උණුසුම් පුවත්දේශපාලන

පත්තර මහ ගෙදරට වසවරතියෙක්

ලේක් හවුස් පත්තරකාරයින් ද පත්තරකාරියන් ද කියන්නේ මේක කැපිල්ලක් කියායි

ලේක්හවුස් ආයතනයේ සිළුමිණ  පුවත්පතේ නියෝජ්‍ය කතුකම දරමින් සේවය කළ සුමුදු චතුරානි ජයවර්ධන මහත්මිය වහාම ක්‍රියාත්මකවන පරිදි පාලනාධිකාරිය විසින් ඊයේ සිට ඉවත්කර ඇත.  සිළුමිණින්  ඉවත් කරන ලද ඇය   ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියට පූර්ණකාලීනව අනුයුක්තකර ඇත.
සිළුමිණ  පුවත්පතේ නව නියෝජ්‍ය කතුවරයා ඉදිරි දින කිහිපය තුළදී පත්කිරීමට නියමිත බවත් එතෙක් එම කටයුතු ආවරණය කිරීම ප්‍රවෘත්ති කතෘ තාරක වික්‍රමසේකර මහතා වෙත පවරා ඇති බවත් පත්තර මහ ගෙදර අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ඉතා දක්ෂ පුවත්පත් කලාවේදිනියක වන සුමුදු විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාරකරමින් ලේක් හවුස් ආයතනයට එක්වූ දා පටන් සිය වගකීම් නිසි රිසි සේ ඉටු කරන්නට කැප වූ නිර්මාණශීලී පත්තරකාරියකි.
ඇය විසින් 'චරණ' රූපවාහිනී නාළිකාවේ කරන ලද "පොතයි හිතයි" බොහෝ ප්‍රේක්ෂක හදවත් බැඳ ගත් ඇගේ කුසලතා මොනවට විදහා දක්වන ලද වැඩසටහනකි.
ඇය විසින් රචිත 'රන්සුනු' කෘතිය බොහෝ දෙනාගේ පැසසුමට භාජනය වූ නිර්මාණාත්මක ගතකි.
‘‘ශත දහයේ විශ්වවිද්‍යාලය’’ ලෙස විරුදාවලි ලද ‘සිළුමිණ’ පුවත් පතෙහි නියෝජ්‍ය කර්තෘ ධුරය හොබවන ලද ඇය එදා මෙදා තුර ‘සිළුමිණ’ පුවත්පතෙහි නියෝජ්‍ය කර්තෘ ධුර තැන්පත් ප්‍රථම කාන්තාව සේ පත්තර ඉතිහාසයට එක්වන්නී ය.
    සුමුදු ට කරන ලද මේ අකටයුත්ත ඇගේ පත්තර කලාව දිය කර හරින්නට කිසියම් බලවේගයක් විසින් ඉතා සැලසුම් සහගතව කරන ලද්දක් සේ ලේක්හවුසියේ ඇත්තන් සෑහෙන පිරිසක ගේ මතය යි.