට් ද සිල්වා මාවත දිගේ ඇදගෙන ඕවකන්ද හන්දියටත්, එතැන් පටන් ගාලුපාර දිගේ රිල්ලඹ හන්දියට ගෙනැවිත්, ආපහු රිල්ලඹ සිට ගෙදර දක්වා ඇදගෙන යෑම කළයුතු බව බලයේ බල මහිමයෙන් උන්මන්තක ව හුන් ධාර්මිෂ්ඨ ගෝල බාලයන් සාකච්ඡා දිගින් දිගට. ඔය අස්සේ ඕවකන්දේ "සුදු මල්ලී" නමැති තරුණයා සාකච්ඡා සභා තොමෝ වෙත ඇදී ආවා.
ඇත්තකාරයාට දියයුතු යැයි ඔවුන් කරමින් හුන් කතාව සුද මල්ලීගේ කනේ තැවරුණු සැණින් ඔහුගේ මල පැන්නා.
""සුගතෙ අයියාට....??? තොපිට පිස්සු ද යකෝ! සුගතෙ අයියට දඬුවම් කරන්න..... ඒක උඹලට හීනයක් වේවි. සුගතෙ අයියා කියන්නේ බොරු කොමියුනිස්ට් කාරයෙක් නෙවෙයි. හැමෝටම කරන්න පුළුවන් උදව්වක් කරන්න දෙපාරක් හිතන්නෙ නැති මිනිහෙක්"
"සුගතෙ අයියට කිසිම කරදරයක් කරන්න හිතේ තියෙනවා නං ඒක අයින් කර ගනිල්ලා"
සුදුමල්ලි දාපු ගෝරනාඩුවට අර වැඩ කාරයෝ උන්ගේ නකුටු දෙපරඳු අස්සේ ගසා ගෙන ඇඹ රෙමින් එකිනෙකාගේ මුහුණු කළුකර ගත්තා.
සුදු මල්ලී යනු ඕවකන්ද හන්දියේ ගුණසේකර මාමාගේ පුත්තු හය දෙනා ගෙන් පස්වැන්නා.
මේ පුවත කන වැකුණු මගේ ලොකු අප්පාගේ බාල පුතා ද අර 'නඩුකාරයන්' රොත්ත සුද්ද සිංහලෙන් අමතා "උඹල වගේ ම යකේ අපිත් යූඇන්පී තමයි ෙකාරේ. එහෙනං පුළුවන් නං මගේ මල්ලී ට වරෙල්ලා බලන්න අච්චු දෙන්න" යි කී අයුරු මහ වෙලාවක් යන්න කලින් ආරංචිය සැලවුණා අපට.
මට හිංසාවක්, කරදරයක්, හිරිහැරයක් ඇති වේය යි සැකයෙන්, අපේ ගෙදරට අපේ කණ්ඩාමක් ආවේ රුපිවල ඉඳල. අවශ්‍ය ආම්පන්න රැගෙන ආ පිරිස දහ පාළොස් දෙනෙක්. ඔවුන් හොඳ නාම්බන්.
රජ්ගම මන්ත්‍රී ලෙස පත් වූ තිලකරත්න උන්නැහේගේ ගෝලබාලයන් රජ්ගම වාමාංශියන් සැහෙන පිරිසකට කරන ලද හිංසා පිඩා සුළුපටු නෑ. ගෙවල් ගිනි තැබීම්.පහරදීම් එකක් දෙකක් නොවේ.
ඇත්ත පත්තරේ මුද්‍රණය තාවකාලික නතර කරන්නට සිදුවූයේ පත්තරේ නිකුත් කෙරුව ද අලෙවියට තිබුණු බාධක නිසා.
මාසයක දෙකක තරම් කාලයකට පසු ඇත්ත ජනතාව අතට පත් කෙරුණේ බාධක ගණනාවක් මැද්දෙ
