කුරුටු ගී - 04
ඇත්ත කාරයා පොලිස් අත්අඩංගුවට

අපේ රුපියල මස්තබාල්දු කරමින් වැඩ ඇරඹූ ජේ. ආර්. - ප්‍රේමදාස ඩබලගේ ධාර්මිෂ්ඨ සමාජයක් ආණ්ඩුව පාලක බුරුත්තගෙ අනුදැනුම ඇතිව, මඟ පෙන්වීම මත කළ අධර්මිෂ්ඨකම් අච්චර ද මෙච්චර ද කොච්චර ද කියා කියන්න බැරි තරං. හැම ගමක ම යූඇන්පී විරෝධී ප්රගතිශීලී මිනිස්සුනට කරපු හදි... ගංගොඩවල්වල මිනිසුන් ගේ ගේදොර ගිනිබත් කළේ කිසිම හිතක් පපුවක් නැති අති කෲර විදියට. ගෙවල් ගිනි තිබ්බා. ගෙවල් කඩල බිඳල දැම්මා. මිනිස්සුන් ගේ අතපය කැඩුවා. අතපය කැපුවා. එච්චර විතරක් නෙවේ. කිසිම වරදක් නොකරපු අහිංසක ජනයාට කළ ඒ හිංසනවලින් නොනැවතුණු ධාර්මිෂ්ඨර්ලා ගේ අධර්මිෂ්ඨරලා විරුද්ධ මත දැරූ හෙවත් යූඇන්පියට ඡන්දෙ නුදුන් ගංගොඩවල්වල කැපී පෙනෙන චරිත ගණනාවක් ඝාතනය කළා.... මරල දැම්මා.
ප්‍රතිවාදීන් සෑහෙන පිරිසක් ඝාතනය කරමින් ද, කඩු පිහි වැනි තියුණු අවි ආයුධවලින් කපාකොටා පිරිසක් ආබාධිතයන් කරමින් ද,ගේදොර කුඩුපට්ටම් කරමින් ද ගිනිබත් කරමින් ද කළ වින්නැහිය සුලුපටු නොවේ. ඒ ධාර්මිෂ්ඨ සමාජයේ ආරම්භක දිනය යි.
උතුමාණන් වහන්සේ බවට තවත් මාස කිහිපයකට පසු බෞතිස්ම වූ ජේ. ආර්. 0 ප්‍රේමදාස ඩබල ගෝල බාලයන්ට 5/ 6 අති මහත්, අති විශාල, අති දැවැන්ත ජයග්‍රහණයේ ජයපැන් බොන්න දරුමිස්ට පැටවුන්ට රිසි සේ නටන්න, ගයන්න, වයන්න ඉඩහසර පාදා දුන්නේ සාමයේ දෙවිවරුන් වන සිරි ලංකාවේ පොලෝසියට දෙසතියක නිවාඩුවක් දීලා. පොලොසියෙ ලොකු පුංචි මහත්වරු ඔක්කෝම බැරැක්කවලට ගාල් කරලයි.
ඉතින් ගෝල බාලයනුත් ලොක්කන් ඩබල හා අනුගාමික ලොකුගේලා, පොඩිගේලා, ජෝන්ලා, මෙරිල්ලා, ජයවික්‍රමලා, වගේ අංක එකේ ගෝල රොත්ත මද කිපිච්ච අලි ගාලක දොරටු ඇරිය වගේ රටේ හැම අස්සක මුල්ලක ම පිරිස් උසිගැන්නුවේ දඩයම් බලු රොත්තක් අතෑරි ගානට.
රජ්ගම ඇත්තකාරයා ගේ මේ සටහන ලියන්නත් කියවන්නත් ඔබ වාසනාවන්ත වූයේ ගංගොඩේ හිටපු පැටි සන්දියේ පටන් එකට හැදුණු වැඩුණු යුක්තියට හිස නමන තරුණයකු වූ ඕවක්නද හන්දියෙ සුදු මල්ලිටත් මගේ ලොකු අප්පුච්චා ගේ බාල පුතා - පොඩ්ඩෙ අයියත් හින්දා. නැත්තං 1977 මහ ඡන්දෙ ප්‍රතිඵලයක් හැටියට ගමේ ඌඇන්පී සෙට් එක මං අඩි හයක් පොළොව යටට යවල හමාරයි කියන කතන්තරේ මං කලින් දොහක කිව්වා මතක ඇති ඔබට.
ගංගොඩවල්වල එහෙම වෙද්දි රජයේ කාර්යාලවල පරාජිත තුන් හවුල් ආණ්ඩුවට සහාය දැක්වූ නිලධාරීනට සේවකයන්ට නොදෙන අච්චු දෙන්න ඒවායේ අලුතෙන් ඇරඹී තිබුණු ඊනියා ජාතික සේවක සංගම් සාමාජිකයින් පෙළඹුණේ ද අර කිව්වා වගේ ම යි. සමහර කන්තෝරුවල ජාතික සේවක සංගම් ජුන්ටන් තමන් හා හවුරුදු ගාණක් එක බත් පෙට්ටිය බෙදා හදා ගෙන මිතුදම් වගා දිගා කරගෙන හුන් සහෝදරයින් කොළපාට තීන්තවලින් නෑව්වා. ජේ. ආර්. ගෙ පින්තූරයට දණගහලා වැන්දුවේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට පසඟ පිහිටුවා වන්දනා කරන විදියට.
ස්ථාන මාරු කල් ඇතිව ම සූදානම් කරන් හිටපු ජාතික සේවක සංගම් ජුන්ටාවේ හැත්ත බුරුත්ත පියසේන කහඳගමගේ වැනි ගුරුවරුන් විසි තිස් පොළකට මාරු කළා. එක තැනකට මාරුව ලැබී වැඩ භාර ගන්න ගිය විට එතැන දී ම වෙනත් ඉස්කෝලෙකට මාරුවීමේ ලිපිය යවල.
බොහොම දෙනෙකු යැව්වේ තල් රා බොන්න පුරුදු කරන්න වෙන්නැති. නෝනා එකතැනකට මාරු කරලා මහත්තයා තවත් ඈත පළාතකට මාරු කළා. හැබැයි ඒ කාලේ මේ දඬුවම් මාරු ලද ගුරුවරුන් කොතැන තිබුණත් හිරමනෙන් කෙරෙන්නෙ පොල්ගාන එක වගේ මාරුවීම ලද පාසලේ දරුවන්ට බොහොම හොඳින් අකුරු කෙරෙව්වා. කාලෙකට පස්සෙ සමහර අයට වෙනත් පාසල්වල මාරුවීම් ලැබිල යන විට ඒ දරු දැරියන් විතරක් නෙවෙයි ඔවුන් ගේ මාපියන් ද කඳුළු වැගුරුවා.
ඔන්න ඔහොම ප්‍රතිවාදීන්ගෙන් පළිගත්තු මේ දරුමිස්ටර් නඩයේ මහ උත්තමයි අනු උත්තමයයි හා හෙංචයියනුයි රාජ්‍ය සේවකයන් මෙහෙම දඩයම් කළේ නරුම වූත් චිරස්චීන වූත් පිළිවෙතක් අනුගමනය කරමින් බව යළිත් වංගියක් කියන්නෝනැ. රජයේ සේවකයිනට රාජකාරියට එන්න නොදී පු තැන් බොහොම යි. මේ මිනිසුව් දොට්ට දැමූ පාලකයන් ඊනියා රැකියා බැංකුවේ නාම්බන් නෑම්බියන්ට රාජ්‍ය සේවක පුරප්පාඩු පිරවූයේ, සුදුසුකම් කියන වචනෙ බල්ලන්ට දමලයි.ඒවා යූඇන්පී සහචරයන්ගෙන් පුරවන ලද්දේ බොහොමත් ම පිළිකුල් සහගත අයුරින්.
ධාර්මිෂ්ඨ ගිලටිනයට හසුවූ එක් පිරිසකි රාජ්‍ය බැංකුවලට බඳවා ගත් බැංකු සේවකයින්. තුන්හවුල් පාලනයේ අවසන් සමයේ ය ඔවුන් බැංකු සේවකයන් බවට වරම් ලද්දේ. සංඛ්‍යාවෙන් ඔවුන් නමසිය හැත්තෑ එක (971) කි.
මේ පිරිස වහාම යළි රැකියාවේ පිහිටු වන සේ ආණ්ඩුවට බල කරමින් ලංකා බැංකු සේවක සංගමය විසින් විරෝධතා ව්‍යාපාරයක් දියත් කළා.. දිවා විවේකයේ දී පැයක උද්ඝෝෂණයකින් මේ විරෝධය ඇරඹුණේ.
ගාල්ලේ බැංකු සේවකයින් අරඹන ලද විරෝධතා ව්‍යාපාරයට රටේ අවශේෂ නගරවල මෙන් ම ලිපිකරු සංගම් ද ගුරු හා සෙසු වෘත්තිය සංගම් සාමාජිකත්වය ද ඊට හවුල් වුුුණේ එන පොට හොඳ නෑ කෙල්ල ගෙට ගනින්" කියන උපහැරණෙ කාට කාටත් සිහියට නංවමින්.
ගාල්ල නගර මධ්‍යයේ දින කිහිපයක් පැවති මේ උද්ඝෝෂණය ඇරැඹුණේ ගාල්ල කොටුවෙන්.
ගාල්ල කොටුවේ අධ්‍යාපන කාර්යාලය ළඟින්. අධ්‍යාප කාර්යාලය තියෙන්නෙ කොටුවෙ පරණ දොරටුවෙන් ඇතුළට පිවිස වමට හැරුණහම. ඉතින් මේ උද්ඝෝෂණයට අජයේ කාර්යාලවල හැම තරාතිරමක ම පාහේ සේවකයින් එකතු වුණා. ගුරුවර ගුරුවරියන් ඈඳුණා. අධ්‍යාපන කාර්යාලය අසලින් පෙළපාළිය පටන් ගත්තෙ දාහකට අඩු නැති සමහර විට දාහකට වඩා වැඩි පිරිසකගෙන්. ඊට අල්ලපු වැටේ ඇත්තේ ගාල්ල පොලීසිය යි.
උද්ඝෝෂකයෝ සටන් පාඨ හඬ නඟමින් අධ්‍යාපන කාර්යලය ළඟින් ඇරඹූ පෙළපාළිය කොටුවේ පරණ ලන්දේසි පල්ලිය පියමං කර ලංකා බැංකුව කිට්ටුවට ආවා. එතැන දි ඊට ටිකක් එහා පිහිටි මහජන බැංකු සේවකයින් ද ඈඳා ගෙන අලුත් කොටු දොටකඩින් එළියට ඇවිත් බස්නැවතුම්පොළ ඉදිරිපසට ආවේ ගිනි ගහන කට්ට අව්වේ පිච්චි පිච්චි. ගාල්ල ප්‍රධාන බස් නැවතුම් පොළ ඉදිරිපිට පාරේ අනිත් පැත්තේ විරෝධතාවයේ යෙදෙන්න මේ පිරිසඒක දිගට පෙළ ගැහුණා. ගාල්ල මහජන ක්‍රීඩාංගණය ඉදිරිපිටයි දැන් මේ උද්ඝෝෂකයෝ වැඩේ අරඹල තියෙන්නෙ.
යෙදෙද්දී ඇත්ත පත්තරකාරයා ඔවුන් රූපගත කරයි.
ඕන් ඔය අතරේ ගාල්ල පොලිසියේ වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක තිරිනාකරුසු යතුරු පැදියකින් උද්ඝෝෂකයන් වෙත ආවේ ය.
ඔහු අත පොලිස් පොල්ලකි. හේ සටන් පුඨ හඬනංවන්නන් හා පැටළුණි. ඔහුගේ පොලිස් පොල්ල ඉහළ ට එසවෙයි.. ඒත් එක්කම ඇත්ත පත්තරකාරයා ගේ කැමරාව ක්‍රියාත්මක වෙයි. ඔහු රිසි සේ පොලිස් පොල්ල ඔසවන පොලිස් නිලධාරියා සිය කැමරා කාචයට ග්‍රහණය කර ගන්නට ගත් උත්සාහය අසාර්ථක වෙයි.
හේ යළි තිරුණාකරසු කැමරාවට රිංගවා ගනිද්දී එය ඔහුගේ නෙත ගැටෙයි.
ඒ දුටු වහා පොල්ල පහත හෙළන ගාල්ල වැඩ බලන මූලස්ථාන පොලිස් ලොක්කා තම ශිල්ප දැක්වීම පසෙක ලා ඇත්ත පත්තරකාරයා වෙත පැන ඔහු අල්ලා ගනී. සැණෙකින් පත්තර කාරයාගේ කැමරාව ඩැහැ ගත් හෙතෙම යතුරුපැදිය කරා පිය මනින්නේ පත්තර කාරයා අතකින් අල්ලා ගෙන ය.
"නගිනවා. නගිනවා සයිකලේට"
ඔහුගේ විධානයට අවනත වන හේ පසුපසට බර දෙද්දීම පොලිස් ලොක්කා ගාල්ල පොලීසිය වෙත පියඹන්නේ ගොදුරක් ඩැහැ ගත්තු උකුස්සකු බඳුව ය.
ඇත්ත කාරයා කැටිව සිය කාර්යාලයට ආ තිරුණාකරසු දෙතුන් වංගියක් ම ගෝරනාඩු දැම්මේ ය. ඔහු ගේ මුල් ප්රශ්නය වූයේ උද්ඝෝෂණකයෝ පෙළපාලිය ඇරඹුවේ කොතැනින් ද යන්නයි. දෙවැන්න අධ්‍යාපන කාර්යාලය ඉස්සරහින් නේ ද යන්න යි තෙවැන්න ඔහුගේ පින්තූර ගත්තේ මොකද කියා යි.
පළමුවැනි ප්‍රශ්න දෙකට "මං දන්නෙ නෙ" යි උත්තර බැන්ඳ මා අනෙක් ප්‍රශ්නයට " සතියක් තිස්සේ ගාල්ලේ බැංකු සේවකයෝ උද්ඝෝෂණ කරද්දි තමුසෙ එක නිවුස් කෑල්ලක් වත් පින්තූරයක්කත් එව්වෙ නැ. තමුසේ ගාල්ලේ මොනවද කරන්නේ. බැරිනං කියනවා අපි වෙන කෙනෙක් පත්තර ගන්න. . ඉතින් මං ස්ටුඩියෝ එකට ගිහින් ෆිල්ම් රෝලක් දාගෙන එතෙන්ට ආවා විතර යි "
මා කැටිව පොලිස් චෝදනාගාරයට ආ පොලිස් ලොක්කා "මෙයා බලාගන්නවා' රිසවි රාලහාමිට පවසා බූහැර විය.
පැයක තරම් කාලයක් ගෙවුණු තැන ප්‍රේමලාල් අබේසේකර හා දේනෙත්ති යන සහෝදරයන් දෙන්නා ආහ. ඔවුන් පොලිස් ලොක්කා එක්ක දිග කතාවක නියැළීමෙන් පසු මා පොලිස් ග්රහණයෙන් මුදා හැරුණි.
- ඉදිරිය බලමු -

